2013/02/24

මම තනිවී සිටිමි-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’

















මම තනිවී සිටිමි.
මා දිවියේ සැඳෑ කල
ළඟ ළඟම එන සැටි
පෙනෙයි මට

මහිස කෙස් සුදුව
තුනීවී ගොසිනිය,
වල ගැසී ඇත දෙකොපුල,
ගමනද ඉතා සෙමිනිය:
අවසන්ව ඇත සැණකෙළිය.

තරණය කරන්නට තිබූ
ගංගා, දිය දහර
එතෙර වී ඇති බව දනිම්
සිනහ නගනෙමි දැන්
ඔරුවක් නොතිබූ වග දැක
එතෙර වන්නට එසේ













-සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා (1899-1961)

(ඩේවිඩ් රූබින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)

2013/02/17

වැසි ආවරණය- ආර්.කේ. නාරායන්




වැස්ස එකවරම කඩාවැටුණේය. ඔහුට දිව යා හැකිව තිබූ එකම ආවරණය වූයේ මාර්ගය පසෙක තිබූ දැවැන්ත ක‍ඳෙන් යුත් විහිදා වැඩුණු අතුපතර සහිත නුග ගස පමණි. වැස්ස ඇද හැලෙනුද ඉඳහිට තමා දෙසට වැසි වතුර විසිරෙනුද ඔහු උපේක්ෂා සහගතව බලා සිටියේය. මුළු සිරුරම වැසිදියෙන් තෙත්වූ දඩාවතේ යන බල්ලෙකු දිව යනුද මී හරකුන් දෙදෙනෙකු පාර අයිනේ වීසි කළ කෙසෙල් කොළ බුදිනුද ඔහු අලස ලෙස බලා සිටියේය. නුගගසේ බ‍ඳෙහි අනෙක් පැත්තෙහි තවත් කෙනෙකු සිට‍ගෙන සිටින බව ඔහුට හදිසියේම වැටහිණි. ලා මල් සුවඳක් ඔහු වෙතට හමා ආ අතර ඔහුට සිය කුතුහලය පාලනය කරගැනීමට නොහැකි විය‍. ගසෙහි කඳට හේත්තු වෙමින් ඔහු අනෙක් පැත්තට පිය මැන්නේය. ඔහුට ඇය මුහුණට මුහුණ මුණ ගැසිණි. ඔහුගේ පළමුවැනි ප්‍රතික්‍රියාව වූයේ 'ඕහ් ' යන අනුකරණයෙන් මහ හඬක් නැගීමය. ඔහුගේ පෙනුම කාලකණ්නි, කරදරයට පත් එකක් බවට පත්වී තිබිණි. ඔහු දුටු කාන්තාව යටිගිරියෙන් කෑ ගැසීම අසීරුවෙන් යටපත් කරගත්තාය. යථා තත්ත්වයට පැමිණි වහාම ඔහු කතා කළේය: 'කලබල වෙන්න එපා. මං යන්නම්.' දීර්ඝ කාලයක වෙන්ව සිටීමකින් පසු තමන්ගේ බිරියට කෙනෙකු එසේ කීම මුග්ධ ක්‍රියාවක් බව පෙනිණි. ඔහු ඇය කෙරෙන් ඉවත්ව මුලින් සිටි තැනට පෙරළා ගියේය. එහෙත් යළි පැමිණි ඔහු ප්‍රශ්නයක් නැගීය: 'ඔයා මෙහෙ ආවේ ඇයි ?'
ඇය පිළිතුරක් නොදෙනු ඇතැයි ඔහු බියපත් විය. එහෙත් ඇය 'වැස්ස හින්දා'යැයි කීවා‍ය. 'ඔහෝ !' එය විහිළුවක් ලෙස සලකන්නටද හඬනගා සිනාසෙමින් ඇයගේ සිත සනසන්නටද ඔහු උත්සාහ කළේය. 'මාත් ආවේ ඒ හින්දා තමයි', තමා මෝඩයෙකැයි ඔහුට හැඟිණි. ඊට පිළිතුරු ලෙස ඇය කිසිවක් නොකීවාය. ඕනෑම කතාවක ජනප්‍රියම මාර්‍තෘකාව වන කාලගුණයෙහි එල්බ ගන්නට ඔහු දැඩි ආයාසයක් දැරීය: 'හිතපු නැති වැස්සක්නේ මේක'. මේ ප්‍රකාශයටත් පිළිතුරක් නොදුන් ඇය ඉවත බලා ගත්තාය. මාර්‍තෘකාව තවදුරටත් ඇදගෙන යාමට ඔහු උත්සාහ කළේය. 'වැස්සක් එනවා කියලා යන්තම් හරි සැකයක් තිබුණා නම් මං ගෙදරට වෙලා ඉන්නවා. එහෙම නැත්නම් කුඩේ අරන් එනවා.'  මේ ප්‍රකාශයද ඇය සම්පූර්ණයෙන්ම නොතකා හැරියාය. සමහරවිට ඇ‍යගේ කන් ඇසීම නැතිව ගොස් තිබෙනවා විය යුතුය. 'ඔයාගේ කන්වලට මොනවා හරි වෙලාද?' කියා අසන්නට ඔහුට අවශ්‍ය වුවද, ඇය සාහසික යමක් කරනු ඇතැයි ඔහු බියපත් විය. අපේක්ෂා භංගත්වයට පත්වූ විට ඇය ඕනෑම දෙයක් කිරීමට සමත් බව පෙනිණි. අවසාන අර්බුදය හටගත් ඒ රාත්‍රිය වනතුරුම ඇයගේ හැඟීම් එතරම් ශක්තිමත් යැයි ඔහු නිකමටවත් සැක කොට නොතිබිණි.

