2015/04/29

සූර සහෝදරයන් හතර දෙනා



ක්තරා දුප්පත් මිනිහෙක් තමන්ගේ පුතුන් හතර දෙනාට මෙහෙම කියුවා: “මගේ ආදරණීය දරුවනේ. මට නුඹලාට දෙන්න දෙයක් නෑ. නුඹලා ලෝකෙට ගිහින් තමන්ගේ වාසනාව උරගා බලාපල්ලා. ඉස්සෙල්ලාම මොනවාහරි කර්මාන්තයක් ඉගෙන ගෙන ඊට පස්සේ කොහොමද ජීවත් වෙන්න පුළුවන් කියලා බලාපල්ලා.”ඉතින් සහෝදරයෝ හතර දෙනා අත්වලට හැරමිටි හතරකුත්, කරවල්වලට කුඩා පොට්ටනි හතරකුත් අරගෙන තමන්ගේ පියාට ආයුබෝවන් කියලා ගෙදරින් එකට පිටවෙලා ගියා. ටිකක් දුර ගියාම මේ සහෝදරයෝ හතරමං හන්දියකට පැමිණියා. එතැනින් බෙදිලා යන පාරවල් හතර ගියේ වෙන වෙනම රටවල්වලටයි. එතැනදී ඒ අයගෙන් වැඩිමහල්ම සහෝදරයා කතා කළා: “මෙතනින් අපි වෙන් වෙලා යන්න ඕනෑ. ඒත් හරියටම අවුරුදු හතරකට පස්සේ අද වගේ දවසකදී අපි ආපහු මෙතනදීම හම්බ වෙමු. ඒ කාලය ඇතුළතදී තම තමන්ට පුළුපුළුවන් විදියට හැදෙන්න මහන්සි ගනිමු.” ඉතින් ඒ කියුව විදියටම සහෝදරයෝ හතර දෙනා ඒ හතරමං හන්දියෙන් හතර පැත්තකට පිටවෙලා ගියා.

එහෙම යනකොට වැඩිමහල්ම සහෝදරයාට මිනිහෙක් හම්බ වෙලා ඇහුවා කොහෙද යන්නේ මොනවද ඕනෑ කියලා. “මගේ වාසනාව උරගාලා බලන්න මම ලෝකෙ බලන්න යනවා. ඒ වැඩේ මොනවාහරි කර්මාන්තයක් ඉගෙනගෙන පටන්ගන්නයි මගේ අදහස”, කියලා ඔහු උත්තර දුන්නා. “එහෙනං මාත් එක්ක එන්න. මං ඔබට උගන්වන්නම් මේ ලෝකෙ ඉන්න කපටිම හොරා වෙන විදිය” කියලා ඒ මිනිහා කියුවා. “මට බෑ. ඒක ඒතරම් අවංක කර්මාන්තයක් නෙවෙයි. අනෙක ඒකෙන් හම්බ කරගන්න පුළුවන් එල්ලුම්ගහ විතරයි කියලා වැඩිමල්ම සහෝදරයා උත්තර දුන්නා. “ඔබ එල්ලුම්ගහ ගැන බයවෙන්න එපා. ” කියලා මිනිහා කියුවා. “මම ඔබට උගන්වන්නේ සාධාරණ විදියට හොරකම් කරන්නයි. මම උගන්වන්නේ වෙනකාටවත් ගන්න බැරි, වෙන කවුරුවත් හොරකම් කරන්න උනන්දු වෙන්නෙත් නැති දේවල් හොරකම් කරන්නයි. අනෙක අහු නොවෙන්න ඒ දේ කරන හැටි මම කියලා දෙනවා.” ඒ අනුව මගදී හමුවුණු මිනිහා උගන්වන කර්මාන්තය ඉගෙන ගන්න තරුණයා එකඟ වුණා. ඉතා ඉක්මනින්ම ඔහු සොරකම් කිරීමේ කොතරම් දක්ෂයෙක් වුණාද කියනවා නම් ඔහුගේ හිතට අල්ලපු දෙයක් සොරකම් කිරීමෙන් වළක්වන්න කිසිකෙනෙකුට බැරිවුණා.

