2015/05/13

රාජකාරිය



හුදෙකලා පිහි ඇනුම් සිද්ධි කිහිපයකින් පමණක් පටන් ගත් ගැටුම්කාරී තත්ත්වය මේ වන විට මහා පරිමාණයේ වාර්ගික කෝලාහලයක් බවට පත්වී තිබුණේ පාලනය කළ නොහැකි පරිද්දෙනි. නිවෙස්වල සාදන ලද බෝම්බ පවා දැන් භාවිතයට ගැනිණි.

අම්රිත්සාර් නුවර පැවති සාමාන්‍ය අදහස වූයේ කැරළි කෝලාහල වැඩි කලක් නොපවතිනු ඇති බවය. ඒවා වැඩි කාලයක් යා නොදී සමථයකට පත්විය හැකි තාවකාලිකව ඇවිලුණු දේශපාලන ආවේගයන්ගේ විද්‍යමානවීමකට වඩා වැඩි දෙයක් ලෙස සැලකුණේ නැත. අනෙක නගරයේ වාර්ගික කෝලාහල ඇතිවූ පළමුවැනි අවස්ථාව මෙය නොවීය. අතීතයේදී එවැනි කෝලාහල බොහෝමයක් ඇති වී තිබිණි. එහෙත් ඒවා වැඩි කලක් නොපැවතිණි. කෝලාහල ඇති වූ රටාව පැහැදිලි විය. සති දෙකක් හෝ ඊට මඳක් වැඩි කාලයක් ගැටුම් පවතින අතර ඉන්පසු තත්ත්වය සාමාන්‍ය අතට හැරෙයි. මේ අත්දැකීම අනුව, වර්තමාන කෝලාහලද දින කිහිපයකින් අවසන් වනු ඇතැයි මිනිසුන් විශ්වාස කිරීම සාධාරණ විය. එහෙත් කටයුතු එසේ සිදු වූයේ නැත. දිගින් දිගටම කෝලාහල පැවතියා පමණක් නොව ඒවායේ දරුණු බවද එන්න එන්නටම වැඩි විය. 

හින්දූන් බහුලව සිටි ප්‍රදේශවල විසූ මුස්ලිම්වරුන් වඩාත් ආරක්ෂාකාරී ස්ථාන බලා පිටත්ව ගිය අතර මුස්ලිම් බහුතරයක් සිටි ප්‍රදේශවලින් හින්දුවරු පිටවී ගියහ. කෙසේවුවද, පදිංචියේ මේ වෙනස අතිශයින්ම තාවකාලික එකක් බව කවුරුත් විශ්වාස කළහ. මේ වාර්ගික උමතුවෙන් ඉතා ඉක්මනින්ම නගරය නිදහස් වනු ඇතැයි ඔවුහු තමන්ටම කියාගත්තෝය.

ඉතාමත් ඉක්මනින් සියල්ල සාමාන්‍ය අතට හැරෙතැයි විශ්‍රාමලත් විනිශ්චයකාර මියන් අබ්දුල් හයි තදින්ම විශ්වාස කළේය. ඔහු කලබල නුවූයේ එබැවිනි. ඔහුට වයස අවුරුදු දහහතක දියණියක්ද අවුරුදු එකොළහක පුතෙක්ද වූහ. ඊට අමතරව නිවෙසේ වූයේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ මහලු සේවකයෙකි. එය කුඩා පවුලක් විය. කෝලාහල ආරම්භ වූ විට, වුවමනාවටත් වඩා ආරක්ෂාව ගැන සැලකිලිමත් වන කෙනෙකු වූ විනිසුරු මියන් හදිසියේවත් අවශ්‍ය වෙතැයි සිතා සිය නිවෙසේ ආහාර ගබඩා කළේය. එමනිසා, අවම වශයෙන් එක් කාරණයක් සම්බන්ධයෙන් කලබලවීමේ අවශ්‍යතාවක් නොවීය.

ඔහුගේ දියණිය වූ සුඝ්‍රා සිදුවන දේවල් ගැන එතරම් විශ්වාසයක් තැබුවේ නැත. මුළු නගරයම පාහේ පෙනෙන තැනක ඉදිකළ තෙමහල් නිවෙසක ඔවුහු ජීවත් වූහ. මතුමහලට නැගුණු සෑම විටෙකම, නගරයේ සෑම තැනකම ගිනි ගන්නා සැටි ඇයට පෙනිණි. මුලදී නම් සිය සීනු නාද කරමින් ගිනි නිවන රථ නිවෙස පසු කර ගියද මේ වන විට ගිනි නිවන රථ ගමන් කිරීම නැවතී තිබිණි. ස්ථාන රැසකම එකවර ගිනිගැනීම් රැසක් හටගෙන තිබුණු හෙයිනි.

