2011/09/12

මකුළු හුය




1
එක් දිනක් තථාගතයන් වහන්සේ දෙව්ලොවෙහි පද්ම තඩාගය ඉවුරෙහි සක්මන් කරමින් හුන්හ.
තඩාගයෙහි වූ පද්මයෝ මුතු මෙන් ධවල වර්ණ වූහ. පද්මයන්ගේ මධ්‍යයෙහි වූ රන්වන් ජායාංග සහ පුමාංගවලින් නැගුණු මැකී නොයන සුගන්ධයකින් වාතලය නොනැවතී පිරී ගියේය.

එය දෙව්ලොවෙහි උදෑසන විය.

තථාගතයන් වහන්සේ දැන් පද්ම තඩාගය අද්දර නැවතී නිසලව වැඩ හුන්හ. දියතලය වසා සිටි පද්ම පත්‍ර අතර වූ හිඩැසකින් හදිසියේ ඊට පහතින් වූ දර්ශනය උන්වහන්සේගේ නෙත ගැටිණි.
දෙව්ලොවෙහි පද්ම තඩාගයට හරියටම පහතින් නිරය පිහිටා තිබූ බැවින් සදාකාලික අන්ධකාරයට ගලා යන රාග,ද්වේශ,මෝහ ගංගාවද ඉදිකටු පව්වෙහි තියුණු මුදුනද පළිඟුමය ජලය මැදින් පැහැදිලිව පෙනිණි.

ඉන් අනතුරුව උන්වහන්සේගේ බැල්ම සෙසු පවුකාරයන් සමග නිරයෙහි පැසෙන කන්දත නම් මිනිසා කෙරෙහි යොමු විය.

මේ කන්දත වනාහි දරුණු සොරෙකි. මිනී මැරීම්, ගෙවල් ගිනි ලෑම් වැනි අපරාධවල යෙදුණු නරුමයෙකි. එහෙත් හෙතෙම එකම එක පුණ්‍ය කර්මයක් කොට තිබිණි. වරක් ඝන කැලෑවක් මැදින් ගමනක් යන අතරතුර මග අයිනෙහි බඩගාමින් ඇදෙන කුඩා මකුළුවකු ඔහු දුටුවේය.

මකුළුවා පාගා මරා දැමීමට සැණෙකින් පය එසවූ කන්දතට ක්ෂණික සිතිවිල්ලක් පහළ විය: " මේ මකුළුවා කෙතරම් කුඩා වූවද ඌටද ඇත්තේ ප්‍රාණයකි. අවිචාරවත් ලෙස ඌ මරා දැමීම ලැජ්ජාවට කරුණකි. " ඔහු මකුළුවා නොමරා අත් හළේය.

නිරය දෙස නෙත් හෙලත්ම කන්දත මකුළුවාගේ දිවි බේරූ සැටි තථාගතයන් වහන්සේට සිහිපත් විය. ඒ යහපත් ක්‍රියාව හේතුවක් කොට ගෙන හැකියාවක් ඇතොත් කන්දත නිරයෙන් මුදවීමට තමන් වහන්සේ කැමති බව උන්වහන්සේට  සිතිණි. වාසනාවකට මෙන්, වට පිට බලන විට පද්ම පත්‍ර අතර අත්‍යාලංකාර රජතමය හුයක් වියන දෙව්ලොව මකුළුවකු උන්වහන්සේගේ නෙත ගැටිණි.

තථාගතයන්වහන්සේ රජතමය මකුළු හුය සෙමෙන් සියතට ගත්හ. මුතු මෙන් ධවල වර්ණ පද්මයන් මැද වූ හිඩැසෙන් උන්වහන්සේ රජතමය මකුළු හුය පහත වූ නිරයෙහි පත්ළ වෙත
බැස්සවූහ.

2

නිරයෙහි වූ රුධිර විලක කන්දත සෙසු පවුකාරයන් සමග ගිලෙමින් සිටියේය.