දෙවැනි සහෝදරයාටත් ඒ වාගේම මගදී කෙනෙකු මුණගැහුණා. දෙවැනි සහෝදරයා යන්නේ කොහේද, ඔහුට ඕනෑ කරන්නේ මොනවද කියලා දැනගත්තම ඔහු බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කර්මාන්තයක් ඉගෙන ගන්නද කියලා අමුත්තා විමසුවා. “මම තවම දන්නේ නෑ” කියලා තරුණයා උත්තර දුන්නා. “එහෙනම් මාත් එක්ක එන්න. මම ඔබට තරු බලලා සාස්තර කියන කෙනෙකු වෙන්න උගන්වන්නම්” කියලා අමුත්තා කියුවා.“ තරු බලා සාස්තර කීම බොහොම වැදගත් කර්මාන්තයක්. ඒ වාගේම ඔබට තරු තේරුම් ගන්න පුළුවන් නම් ඔබෙන් කිසි දෙයක් හංගන්න බෑ” කියලත් ඔහු කීවා. මේකට තරුණයා එකඟ වුණා. ඉතාමත් කෙටි කලකින් ඔහු කෙතරම් දක්ෂ තරු බලන්නෙකු වුණාද කියනවා නම්, ඉගෙනුම අවසන් කරලා තමන්ගේ ගුරුවරයාගෙන් සමුගන්න යනකොට ගුරුවරයා ඔහු අතට දුරබලන කණ්ණාඩියක් දීලා මෙහෙම කියුවා: “මේ කණ්ණාඩියෙන් අහසේත් පොළොවේත් තියෙන ඕනෑම දෙයක් ඔබට බලන්න පුළුවන්, කිසිම දෙයක් ඔබෙන් හංගන්නට බෑ.”

තුන්වැනි සහෝදරයාට හම්බවුණේ දඩයක්කාරයෙක්. දඩයක්කාරයා තුන්වැනි සහෝදරයා කැටුව ගිහින් දඩයම් ශිල්පය පිළිබඳ හැම දෙයක්ම කියලා දුන්නා. ඔහුත් දඩයම් ශිල්පයේ අති දක්ෂයෙක් වුණා. ඔහු තමන්ගේ ගුරුවරයාගෙන් සමුගෙන යන දවස ආවාම, ගුරුවරයා ඔහු අතට දුන්නක් දීලා මෙහෙම කියුවා : “මේ දුන්නෙන් විදින ඊතල නොවැරදීම ඉලක්කයටම වදිනවා.”

බාලම සහෝදරයාටත් මේ විදියට කෙනෙකු හමුවෙලා ඔහුට අවශ්‍ය මොනවාදැයි විමසා සිටියා. “ඔබ කැමති නැද්ද මහන්නෙක් වෙන්න? ” ඔහු ඇසුවා. “අපොයි මට බෑ.” තරුණයා පිළිතුරු දුන්නා. “කාටද පුළුවන් උදේ ඉඳන් රෑ වන තුරු කකුල් නවාගෙන වාඩිවෙලා ඇඳුම්, ඉදිකටු, නූල් එක්ක හරඹ කරන්න? ඔය වැඩේ මට හරියන්නේ නෑ.”කියලා ඔහු කියුවා. “මම කරන්නේ එහෙම මැහිල්ලක් නෙවෙයි. මාත් එක්ක එන්න මම ඔබට වෙනමම විදියක මැහිලි කර්මාන්තයක් උගන්වන්නම්” කියලා අමුත්තා තරුණයාට පැවසුවා. ඉගෙන ගන්නට මීට වඩා හොඳ දෙයක් ගැන හිතාගන්නට බැරුව තරුණයාත් ඒ කර්මාන්තය මුල හිටම ඉගෙන ගත්තා. ඔහුත් ඉගෙනීම නිමවෙලා තමන්ගේ ගුරුවරයාගෙන් වෙන්වෙලා යන්න හදන කොට, ඒ ගුරුවරයා ඔහු අතට ඉදිකටුවක් දුන්නා: “ මේ ඉදිකටුවෙන් ඔබට ඕනෑම දෙයක් මහන්න පුළුවන්. බිත්තරයක් වගේ මෘදු දෙයක් වුණත්, වානේ වගේ තද දෙයක් වුණත් දාරයක් නොහිටින විදියට මහන්න මේ ඉදිකටුවට පුළුවන්.”