රාත්‍රීන් විශේෂයෙන්ම බියකුරු විය. ගිනිදළු පිඹින යෝධයන් බඳු මහා ගිනිවලින් රාත්‍රී ආකාශය සෑමවිටම ආලෝකවත් වී තිබිණි. එමෙන්ම බියජනක තීව්‍රබවකින් යුත් උද්යෝග පාඨවලින් වාතලය ගිගුම් දුන්නේය- අල්ලාහු අක්බර්. හර් හර් මහදේව්.

කලබලවීමට හේතුවක් නැතැයි සිය පියා ඉතාමත් විශ්වාසයෙන් යුතුව කියා තිබූ හෙයින් සුඝ්‍රා ඈ තුළ වූ භීතිය ඔහු වෙත හෙළි නොකළාය. සෑම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත. සාමාන්‍යයෙන්, ඔහු සෑම විටම පාහේ නිවැරදි නිසා මුලදී ඇයට සිය සුරක්ෂිතබව පිළිබඳව ගැටලුවක් නොවීය.

කෙසේවුවද, විදුලි බලයත් ජල සැපයුමත් හදිසියේම ඇණහිටි විට, සිය සිතෙහි වූ කණස්සල්ල සිය පියා වෙත කියා පෑ ඇය, ප්‍රදේශයේ සිටි සෙසු මුස්ලිම්වරුන් දැනටමත් ගොස් සිටි මුස්ලිම් පළාතක් වන ෂරීෆ්පුර වෙත යමුයැයි සමාව අයැදින ස්වරයෙන් යෝජනා කර සිටියාය. එහෙත් මියන් මහතා සිය ස්ථාවරය වෙනස් කළේ නැත: ‘ඔයා හිතේ දේවල් මවාගෙන. හැම දෙයක්ම ඉක්මනින් සාමාන්‍ය අතට හැරෙයි’. 

ඔහුට වැරදී තිබිණි. සෑම දෙයක්ම යහපත් අතට හැරෙනවා වෙනුවට නරක අතක සිට වඩාත් දරුණු අතකට හැරී තිබුණේය. වැඩි කලක් යන්නට මත්තෙන් මියන් අබ්දුල් හයි විසූ පෙදෙසේ එකම මුස්ලිම් පවුලක්වත් සොයාගන්නට නොහැකි විය. මේ අතර එක් දිනෙක මියන් මහතාට ආඝාතයක් වැළඳී හෙතෙම ඇඳට වැටුණේය. මෙතෙක් කලක් මුළු දවස පුරාම තමාම නිර්මාණය කරගත් සෙල්ලම්වල යෙදුණු ඔහුගේ පුත් බෂාරත් දැන් සිය පියාගේ ඇඳ අසලටම වී සිටියේය. 

පළාතේ පිහිටි සියලු කඩසාප්පුවල දොර ජනේලවලට ලෑලි ගසා අවුරා තිබිණි.  දොස්තර ගුලාම් හුසේන්ගේ ඩිස්පෙන්සරිය සති ගණනක සිට වසා දමා තිබූ අතර, ඊට යාබදව තිබූ දොස්තර ගොරාන්දිත්ත මාල්ගේ සායනයද වසා දමා ඇති සැටි නිවෙසේ මතුමහලට නැගුණු සුඝ්‍රා දුටුවාය. මියන් මහතාගේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරුණේය. සුඝ්‍රාට කර කියා ගැනීමට දෙයක් ඉතිරි වී තිබුණේ නැත. දිනෙක බෂාරත් පසෙකට කැඳවූ ඇය, ‘ අනේ මල්ලි මොනවා හරි කරන්න වෙනවා. මං දන්නවා එළියට බහින එක පරෙස්සම් නෑ කියලා. ඒත් අපි කාගෙන් හරි උදව් ඉල්ලන්න ඕනෑ. තාත්තට හොඳටම අමාරුයි’ යැයි කීවාය. 

