දහදිය වගුරා රුධිරය හලලා
මහන්සියෙන් ඔහු දෙවොලක් සැදුවා
හදවත තුළ වූ දෙව්රුව අරගෙන
ඒ දෙවොලේ තැන්පත් කෙරුවා
තමන්ගෙ මුළු ලොව ඒ යයි සිතලා
ඒ වෙත පුද පූජා කෙරුවා
හමන සුළංවල ඔහු ගී රැඳුණා
දේවදූතයන් ඒ ගී ගැයුවා
කාලය ගත විය, තුති ගී ගැයුණිය
දෙව්දුව ඒ දෙවොලේ විසුවා
මිහිරි කටහඬින්, කන්කලු ස්වරයෙන්
දෙව්දුව මේ විලසට කියුවා
'සමහරවිට මේ මගෙ නිවසයි
ඔබ සැම මාගේ බැතිමතුනුයි
රූපය, වර්ණය වෙනස් වෙනස් වුව
ඔබ සැම මාගේ බැතිමතුනුයි'
මේ අතරේ ඔහු හොඳහැටි නිදුවා
දෙවොලේ කවුළුව හැර තබලා
ඇරුණු කවුළුවෙන් උදේ පාන්දර
සීතල සුළඟක් ඇතුළට ආවා
ඇස් හැර බැලුවා, දෙව්රුව නොතිබිණි
කිසිවකු නොමැතිව ඔහු තනි වූවා
මින්පෙර මේ තැන පුද පූජා විය
සුදු ඇඳුමින් සැරසුණු දෙව්රුව විය
වසර ගණන් දැන් ඉක්ම ගොසින් ඇත
දෙව්දුව එහි නැත, දේවාලයකුත් නැත
එනමුදු එකමෙක දුක්ඛිත මිනිසෙක්
ඒ තැන සිට ගෙන කියුවා මෙලෙසින්
'දහදිය වගුරා, රුධිරය හලලා
මහන්සියෙන් ඔහු දෙවොලක් සැදුවා'
-සචින් රාජ් ගේ 'වයථා' නම් හින්දී කවියේ පරිවර්තනයකි
No comments:
Post a Comment