කලින් එකඟ වෙච්ච විදියටම අවුරුදු හතරකට පස්සේ සහෝදරයන් හතර දෙනා නියමිත දවසේදී හතරමං හන්දියේදී හමුවුණා. එහෙම හමුවෙලා, එකිනෙකා සාදරයෙන් පිළි අරගෙන තමන්ගේ පියාගේ නිවෙසට යන්නට පිටත් වුණා. පියාගේ ගෙදරට ඇවිත් මේ අවුරුදු හතරෙදි තමන්ට වුණු දේවලුත්, තමන් සියලු දෙනාම යම් කර්මාන්තයක් ඉගෙනගත් හැටිත් ඔවුන් ඔහුට විස්තර කළා.

ඉතින් ඔහොම කාලෙ ගතවෙද්දී එක දවසක් මේ පස්දෙනා ගේ ඉස්සරහා උස ගහක් යට වාඩිවෙලා හිටියා. සහෝදරයන්ගේ පියා කතා කළා: “ මම කැමතියි නුඹලා හතර දෙනා ඉගෙන ගත්ත කර්මාන්තය කොච්චර දුරකට ඉගෙන ගෙන තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න.” එහෙම කියපු ඔහු ගහ උඩ බලලා තමන්ගේ දෙවැනි පුතාට කතා කළා. “මේ ගහ මුදුනේ බට්ටිච්චෙකුගේ කූඩුවක් තියෙනවා. ඒ කූඩුවේ බිත්තර කීයක් තියෙනවාද කියලා කියන්න.” දෙවැනි පුතාත් තමන්ගේ දුර බලන කණ්ණාඩිය අරගෙන බලලා කියුවා “පහයි” කියලා. එතකොට තාත්තා තමන්ගේ වැඩිමහල් පුතාට කියුවා “ඒ බිත්තර රකින බට්ටිච්චිට නොදැනෙන්න ඒ බිත්තර පහ අරගෙන එන්න” කියලා. ඉතින් වැඩිමහල් පුතාත් ගහට නැගලා, කිරිල්ලියට පෙනෙන්නෙවත් නැතුව යාන්තමින්වත් දැනෙන්නෙවත් නැතුව බිත්තර ටික හොරෙන් අරගෙන තමන්ගේ පියාට ගෙනැල්ලා දුන්නා.  මහල්ලා ඒ බිත්තරවලින් හතරක් මේසේ හතර කොනේත්, එක බිත්තරයක් මේසෙ මැදත් තිබ්බා. එහෙම තියලා දඩයක්කාර පුතාට කතා කරලා කියුවා “එකම එක ඊතල පාරකින් මේ බිත්තර පහම හරියට දෙකට මැදින් කපන්න” කියලා. දඩයක්කාරයත් තමන්ගේ දුන්න අරගෙන පියා කියුව විදියටම එකම ඊතල පාරක් විදලා බිත්තර පහම හරියට දෙකට වෙන් කළා. “දැන් නුඹේ වාරේ” ඔහු තමන්ගේ බාලම පුතාට කතා කළා. “ඊතල පාරින් කිසිම හානියක් නොවුණු ගානට මේ බිත්තර පහත් ඒ ඇතුළෙ ඉන්න කුරුළු පැටවුන් පස් දෙනාත් එකතු කරලා මහන්න” කියලා ඔහු කියුවා. ඉතින් සන්නාලි පුතාත් තාත්තා කියූ විදියටම තමන්ගේ ඉදිකටුව අරගෙන බිත්තර පහ මැහුවා. ඔහුගේ වැඩේ ඉවර වුණාම තාත්තා සොර පුතාට කියුවා කිරිල්ලියට නොදැනෙන්නට අර මහපු බිත්තර පහ ආපහු ඇගේ බඩ යටින් තියන්න කියලා. බිත්තර ආපහු තියපුවාම කිරිල්ලියත් කිසිම දෙයක් නොදැන ඒ බිත්තර රැක්කා. ටික දවසකින් බිත්තර පුපුරලා කුරුළු පැටවු එළියට ආවා. සන්නාලියා මහපු තැන සලකුණු වුණේ උන්ගේ බෙල්ලේ තිබුණු බොහෝම සිහින් රතු ඉරකින් පමණයි.