එළියට බැස ගිය පිරිමි ළමයා එසැණින්ම ආපසු පැමිණියේය. භීතියෙන් ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණි. ලේ වැකුණු මිනිස් සිරුරක් පාරේ වැටී ඇති සැටිද රෞද්‍ර පෙනුමෙන් යුතු මිනිසුන් කණ්ඩායමක් කඩසාප්පු කොල්ල කන සැටිද ඔහු දැක තිබිණි.  බියපත් සොහොයුරා තුරුළු කරගත් සුඝ්‍රා ඔහුට හානියකින් තොරව නැවත එන්නට ඉඩහැරීම ගැන දෙවියන්ට ස්තූති කරමින් නිහඬව යාඥාවක් තොල මැතිරුවාය. කෙසේවුවද, ඇයට සිය පියා දුක්විඳින සැටි දරාගත නොහැකි විය.  මේ වනවිට ඔහුගේ සිරුරේ වම් පැත්තම ප්‍රාණයෙන් තොර වී තිබිණි. ඔහුට පැහැදිලිව කතා කළ නොහැකි වූ අතර බොහෝකොටම ඔහු සන්නිවේදනය කළේ අංග චලනයන් මගින් පමණි. ඒ හැම අභිනයකින්ම කියැවුණේ සුඝ්‍රාට කලබල නොවී සිටින ලෙසත් සෑම දෙයක්ම ඉතා ඉක්මනින් හොඳ අතට හැරෙන බවත්ය.

ඒ රාමදාන් මාසය වූ අතර ඊද් උළෙලට තවත් තිබුණේ දින දෙකක් පමණි. ඊද් දිනය උදාවන විට කෝලාහල අවසන් වී තිබෙනු ඇති බව මියන් මහතා තදින්ම විශ්වාස කළේය. යළිත් වරක් ඔහුට වැරදී තිබිණි. සෑම තැනෙකම දැල්වෙන ගිනිවලින් නැගුණු දුමෙන් නිර්මිත වියනක් නගරයට උඩින් එල්ලෙමින් තිබුණේය. කන් බිහිරි කරවන පිපිරීම් හඬවලින් රාත්‍රියේ නිහඬබව සුණුවිසුණු වී ගියේය. සුඝ්‍රාටත් බෂාරත්ටත් දවස් ගණනකින් නින්දක් නොවීය. 

දිනෙන් දින නරක අතට හැරෙන සිය පියාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සුඝ්‍රාට නම් කෙසේවත් නිදාගත නොහැකි විය. ඇය අසරණව සිය පියා දෙසත්,  බියපත් සොයුරා දෙසත්, කිසිම පලක් ප්‍රයෝජනයක් නුවූ මහලු සේවක අක්බාර් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. කහිමින්, අමාරුවෙන් හුස්ම ගන්නට වෑයම් කරමින් අක්බාර් මුළු දවසම සිය ඇඳට වී ගත කළේය. ‘උඹෙන් ඇති වැඩේ මොකක්ද? උඹ දන්නවද මියන් මහත්තයට කොච්චර අමාරුද කියලා? සමහරවිට උඹට කම්මැලි ඇති වැඩක් පොළක් කරන්න. ඒකනේ උඹට අසාධ්‍ය ඇදුම කියලා පෙන්නන්නේ. සේවකයෝ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරන කාලයක් තිබ්බා.’ 

මේ වචන කීමෙන් පසු සුඝ්‍රාට දැඩි පසුතැවිල්ලක් ඇති විය. ඇය මහලු මිනිසාට නිකරුණේ කෘෘර වී තිබිණි. සැන්දෑවේ ඔහුගේ කුඩා කුටියට ඇය ආහාර රැගෙන ගිය විට මහලු මිනිසා එහි නොසිටියේය.  බෂාරත් මුළු නිවෙස පුරාම ඔහු සෙව්වද අක්බාර් සොයාගත නොහැකි විය. නිවෙසේ ඉදිරිපස දොරෙහි අගුල විවර කොට තිබිණි. අක්බාර් පිටව ගොස් සිටියේය. සමහරවිට මියන් මහතාට කවරෙකුගේ හෝ උදව්වක් රැගෙන ඒම පිණිස විය යුතුය. ඔහුගේ පෙරළා පැමිණීම වෙනුවෙන් සුඝ්‍රා යාඥා කළාය. දින දෙකක් ඉක්ම ගියද ඔහු යළි පැමිණියේ නැත. 