2013/02/10

නිළියන් තේරීමේ පරීක්ෂණය- අල්බෙර්තෝ මොරාවියා



අප දෙදෙනාගේ රැකියාවල් එකිනෙකට බොහෝ වෙනස් වුවද සෙරෆිනෝ සහ මම මිතුරෝ වෙමු; ඔහු කර්මාන්තශාලා හිමිකරුවෙකුගේ රියැදුරාය. මම චිත්‍රපටි කැමරාකරුවෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වෙමි. බාහිර ස්වරූපයෙන්ද අප දෙදෙනා සපුරා වෙනස්ය. ඔහුට රන්වන් කැරළි ගැසුණු හිසකේද රෝස පැහැති ළමා මුහුණක්ද වූ අතර ඔහුගේ විවෘත නිල්වන් දෙනෙත මුහුණට මනාව ගැළපිණි. අනෙක් අතට, මා කලු පැහැතිය. මට ඇත්තේ වැඩිහිටියෙකුගේ බඳු බැරෑරුම් මුහුණකි. මගේ අඳුරු දෙනෙත ගිලී ගොස් ඇත. එහෙත් සැබෑම වෙනස ඇත්තේ අප දෙදෙනාගේ චරිත දෙක අතරය. සෙරෆිනෝ උපන්ගෙයි බොරුකාරයෙකි. අනෙක් අතට, මට කෙසේවත් බොරුවක් කීමට නොහැකිය. එක් ඉරිදාවක මගේ සේවය ඔහුට අවශ්‍ය බව සෙරෆිනෝ දන්වා සිටියේය. කුමක් හෝ ලජ්ජා වන්නට වන වැඩක් සිදු වෙන්නට යන බව ඔහුගේ ස්වරයෙන් මම සැක කළෙමි. මන්ද උජාරුවෙන් කැපී පෙනෙන්නට යාමේ උමතුව කරණ කොට ගෙන සෙරෆිනෝ නිරතුරුවම අමාරුවේ වැටෙන බැවිනි. කොලොන්නා චතුරස්‍රයේ අවන්හලක් වෙත මම ඔහු හමුවීම පිණිස ගියෙමි. මොහොතකට පසුව ඔහු සිය පළමුවැනි බොරුව සමග එතැනට ආවේය. ඒ සිය හාම්පුතාට අයත් වටිනා ‘විශේෂ මාදිලියේ‘ මෝටර් රියේ නැගී පැමිණෙමිනි. ඔහුගේ හාම්පුතා රෝමයෙන් පිටත ගොස් සිටි බව මම දැන සිටියෙමි. තරමක දුර සිටම ඔහු මට අත වැනුවේ එක්තරා උද්ධච්ඡ ආකාරයකින් හරියට මෝටර් රථය ඔහුට අයත් එකක් වූවාක් මෙනි. ඉන් අනතුරුව හෙතෙම රථය ගාල් කළේය. ඔහු මා වෙතට එත්ම මම ඔහු දෙස බැලුවෙමි.  ඔහු ජේත්තුවට හැඳ පැළඳ සිටියේය. කෙටි, පටු කහ පැහැති කොඩ්රෝයි කලිසමකින්ද පිටුපසින් පැලූ කබායකින්ද ගෙල වටා ගැටගසන ලද වර්ණවත් ලේන්සුවකින්ද ඔහු සැරසී සිටියේය. යම් හේතුවක් නිසා මා තුළ පිළිකුල් සහගත් හැඟීමක් ඇතිවූ අතර ඔහු හිඳ ගන්නා විට මම යම් කර්කශ බවකින් යුතුව මෙසේ කීවෙමි. “උඹ හරියට කෝටිපතියෙක් වගේනේ.