“බොහෝම හොඳයි ! නුඹලා හොඳට කාලයෙන් ප්‍රයෝජන අරගෙන ඉතාම වටින කියන දේවල් ටිකක් ඉගෙන ගෙන තියෙනවා. මට හිතා ගන්න බෑ නුඹලා අතරින් වැඩිපුරම දක්ෂයා කවුරුද කියලා. ඒ වුණාට නුඹලාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න දවසක් ඉක්මනටම උදාවෙයි” කියලා මහල්ලා කියුවා.

මේ සිදුවීම වෙලා වැඩි දවසක් යන්නට කලින් රටේ අලි කලබලයක් ඇති වුණා. ඒ මොකද කියනවා නම් රටේ රජ්ජුරුවන්ගේ දූ කුමාරිව මහ බල සම්පන්න මකරෙක් පැහැරගෙන ගිහිල්ලා. ඇගේ නැතිවීමෙන් දිවා රෑ ශෝක වෙච්චි රජතුමා අණබෙරයක් යැවුවා දූ කුමාරිව ආපහු තමන් ළඟට ගේන්න පුළුවන් කෙනෙකුට ඈ සරණ පාවලා දෙනවා කියලා. මේක අහපු සහෝදරයෝ හතර දෙනා සාකච්ඡා කළා. “මෙන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපට කරන්න පුළුවන් මොනවද කියලා අපි උත්සාහ කරලා බලමු.” තමන්ට මේ කුමාරිකාව නිදහස් කරගන්නට වෑයම් කරන්න බැරිද කියලා බලන්න සහෝදරයෝ හතර දෙනා ගිවිස ගත්තා. “මං බලන්නම් කුමාරිකාව කොහෙද ඉන්නෙ” කියලා කියපු තරු බලන තරුණයා තමන්ගේ කණ්ණාඩිය අරගෙන බැලුවා. එහෙම බලලා ටික වේලාවකින් මෙහෙම කෑ ගැහුවා. “මට පේනවා ඇය ඉන්න තැන. ඈත මුහුදේ ගල් පර්වතයක් උඩ කුමාරිකාව වාඩිවෙලා ඉන්නවා. මකරත් එතනම ඇය රකිමින් ඉන්නවා මට පේනවා.”  ඉන්පස්සෙ රජතුමා ළඟට ගිහින් තමන්ටත් තමන්ගෙ සහෝදරයන්ටත් නැගලා යන්න නැවක් ඉල්ලා ගත්ත ඔහු, ඒ නැවේ නැගලා යාත්‍රා කරලා කුමාරිකාව ඉන්න ගල් පර්වතය ළඟට සේන්දු වුණා. අර කියපු විදියටම කුමාරිකාව ගල් පර්වතය උඩ වාඩි වෙලා හිටියා. මකරා උගේ ඔලුව ඇයගේ උකුලේ තියාගෙන නිදාගෙන හිටියා. “මට මකරට විදින්න බෑ” දඩයක්කාර සහෝදරයා කියුවා. “එහෙම කළොත් මට බයයි කුමාරිකාවත් මැරෙයි කියලා.” “එහෙනම් මම මගේ හැකියාව පාවිච්චි කරලා බලන්නම්” කියලා කියපු හොර සහෝදරයා ගල් පර්වතයට නැගලා මකරට නොදැනෙන්නට කුමාරිකාව එතැනින් ඉවත් කර ගත්තා. ඒ හොරකම කොච්චර ඉක්මනින්, මෘදු විදියට  කළාද කියනවා නම් මකරට කිසි දෙයක් දැනුනේ නෑ. ඌ හොඳට ගොරවමින් නිදාගෙන හිටියා.

