ගයනු මැන වස්දඬුව දී මා අතට
අජරාමරබව රැඳී ඇත ගීයක
අප නැසී ගිය පසුව වුව
වැලපේය වස්දඬු රාවය
ගලන දියපහරවල් දිගේ ගොස්
ගිරි ශිඛර මත නැගුණු මා මෙන්
සරණ සෙව්වෙහිද ඔබ
හුදෙකලා වන අරණක?
සුමිහිරි විලවුනක ගිලී ගොස්
එළියකින් ගත වියළුවෙහිද කිසි දිනෙක
බිව්වෙහිද හිමිදිරිය මිදි පැනක් මෙන්
බහා ද්‍රවමය කුසලානවල?
ගයනු මැන වස්දඬුව දී මා අතට
ගීය යනු අනගිතම යැදුමකිය
ජීවිතය නැතිව ගිය පසුව වුව
වැලපේය වස්දඬු රාවය
රන්වන් පහන් පොකුරෙන් ගැවසි
මිදිවැල් අතර හිඳ
ගත කළෙහිද කිසි කලෙක
සවස්වරුවක් ඔබ ?
අමතක කොට ගෙවුණු කල
නොසිතමින් හෙටක් ගැන
නිදිගත්තෙහිද ඔබ රැයක
එලාලූ තණ පලස මත
මුළු අවකාශයම
පොරෝණාවක් කොට?
ගයනු මැන වස්දඬුව දී මා අතට
ගී නද පසිඳලයි යුක්තිය හදවතට
සියලුම වරදවල් අහෝසිව ගිය පසුව
වැලපේය වස්දඬු රාවය
ගයනු මැන වස්දඬුව දී මා අතට
අමතක කොට රෝ බියද පිළියමද
දුර්වලව දිවි ගෙවන මිනිසා
සෙමින් මිය යනු ඇත
මන්දයත්,
මිනිසුන් වනාහි වෙනයම් දෙයක් නොව
දිය මත කුරුටු ගෑ ඉරි ටිකක් පමණකිය
මකුළු දැල නිර්මිත හුයවල් පමණකිය
වන අරණ වනාහී දිවියේ නිවහනය
මා අතේ ඉතිරි දින විසුරුවන්නේ එහිය
ඒ ගැන තීරණය කාලය සතුව ඇත
වන අරණට ඇදෙන මා සිත
වලක්වයි කාලය
දෛවයේ ගමන් මග දිරියෙන් අනූනය
එනමුදු මිනිස් අරමුණු ඊටත් සවිමත්ය
-
- ඛලීල් ජිබ්රාන් (1883-1931)