හාත්පස වසා සිටියේ ඝන අන්ධකාරයකි. ඉඳහිට අඳුර මැදින් දිලිසෙන යමක් නැගී එන බවක් පෙනුණද ඒ ඝෝර ඉදිකටු පව්වෙහි මුදුනෙන් නැගුණු කුඩා ආලෝකය පමණක්ම විය. හාත්පස රජ ‍කළේ මිනී වළක ඇති නිහඬතාවයි. ඉඳහිට නැගුණු එකම හඬ වූයේ පවුකාරයන් නැගූ දුබල සුසුම්වල හඬ පමණි. මෙතැන දුක් විඳින පවුකාරයන් නිරයෙහි වෙනත් තැන්වල වූ නිමක් නැති වධ හිංසාවලට භාජනය වී සිට මෙතැනට ආ බැවින් හඬ නගා හැඬීමේ ශක්තියද ඔවුන් කෙරෙන් පළා ගොස් තිබීම එයට හේතුවයි.

ඉදින් කන්දත කෙතරම් දරුණු සොරකු වූවද මරණාසන්න මණ්ඩුකයකු මෙන් ඒ රුධිර විලෙහි ගිලෙමින් දඟලනවා හැරෙන්නට ඔහුට කරන්නට වෙන යමක් ඉතිරිව නොතිබිණි.

එහෙත් ඔහුගේ වේලාව පැමිණියේය. එදා අහම්බයෙන් මෙන් සිය හිස නගා රුධිර විලට ඉහළින් වූ අහස දෙස බලන ඔහුට, ඉහළ දෙව්ලොවෙන් පැන නැගී මිනිසාගේ නෙත් පහරට බියෙන් මෙන් දැඩි අඳුර තුළ යාන්තමින් දිලිසෙමින් තමන් සිටි තැනට පහත් වන රජතමය මකුළු හුයක් පෙනිණි.

මෙය දුටු විට සතුටෙන් ඔහුට අත්පුඩි ගැසිණි. මේ හුයෙහි එල්ලී එය ඇරඹෙන තැනට ගි‍යහොත් තමාට නිසැකයෙන්ම නිරයෙන් ගැලවී යා හැකිය. ඇතැම්විට, සියලු දේ යහපත් ආකාරයකින් සිදු වුවහොත් තමාට දෙව්ලොවට වුව ප්‍රවේශ වීමට හැකිවනු ඇත. එසේ වුවහොත් යළි කිසි දිනෙක ඉදිකටු පව්වෙහි බඩගාන්නට හෝ රුධිර විලෙහි ගිලෙන්නට ඔහුට සිදු නොවනු ඇත.

මේ සිතිවිලි ඔහුගේ මනසට ඇතුළු වූ වහාම කන්දත මකුළු හුය දෑතින්ම තදින් අල්ලාගෙන සිය මුළු වැර යොදා ඒ දිගේ උඩට නගින්නට විය. ඔහු දක්ෂ සොරකු වූ බැවින් මෙවැනි කටයුතු ඔහුට හොඳින් හුරු පුරුදු විය.

එහෙත් දෙව්ලොව නිරයෙහි සිට කෙතරම් දුරකින් පිහිටා ඇත්දැයි කිසිවෙක් නොදනිති. එබැවින් කෙතරම් වැර යෙදුවද ඔහුට පහසුවෙන් නිරයෙන් පිට වීමට නොහැකි විය. ටික වේලාවක් හුය දිගේ උඩට නැගීමෙන් ඔහු වෙහෙසට පත් විය. තවත් නම් අඟලක් වත් ඉහළට නැගීමට නුපුළුවන.

කිරීමට වෙනත් දෙයක් නොවූයෙන් නතර වී විවේක ගැනීමට සිතූ හෙතෙම  හුයෙහි එල්ලී ගෙනම පහත බැලුවේය. පුදුමයකට මෙන්, ඔහු සිය මුළු ශක්තියම යොදා උඩට නැගි බැවින් රුධිර විල ඉතා පහත අඳුරෙහි සැඟව ගොස් තිබිණි. ඝෝර ඉදිකටු පව්ව ඔහුට පහළින් යාන්තමින් දිලිසිණ. මේ වේගයෙන්ම උඩට නැං‍ගහොත් තමා සිතනවාටත් වඩා ඉක්මනින් නිරයෙන් මිදී යෑමට පුළුවන් වනු ඇත.

සිය දෑත මකුළු හුයෙහි පටලවා ගෙනම මහ හඬින් සිනා සුණු කන්දත නිරයට පැමිණ ගතවූ බොහෝ අවුරුදු ගණන ඇතුළත පාවිච්චියට නොගත් හඬකින් උදම් අනන්නට විය : "මගේ කාර්යය සාර්ථකයි ! සාර්ථකයි !"