ඊට පස්සෙ ඒ අය බොහොම සතුටින් කුමාරිකාවත් බෝට්ටුවක දාගෙන නැවත නැවට පැමිණියා. එහෙම එනකොට මකරට ඇහැරිලා කුමරිය නැති බව දැනගෙන මහ හයියෙන් ගොරවාගෙන බෝට්ටුව පිටිපස්සෙන් පන්නන්න පටන් ගත්තා. ඌ හැදුවේ බෝට්ටුවට කඩා පැනලා සහෝදරයන්ව පාගලා දාලා කුමාරිකාව ඩැහැගෙන යන්නයි. ඒත් එතකොටම දඩයක්කාරයා තමන්ගේ දුන්න ඇදලා අරගෙන මකරගේ හදවත පාසා කරගෙන යන්නට විද්දා. මකරා ඇදගෙන වැටිලා එතැනම මළා. ඒ වුණාට මකරා කොච්චර විශාල සතෙක්ද කියනවා නම් ඌ බෝට්ටුව උඩට ඇදගෙන වැටිලා බෝට්ටුව කෑලි කෑලිවලට කැඩිලා ගියා.  ඉතින් සහෝදරයනුයි කුමාරිකාවයි ලෑලි කෑලි කීපයක එල්ලිලා මුහුදේ පාවෙන්නට වුණා. එතකොට සන්නාලි සහෝදරයා තමන්ගේ ඉදිකටුව අරගෙන ලෑලි කෑලි ටිකක් එකට එකතු කරලා මහලා තට්ටුවක් හදලා ඒකේ වාඩි වෙලා එහෙ මෙහ පාවෙමින් ඉතා ඉක්මනින් කෑලි කැඩුණු බෝට්ටුව පෙර තිබුණු විදියටම මැහුවා. ඒ බෝට්ටුවේ නැගලා නැවට ආපු පිරිස කිසි කරදරයක් නැතිව ආපහු තමන්ගේ රටට ආවා.

කුමාරිකාව නැවත පියරජ්ජුරුවන් වෙත රැගෙන ආවාම රජතුමා හරියට සතුටු වුණා. රජතුමා තරුණයන් හතර දෙනාට කතා කළා: “නුඹලාගෙන් එක්කෙනෙක් මගේ දූ කුමරිය සරණ පාවා ගත යුතුයි. හැබැයි ඊට කලින් ඒ කවුරුන්ද කියලා නුඹලාම තීරණය කළ යුතුයි.” ඉතින් මේ කාරණය උඩ සහෝදරයන් අතර දබරයක් හට ගත්තා. “මම කණ්ණාඩියෙන් බලලා කුමාරිකාව හොයා නොගත්තනම් නුඹලාගේ හැකියාවලින් කිසිම පලක් වෙන්නේ නෑ. ඒ නිසා කුමරිය අයිති මටයි”කියලා තරු බලන සහෝදරයා කියුවා.“ මම ඇයව මකරගෙන් හොරකම් නොකළා නම් නුඹේ බැලිල්ලෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා ඇය මගෙයි” කියලා හොර සහෝදරයා කියුවා. “ නෑ. ඇය මගෙයි” කියලා දඩයක්කාරයා කියුවා. “ මම මකරව නොමැරුවා නම් ඌ නුඹලවයි කුමාරිකාවයි කෑලිවලට ඉරා දමනවා.” “හොඳයි. මම බෝට්ටුව එකතු කරලා මැහුවේ නැත්නම් නුඹලා ඔක්කොම මෙලහටත් ගිලිලා මැරිලා. ඒ නිසා කුමාරිකාව මගෙයි” කියලා සන්නාලියා පැවසුවා.