2013/02/03

නිදහස-ඛලීල් ජිබ්රාන්

















කියනු මැන අප හට නිදහස පිළිබඳව
පැවසීය එක් දේශකයෙක්

පිළිවදන් දිණි හෙතෙම මෙලෙසට:

තමන් මරනා බව දැනම රුදු වහල් හිමියෙකු අස
දණින් හෙව ඔහු පසසන වහලුන් බඳුව
පුරදොර අබියසද, ගිනි මැලය පසෙකද වැතිර
ඔබ ඔබේ නිදහසටම වඳින පුදනා‘යුරු මම දිටිමි

ඔබ අතරින් නිවහල්ම මිනිසුන් සිය නිදහස
වියගසක්, විලංගුවක් ලෙස පළඳින අයුරු
දෙව්මැඳුරු අරඹෙහිද, බළකොටු ඇතුළෙහිද මම දිටිමි

නිදහස සොයා යන ආශාවම පවා සන්නාහයක් වූ කල,
අරමුණක්, ජයග්‍රහණයක් ලෙස නිදහස ගැන දෙඩුම
ඔබ නැවැත්වූ කල පමණක්ම ඔබ නිදහස් වන බැවින්
මගේ හද ඇතුළතින් තුවාලව ලේ ගැලීය

ඔබ සැබැවින්ම නිදහස ලබනුයේ,
ඔබගේ දිවා කල කම්කටොල්ලෙන්ද
ඔබගේ රෑ කල ශෝකයෙන්ද තොරවූ විට නොව
මේ සියලු පිරිපත මැඩ නිවහල්ව, නිරුවත්ව
ඔබ නැගී සිටින විට පමණකිය

ඔබගේ බුද්ධියේ අලුයම් කල සිට
දහවල් වනතුරුත් බැඳ ඇති යදම් නොකඩා
කෙසේනම් දුක් ගැහැට පිරිපත
මැඩගෙන නැගිටිනුද ?

හිරු රැසින් දිලිසී ඔබ නෙත් අඳ කරන
පුරුකෙන් සුසැදුණද
නිදහස යැයි ඔබ කියන දෙය
ඒ අතරින් සවිමත්ම යදමය සැබැවින්ම

නිදහස ලැබුම උදෙසා ඔබ ඉවතලන්නේ
ඔබගේම ආත්මයේ බිඳුණු කැබිලිති විනා
අන් කවරක්ද ?

ඔබ අහෝසි කරනුයේ අසාධාරණ නීතියක් නම්
එය ඔබ විසින්ම ඔබ නළලත ලියා ගත්තකිය
නීතිපොත් ගිනිබත් කළද, විනිසුරන් නළල මත
මහ මුහුද වත් කොට සෝදා හළද
ඒ නීතිය මකා දමනු නොහැකිය

ඔබ පළවා හරිනුයේ ඒකාධිපතියෙකු නම්
ඔහුගේ සිහසුන ඔබ ඇතුළාන්තයෙන්
විනාශ කොට ඇතිදැයි
පළමුව බලනු මැන

ඔබගේම නිදහසෙහි ගැති බවත්, ඔබගේ අබිමනෙහි අවමනත්
නොමැත්තේ නම්
දරුණු පාලකයෙකු කෙසේ නම්
නිදහස්, අබිමන් මිනිසුන්
පාලනය කරන්නේද ?

ඉදින් ඔබ ඉවතලන්නේ බරක් නම්
ඒ බර ඔබම තෝරාගත්තක් මිස
ඔබ මත බලෙන් පටවනු ලැබූවක්
නොවන්නේමය

ඉදින් ඔබ ඉවතලන්නේ බියක් නම්
ඒ බිය ඇත්තේ ඔබගේම හදවතේ මිස
වෙනෙකෙකු සතුව නම් නොවේ

ආශාවද බියද, පිළිකුල් කටයුතු දෙයද අදරින් වැලඳගත් දෙයද,
ඔබ සොයා යන දෙයද ඔබ කෙරෙන් පළා යන දෙයද,
යන මේ සැමෙකක්ම ඔබ තුළ නිරතුරු ගැවසිගත් ඒවාය
එකිනෙක වෙත ඇලුණු එළිය හා සෙවණැලි පරිද්දෙන්
ඒවා ඔබ තුළ නිරතුරු සැරි සරයි

සෙවණැල්ල මැකී ගොස් අතුරුදන් වූ කල
රැඳුණු ආලෝකය තවත් එළියක සෙවණැල්ල වන ලෙද
ඔබගේ නිදහසද යදමින් මිදුණු විට
තව විසල් නිදහසක බන්ධනය වනු ඇත











ඛලීල් ජිබ්රාන් (1883-1931)
(අනාගත වක්තෘවරයා කෘතියෙනි)

සෙවුම්