2012/10/01

මිදුලේ සිටවූ වීදුරු තහඩුව- ජේම්ස් තර්බර්



මීට ටික කාලයකට පෙර කනෙක්ටිකට්හි නිවෙසක් ඉදි කළ ගොඩනැගිලි කම්කරුවෝ පිරිසක් එක් දිනක් සුවිසල් වීදුරු තහඩුවක් මිදුලේ සිරස් අතට සිටවා තැබූහ. මිදුල හරහා වේගයෙන් පියඹා ගිය පාන්කිරිත්තෙක් අර වීදුරුවෙහි ගැටී සිහිමූර්ඡාව බිමට ඇද වැටුණේය. ඔහුට යළි සිහිය ආ විට පාන්කිරිත්තා සිය සගයන් රැඳී සිටි සමාජ ශාලාවට ගියේය. එහි සේවකයෙක් පාන්කිරිත්තාගේ හිසට වෙලුම් පටියක් බැඳ බොන්නටද යමක් දුන්නේය. “මොකද වුණේ ?” එහි සිටි මුහුදු ලිහිණියෙක් ඇසීය. “මම තණබිමක් මැදින් පියාඹාගෙන යන කොට එක පාරටම වායුගෝලය ගල් ගැහුණා.” පාන්කිරිත්තා උත්තර දුන්නේය. මුහුදු ලිහිණියාද උකුස්සෙක්ද රාජාලියෙක්ද කොක්හඬලා සිනාසුණෝය. වැහිලිහිණියෙක් ඉතා අවධානයෙන්ද බැරෑරුම් ලෙසද මේ කතාවට ඇහුම්කන්දීගෙන සිටියේය. “පොඩි පැටියා කාලේ ඉඳලා ලොකු කුරුල්ලෙක් වෙනකමුයි ඊට පස්සෙයි අවුරුදු පහළොවක් තිස්සේ මම මේ පළාතේ හැමතැනකම පියාඹලා තියෙනවා.” රාජාලියා කීවේය. “ඒත් මට සහතිකේටම කියන්න පුළුවන් වායුගෝලය ගල් ගැහෙනවා කියලා දෙයක් නැති බව. වතුර නම් මිදිලා ගල් ගැහෙන්න පුළුවන්. ඒත් වාතය ගල් වෙන්න බෑ.” “අහසෙන් වැටෙන ලොකු අයිස් කැටයක් තමුසෙගෙ ඇ‍ඟේ වදින්න ඇති.” උකුස්සා පාන්කිරිත්තාට කීවේය. “සමහරවිට පාන්කිරිත්තට පපුවේ අමාරුවක් හැදුණද දන්නේ නෑ.” මුහුදු ලිහිණියා කීවේය. “වැහිලිහිණියා මොකද හිතන්නේ ?” “ම..ම..මම හිතන්නේ සමහර විට වායුගෝලය ගල් ගැහෙන්න ඇති.” ලොකු කුරුල්ලන් කෙතරම් මහ හඬින් සිනාසුණේද යත්, ඒ සිනාවෙන් කෝපයට පත් පාන්කිරිත්තා තමන් පියෑඹූ මාර්ගයේම තණබිම උඩින් පියාඹා ගොස් ගල් වූ වායුගෝලය ඔවුන්ට හමු නොවුණහොත් එක් අයෙකුට පණුවන් දුසිම බැගින් දෙන්නට ඔට්ටුවක් ඇල්ලුවේය. ඔවුහු සියලු දෙනාම පාන්කිරිත්තාගේ ඔට්ටුව භාර ගත්හ. සිදුවන්නේ කුමක්දැයි බැලීමට වැහිලිහිණියා ඔවුන් සමග ගියේය. පාන්කිරිත්තා කියූ මාර්ගය ඔස්සේම පියෑඹීමට මුහුදු ලිහිණියාද උකුස්සාද රාජාලියාද තීරණය කළහ. “තමුසෙත් එනවා.” ඔවුහු වැහිලිහිණියාට අඬ ගැසූහ. “ම..ම..මට බෑ. මම හිතන්නේ නෑ මට ඔය ගමන එන්න පුළුවන් වෙයි කියලා.” වැහිලිහිණියා කීවේය. ඉදින්, ලොකු කුරුල්ලෝ තිදෙනාම එකට පියාඹා ගොස් එකටම වීදුරුවේ හැපී සිහි මූර්ඡා වූවෝය.
(ආදර්ශය: යමකට පැකිලෙන තැනැත්තා සමහරවිට කරදරයේ වැටීමෙන් වැලකෙයි.)

 









ජේම්ස් තර්බර් (1894-1961)

14 comments:

  1. ස්තූතියි. හොද ආදර්ශයක්.

    ReplyDelete
  2. නියමයිනේ. මෙන්න අපිට තව ඕන කරන අදහස්. හුගක් අයන නවම දන්නේ පැරණි රචකයන් ගැන පමණයි. ඔබගේ උත්සාහයට මාගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. @දේශකයා

      ජේම්ස් තර්බර් අලුත් ලේඛකයෙකු නූනත් ඔහුගේ කෘති සිංහල බසට පරිවර්තනය වී ඇත්තේ අඩුවෙන්. ඒ නිසා ඔහු ගැන දන්න අය අඩුයි. ඔහුගේ මෙවැනි නූතන උපමා කතා කිහිපයක්ම තිබෙනවා. ඒවා පසු දවසක පරිවර්තනය කරන්නම්. ඔබේ කොමෙන්ටුවට ස්තූතියි.

      Delete
  3. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි. නමුත් මෙතන අවදානම් කාර්යයකට යන නිසාත් එයින් කිසි වාසියක් අත් නොවන බව දන්නා නිසාත්, වැහිළිහිණියා අකමැති වෙන්න ඇති. ඒත් වාසි දායක දෙයක් නම් වැහිළිහිණියා මේ උත්තරයම දෙයිද කියන එක මට ප්‍රශ්ණයක්...

    ReplyDelete
    Replies
    1. මෙවැනි නූතන උපමා කතාවක අරමුණ ඔය විදියට විවිධාකාර වියහැකියාවන් ගැන සිතන්නට පාඨකයා පෙළඹවීම වෙන්නත් පුළුවන්.

      Delete
  4. ජේම්ස් තර්බර් කියන්නේ හරිම අපූරු ලේඛකයෙක්. ඔහු ඉතා ප්‍රසිද්ධ උපහාස කතා රචකයෙක්. මම හිතන්නේ ඔහුව සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ හරි අඩුවෙන්. ඔබේ කාර්යට ජය ලැබේවා

    ReplyDelete
    Replies
    1. @කලාමැදිරියා

      ඔව් ඔහු ඉතා අපූරු උපහාස කතා රචකයෙක්. එපමණක් නොවෙයි දක්ෂ කාටූන් ශිල්පියෙක්. ඔබ කියනවා වගේ ඔහුගේ කතා සිංහල බසට පරිවර්තනය වී ඇත්තේ අඩුවෙනුයි. කොහොමවුණත් ඔබේ කොමෙන්ටුවට ස්තූතියි.

      Delete
  5. මම සැහෙන්න ආසා කරන බ්ලොග් එකක්.සරලව කියැවෙන සංකීර්ණ අදහසක්.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete

සෙවුම්