ඒ සන්ධ්‍යා කාලය වූ අතර, ඊද් උළෙල උදාවීමට තව තිබුණේ එක් දිනකි. මේ කාලයට පවුලේ අය අතර ඇති වන සතුට ඇයට සිහිපත් විය. මතුමහලට නැග අහස දෙස බලමින් ඊද් හඳ දකින්නට වළාකුළු මෑත්වන ලෙසට ඇය යාඥා කරන සැටි සුඝ්‍රාගේ මතකයට නැගුණේය. ඒත් අද කෙතරම් වෙනස්ද? අහස දුමාරයෙන් වැසී තිබුණු අතර ඈත වහලවල් මතට නැගුණු මිනිසුන් උඩ බලාගෙන සිටින සැටි පෙනිණි. ඔවුන් නව සඳ බලන්නට වෑයම් කරනවාද, නැතිනම් ඇවිලෙන ගිනි දෙස බලනවාද යන  සිතිවිල්ල සුඝ්‍රා තුළ හටගැනිණි. 

අහසේ ඇති කුඩා සිදුරකින් සඳ පලුවක් එබී බලන සැටි අහසට හිස නැගූ සුඝ්‍රාට පෙනිණි. යාඥාව පිණිස දෑත එසවූ ඇය සිය පියාට සුවය ලබා දෙන ලෙස දෙවියන් යැද්දාය. මේ වසරේ ඊද් උත්සවය නැතිවීම ගැන බෂාරත් නම් සිටියේ කණස්සල්ලෙනි. 

තවමත් රාත්‍රිය උදා වී තිබුණේ නැත. සුඝ්‍රා සිය පියාගේ සයනය කාමරයේ සිට වැරැන්ඩාවට රැගෙන විත් තිබිණි. සිසිලස ඇති වීම පිණිස ඕ පොළොව මතට දිය ඉස්සාය. මියන් මහතා ඇඳෙහි වැතිර හිස් බැල්මෙන් තමන් සඳ දුටු අහස දෙස නිහඬව බලා සිටියේය. සුඝ්‍රා පැමිණ ඔහු අසළින් හිඳගත්තාය. තමාට තව ළං වන ලෙස ඔහු ඇයට සන් කළේය. සිය දකුණු අත සෙමෙන් එසවූ ඔහු එය දියණියගේ හිස මත තැබුවේය. සුඝ්‍රාගේ දෙනෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය. මියන් මහතා පවා හැඟීම්බර වූ සෙයක් පෙනිණි. අනතුරුව ඔහු ඉතා අසීරුවෙන් ඇයට කතා කළේය.‘ දෙවියන් වහන්සේ දයාවන්තයි. හැම දෙයක්ම හොඳ අතට හැරෙයි.’

හදිසියේම දොරට තට්ටු කරන හඬක් ඇසිණි. සුඝ්‍රාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇය බෂාරත් දෙස බැලුවාය. ඔහුගේ මුහුණ කඩදාසියක් සේ සුදුමැලි වී තිබිණි. තවත් වරක් දොරට තට්ටු කරන හඬ ඇසුණේය. ඒ කවුරුන්දැයි බලන ලෙසට මියන් මහතා සුඝ්‍රාට සන් කළේය. ඒ නැවත පැමිණි මහලු අක්බාර් විය යුතු යැයි ඕ සිතුවාය. ‘ගිහින් බලන්න. මං හිතන්නේ ඒ අක්බාර් වෙන්න ඕනෑ.’ ඇය බෂාරත්ට කීවාය. එසේ නොවේ යැයි කියන්නාක් මෙන් ඇයගේ පියා හිස වැනීය. 

‘එහෙනම් ඒ කවුරු වෙන්න පුළුවන්ද?’ සුඝ්‍රා ඔහුගෙන් ඇසුවාය.

මියන් අබ්දුල් හයි කතා කරන්නට වෑයම් කළේය. එහෙත් ඊට ප්‍රථම බෂාරත් දුවගෙන ආවේය. ඔහු හතිලන්නට විය. සුඝ්‍රා පසෙකට කැඳවූ ඔහු ඇයගේ කනට කෙඳිරුවේය, ‘ඒ සීක් කාරයෙක්’.

‘සීක් කාරයෙක් ! මිනිහට මොනවද ඕනෑ?’ සුඝ්‍රා යටිගිරියෙන් කෑ ගෑවාය. 

‘මට දොර අරින්නෙයි කියලා මිනිහා කියනවා.’