එහෙත් තමා පසුපසින්, හුයෙහි එල්ලුණු අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ පවුකාරයන් කුහුඹු රැලක් මෙන් දැඩි උනන්දුවකින් යුතුව උඩට නගින බව හදිසියේම ඔහු දුටුවේය.

මේ දර්ශනය දුටු විට සිය සුවිසල් මුව විස්මයෙන් සහ භීතියෙන් මුග්ධ ලෙස විවෘත කර ගත් කන්දත මොහොතක් ඇසිපිය සැලුවේය.

තමාගේ බරෙන් පමණක් වුවත් කැඩී යා හැකි යැයි පෙනෙන මේ සිහින් මකුළු හුය මේ සියලු මිනිසුන්ගේ බර දරන්නේ කෙසේද ?

හුය මැදින් කැඩී ගියහොත් මෙතරම් උඩකට නැග සිටින තමාට පවා පෙරළා නිරයට වැටීමට සිදුවනු ඇත.

එහෙත් මේ අතර සිය දහස් ගණනක් වූ පවුකාරයෝ අඳුරු රුධිර විලෙන් ඇඹරෙමින් එළියට අවුත් සිහින් දිලිසෙන හුය දිගේ සිය මුළු වැර යොදා උඩට නගිමින් සිටියෝය. තමා ඉක්මනින් යමක් නොකළහොත් හුය නිසැකවම දෙකට කැඩී ගොස් තමන් ඇද වැටෙනු ඇත. ඉදින් කන්දත මහ හඬින් කෑ ගසන්නට විය:

"ඒයි පවුකාර‍යනේ, මේ මකුළු හුය මගෙයි. මේ දිගේ උඩට නගින්න උඹලාට අවසර දුන්නේ කවුරුද ? බැහැපල්ලා ! බැහැපල්ලා ! "

එහෙත් ඒ මොහොතේම මෙතෙක් වේලා කැඩී යන ලකුණකුදු නොපෙන්වූ මකුළු හුය කන්දත එය අල්ලා ගෙන හුන් තැනින් දෙකට කැඩී ගියේය. අවම වශයෙන් හඬක් වත් නගන්නට ඉඩ නොලැබීම ඔහු හිස පහළට සිටින සේ අන්ධකාරය තුළට බඹරයක් මෙන් වේගයෙන් කැරකෙමින් ඇද වැටුණේය.

පසුව, දෙව්ලොවෙන් බට සිහින් මකුළු හුයෙහි කොටසක් පමණක් සඳ තරු නැති අන්ධකාර ආකාශයෙහි දිලිසෙමින් එල්ලී තිබිණි.

3

පද්ම තඩාගයෙහි කෙළවර වැඩ සිටි තථාගතයන් වහන්සේ සිදු වූ සියල්ල ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටියහ. කන්දත ගලක් මෙන් රුධිර විල පත්ළෙහි ගිලුණු විට උන්වහන්සේ උපේක්ෂා සහගත වුවනින් යුතුව එතැනින් ඉවතට සක්මන් කරන්නට පටන් ගත්හ.

ආත්මාර්ථකාමී හදවතින් යුත් කන්දත නිසැකවම තමන් පමණක්ම නිරයෙන් ගැලවී යාමට කටයුතු කළ අතර පෙරළා ඔහු නිරයට වැටීම අනුකම්පා කටයුතු දෙයක් ලෙස තථාගතයන්වහන්සේට පෙනිණි.  එහෙත් දෙව්ලොව පද්ම තඩාගයෙහි වූ ධවල වර්ණ පද්මයන් එවැනි දේවලින් සැලුණු බවක් නොපෙනිණි.

මුතු බඳු ධවලවන් පුෂ්පයෝ තථාගතයන්වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් අබියස දෙපසට චලනය වූහ. එසේ චලනය වත්ම ඒවායේ මධ්‍යයේ පිහිටි ස්වර්ණමය ජායාංගවලින් නැගුණු මැකී නොයන මධුර සුගන්ධයෙන් වාතලය පිරී ගියේය.

දෙව්ලොවෙහි මධ්‍යාහ්නයට ආසන්න වමින් තිබිණි.















රියුනොසුකෙ අකුතගාව (1892-1927)


ග්ලේන් ෂෝ ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි



1 comment:

  1. You were a great Lecturer to us..and now it seems you have become a great translator to the world...Best of Luck Sir ( Kalani Habaragamuwa)

    ReplyDelete

සෙවුම්