එතකොට රජතුමා කතා කළා. “නුඹලා හැම කෙනෙක්ම නිවැරදියි. ඒත් නුඹලා හැමෝටම කුමාරිකාව අයිති කරගන්නට බැරි නිසා හොඳම දේ තමයි ඇය කාටවත්ම නොදී ඉන්න එක. ඒකට හරියන්න නුඹලා හැම කෙනෙකුටම තමන්ගේ හැකියාව අගය කිරීමක් වශයෙන් රටක බාගයක් මම දෙනවා.” ඉතින් එකිනෙකා එක්ක දබර කරගන්නවාට වඩා ඒක හොඳ යෝජනාවක් කියලා සහෝදරයෝ ටික එකඟ වුණා. රජතුමා පොරොන්දු වුණු විදියටම ඒ හැම කෙනාටම රටකින් බාගෙ ගානේ දුන්නා. ඉතින් ඔවුන් තමන්ගේ පියාවත් හොඳින් බලා කියාගෙන ඉතාමත් සතුටින් ජීවත් වුණා. 
















-ජේකොබ් ග්‍රිම් (1785-1863) සහ විල්හෙල්ම් ග්‍රිම් (1786-1859)


Painting by: Cory Godbey

12 comments:

  1. මේ ජර්මනියේ ග්‍රිම් සහෝදරයෝ නේද? ඔවුන්ගෙන් වැඩිපුරම ලිව්වෙ ජාකොබ්ද??

    කතාව මරු..හාන්ස්ගේ කතා ජර්මන් වලට ගත්තෙත් මේ අයයි මට මතක විදියට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක. ඔබේ ‘ඇණය‘ කතාව මා කියෙව්වා. අපූරුයි.

      Delete
  2. මමත් ළඟදි කියෙව්වා ඌරාපොල හේමාලෝක හිමි පරිවර්තනය කොට තිබෙන ග්‍රිම් සහෝදරයින්ගේ සුරංගනා කතා.
    ඈත රටවල ඈත කාලෙක ජීවත් වුණු සුන්දර මිනිස්සු! ජීවිත කාලය සුන්දරව ජීවත් වෙලා නික්ම යන එක මොනතරං හොඳද?

    ReplyDelete
    Replies
    1. ඈත රටවල ඈත කාලෙක ජීවත් වුණු සුන්දර මිනිස්සු. ඒක කොච්චර ඇත්තද.

      Delete
  3. උගත් පාඩම : ගවුමක් කොතනද එතන වලියක්...!!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම පාඩමක් වුණත් ඉගෙන ගන්න පුළුවන් තමා.

      Delete
  4. රජතුමා කට්ටයෙකි.....

    ReplyDelete
    Replies
    1. නැතුව කොහොමද? හතර දෙනෙකුට එකපාර දූ කුමරිය දෙන්නෙ කොහොමද.

      Delete
  5. එල ද බ්‍රා
    මේ කතා ටික පොඩි මෙන්ඩියාට

    ReplyDelete
  6. හම්මේ හරිම අපූරු කතාවක්....ඔන්න ඔයාගේ පස්සෙනුත් පන්නනවා එහෙනම් අද ඉදන්....

    ReplyDelete

සෙවුම්