බෂාරත් තුරුළු කරගෙන සිය පියාගේ සයනය වෙත ගිය සුඝ්‍රා ඔහු දෙස ශෝකයෙන් යුතුව බලමින් ඒ මත හිඳගත්තාය. 

මියන් අබ්දුල් හයි ගේ සිහින්, ජීවයෙන් තොර දෙතොල මත සිහින් සිනාවක් ඇඳිණි. ‘යන්න. ගිහින් දොර අරින්න. ඒ ගුර්මුඛ් සිං.’ 

‘නෑ. ඒ වෙන කවුරුහරි,’ බෂාරත් කීවේය.

මියන් මහතා සුඝ්‍රා වෙත හැරුණේය. ‘දොර අරින්න. ඒ එයා තමයි.’

සුඝ්‍රා නැගිට්ටාය. ඇය ගුර්මුඛ් සිං හඳුනයි. ඇයගේ පියා ඔහුට උදව්වක් කොට තිබිණි. ඔහු බොරු නඩුවකට පටලවා තිබූ අතර විනිසුරු මියන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබිණි. ඒ බොහෝ කලකට පෙරය. එහෙත් සෑම වසරකම ඊද් උළෙල දා ඔහු ගෙදර හැදූ නූඩ්ල්ස් මල්ලකුත් රැගෙන ගමේ සිට මියන් මහතා බැහැ දකින්නට එයි. ‘සර්දාර්ජී ඔහේ ඇත්තටම බොහෝම කරුණාවන්තයි. ඒත් මෙහෙම හැම අවුරුද්දකම කරදර වෙන්න උවමනාවක් නෑ’ යි මියන් මහතා ඔහුට කිහිප අවස්ථාවකදීම කියා තිබිණි. එහෙත් ඒ හැම විටෙකම ගුර්මුඛ් සිං මෙසේ කියමින් පිළිතුරු දෙයි: ‘ මියන් මහත්තයා, දෙවියන් වහන්සේ තමුන්නාන්සෙට හැම දෙයක්ම දීලා තියෙනවා. ඔබතුමා වරක් මට දක්වපු කරුණාව සිහිපත් වෙන්න හැම අවුරුද්දකම මම මේ අරගෙන එන්නේ ඉතාම සුළු තෑග්ගක්. මගේ මතු පරම්පරා සීයකට වුණත් ඔබතුමා මට කරපු උදව්වට වටිනාකම ගෙවලා නිම කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔබ තුමාව සතුටින් තබත්වා.’

සුඝ්‍රාට සහනයක් දැනිණි. පළමුවෙන්ම එය ඇයට කල්පනා නුවූයේ ඇයි? එහෙත් ඒ වෙනකවුරු හරි යැයි බෂාරත් කීවේ ඇයි? බෂාරත් ගුර්මුඛ් සිං හඳුනයි. 

සුඝ්‍රා ඉදිරිපස දොර වෙත ගියාය. දොරට තව වරක් තට්ටු කෙරිණි. ඇයගේ හදවත නැවතිණි. ‘ඔය කවුද?’ ඇය දුර්වල හඬකින් ඇසුවාය.

දොරේ ඇති කුඩා සිදුරකින් බලන ලෙසට බෂාරත් ඇයට කොඳුරා කීවේය.

එහි සිටියේ මහලු ගුර්මුඛ් සිං නොවේ. මේ තරුණයෙකි. ඔහු නැවතත් දොරට තට්ටු කළේය. ඔහුගේ අතෙහි මල්ලක් විය. ඒ සෑම වසරකම ගුර්මුඛ් සිං රැගෙන එන ආකාරයේ එකකි.

‘ඔහේ කවුද?’ ඇය ඇසුවේ පෙරට වඩා මඳක් වැඩි විශ්වාසයෙන් යුතුවය.
‘මම සර්දාර් ගුර්මුඛ් සිංගේ පුතා සන්තොක්.’

සුඝ්‍රාගේ බිය සැණෙකින් අතුරුදන් විය. ‘අද මොකද මේ පැත්තෙ ආවේ?’ යැයි ඕ විනීත ලෙස ප්‍රශ්න කළාය. 

‘නඩුකාර උන්නාන්සෙ කෝ?’ ඔහු ප්‍රශ්න කළේය.

‘තාත්තට සනීප නෑ,’ සුඝ්‍රා පිළිතුරු දුන්නාය. 

‘ආ, ඒ ගැන කනගාටුයි,’ සන්තොක් සිං කීවේය. ඉන් අනතුරුව එක් අතක තිබූ මල්ල අනෙක් අතට මාරු කළ ඔහු කතා කළේය.‘මේ ගෙදර හදාපු නූඩ්ල්ස්.’ මඳක් නැවතුණු ඔහු ‘අපේ තාත්තා නැතිවුණා’ යි කීවේය. 

‘නැතිවුණා !’

‘ඔව්, මාසෙකට ඉස්සෙල්ලා. මැරෙන්න කලින් තාත්තා මට කතා කරලා කිවුවා, “පහුගිය අවුරුදු දහය තිස්සෙම මම හැම අවුරුද්දෙම ඊද් උත්සවය දවසට නඩුකාර උන්නාන්සෙට මගේ පුංචි තෑග්ග ගෙනිච්චා. මං මළාම ඒක උඹේ රාජකාරිය වෙනවා,” කියලා. මම තාත්තට පොරොන්දු වුණා එහෙම කරනවා කියලා. මරණ මංචකයෙදි තාත්තට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි මම මේ අද ආවේ.’

සුඝ්‍රා කෙතරම් හැඟීම්බර විණිද යත් ඇගේ දෑසට කඳුළු ඉනුවේය. ඇය දොර මඳක් විවෘත කළාය. තරුණයා දොරේ විවරයෙන් මල්ල ඇය වෙතට තල්ලු කළේය. ‘දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මය සමාදානයේ සතපවත්වා’ යැයි ඕ කීවාය.

‘නඩුකාර උන්නාන්සෙට සනීප නැත්ද?’ ඔහු ඇසුවේය. 

‘නෑ.’

‘මොකක්ද අමාරුව?’

‘අංශබාගෙ.’

‘අපේ තාත්තා ජීවතුන් අතර හිටියා නම් මේක අහලා හොඳටම කනගාටු වෙනවා. අවසන් මොහොත වෙනකම්ම තාත්තා නඩුකාර උන්නාන්සෙගෙ කරුණාව අමතක කළේ නැහැ. තාත්තා හැම තිස්සෙම කිවුවේ “උන්නාන්සෙ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් ” කියලයි. දෙවියෝ උන්නාන්සෙව ආරක්ෂා කරන්න ඕනෑ. මම උන්නාස්සෙව ගෞරවයෙන් මතක් කළ බව කියන්න.’

වෛද්‍යවරයෙකු කැඳවාගෙන එන ලෙස ඔහුට කියන්නේද නැත්ද යන්න ගැන සුඝ්‍රා සිතින් වාද කරමින් සිටින අතරතුර ඔහු යන්නට ගියේය. 

සන්තොක් සිං වංගුවෙන් හැරෙත්ම තලප්පාවලින් සිය මුහුණු ආවරණය කරගත් මිනිස්සු හතර දෙනෙක් ඔහු වෙත ළං වූහ. ඉන් දෙදෙනෙකු අත ඇවිලෙන ගිනි පන්දම් විය. අනෙක් දෙදෙනා අත භූමිතෙල් පිරවූ කෑන් සහ පුපුරන ද්‍රව්‍ය තිබිණි. ‘සර්දාර්ජී ඔහේ තමුන්ගෙ රාජකාරිය ඉෂ්ට කළාද?’ ඉන් එකෙක් සන්තොක්ගෙන් ඇසුවේය.

ඔව් යැයි කියන්නට මෙන් තරුණයා සිය හිස පහත් කළේය. 

‘එහෙනම් අපි අපේ රාජකාරිය ඉෂ්ට කරන්න යන්නද?’ මිනිසා ඇසීය.

‘උඹලා කැමති නම්,’ යැයි පිළිතුරු දුන් ඔහු ඉවතට පියමං කළේය. 



-       







  


           -සාදත් හසන් මන්ටෝ ( 1912-1955)


1912 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පන්ජාබයෙහි උපන් සාදත් හසන් මන්ටෝ පාකිස්තානය බිහිවීමෙන් පසු එරටට සංක්‍රමණය විය. උර්දු බසින් ලේඛනයේ නියැලුණු මන්ටෝ නවකතාවක්ද, කෙටි කතා සංග්‍රහ විසි දෙකක්ද, ගුවන්විදුලි නාටක සංග්‍රහ පහක්ද පමණ රචනා කොට ඇත. පුවත්පත් කලාවේදියෙකු, සිනමා තිරනාටක රචකයෙකු හා ගුවන්විදුලි වැඩසටහන් රචකයෙකු වූ මන්ටෝ ලොව ප්‍රමුඛ පෙළේ කෙටිකතා රචකයෙකු ලෙස සැලකේ. 1947 දී ඉන්දියාව දෙකඩවීම සහ පාකිස්තානය බිහිවීම යන සුවිසල් භූදේශපාලනික ප්‍රපංචය කරණ කොට ගෙන මිනිසුන්ට විඳින්නට සිදු වූ ගැහැට, දුක පිරිපත මෙන්ම එකී ප්‍රපංචයේ සෙසු පැතිකඩවල් හෙතෙම සිය කෙටිකතාවලට වස්තු විෂය කර ගත්තේය. මෙම කෙටිකතාව සිංහලට නැගුණේ ඛාලිඩ් හසන්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.

 

18 comments:

  1. වෙනදා වගේම මේ පරිවර්තනයත් හරි අපූරුයි. මට "මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර්" චිත්‍රපටය මතක් උනා.

    අපේ ඇහැ නොගැටෙන කොයි තරම් නම් අපූරු නිර්මාණ විශ්ව සාහිත්යේ තියෙනවද? බොහොමත්ම ස්තූතියි ඒවා දෝතටම ගෙනත් දෙනවට .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. ‘මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර්‘ විතරක් නෙවෙයි බොහෝ චිත්‍රපටවලට හින්දු මුස්ලිම් භේදය වස්තු විෂය වෙලා තියෙනවා. එහෙත් මා හිතන හැටියට ඉන්දියාව දෙකඩවීම ඉතාමත් හොඳින්ම නිරූපණය වූ චිත්‍රපටය තමයි ‘තමස්‘ (අන්ධකාරය). එය පැය පහක ඉතා දීර්ඝ සිනමා ආඛ්‍යානයක්. හැකිනම් හොයාගෙන බලන්න.

      Delete
    2. පැය පහක් ය කීව දෙය්යනේ
      ඒත් බලන්නං හොයන්

      Delete
    3. ඔව්. ඒක බලන්න වටින චිත්‍රපටියක්.

      Delete
  2. ඉතා සුවපහසු පරිවර්තනයක්. ඒත් ඉතා අපහසු දීර්ඝ කාර්යයක්.. ස්තුතුයි ඔබට.. නිලූක.. ඩයලොග් ටික නං නියමෙටම තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ අපහසු දීර්ඝ කාර්යයේ වෙහෙස ඔබ වැනි අයගේ අදහස් නිසා නැතිව යනවා. ඩයලොග්වලදී පාවිච්චි කළේ එදිනෙදා කටවහර.

      Delete
  3. නියමයි. ඉන්දියානුවන් විතර ආගමෙන් ඔබෙස්සෙඩ් වෙච්චවෙච්ච් ජාතියක් ලෝකයේ නෑ

    ReplyDelete
    Replies
    1. මෙය ඉන්දියාවට පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවලට පොදු කාරණයක්. ස්තූතියි.

      Delete
  4. Earth (1998) චිත්‍රපටිය බැලූ දා ඇති වූ කම්පනය බඳු කම්පනයකින් මොහොතකට නැවතුණෙමි.

    ReplyDelete
    Replies
    1. භාව කම්පනය යනු කවියක් ලියන්නට හොඳ හේතුවක්.

      Delete
  5. හිතපු නැති අවසානයක්..
    එල ද බ්‍රා පරිවර්ථනයක්, නිර්මනයක්

    ReplyDelete
  6. අපූරු පරිවර්තනයක් නිලූක

    ReplyDelete
  7. ඇත්තට කියන්න වචන නෑ... මිනිස්සු ඇත්තටම මේ වගේද කියල හිතෙනව...
    අපූරුවට පරිවර්තනය කරල තියෙනව
    ජයෙන් ජයම ෙව්වා

    ReplyDelete
  8. නිලුක තෝරාගෙන ඇත්තේ අගේ ඇති කතාවක් . බොහොම ළයාන්විතව පරිවර්තනය කොට තිබෙනවා .

    ReplyDelete
    Replies
    1. මේ තේමාව අපටත් අදාළයි තිලක අයියා. ස්තූතියි ඔබේ අදහසට.

      Delete

සෙවුම්