2015/05/20

මාරියෝ



ය සිදු වූයේ මෙන්න මේ විදියටය. ෆිලොමෙනා නින්දේ සිටියදී උදේ පාන්දර අවදි වූ මම මගේ ආයුධ මල්ලත් රැගෙන හඬක් නොනගාම නිවෙසෙන් පිටවීමි. මොන්තෙ පරියෝලිවල ග්‍රාම්ස්කි පාරේ තිබූ කාන්දු වන බොයිලේරුවක් අලුත්වැඩියා කිරීමට මට සිදුවී තිබුණේය. අලුත්වැඩියාව කරන්නට මට කොපමණ කාලයක් ගත වූයේද ? නිසැකවම ඊට පැය දෙකක් පමණ ගත වන්නට ඇත. මන්ද යත් බොයිලේරුවේ බටය ගලවා ආපසු සවි කරන්නට වූ බැවිනි. වැඩ අවසන් කළ මම බසයේ හා ට්‍රෑම් කාරයේ නැගී මගේ නිවෙස සහ වැඩපොළ පිහිටා තිබූ කොරොනරි පාරට පැමිණියෙමි.  දැන් මේවාට ගත වූ කාලය සලකා බලන්න: මොන්තෙ පරියෝලිවල පැය දෙකක්, එහි යන්නට සහ ආපසු එන්නට පැය බාගය බැගින් පැයක්- සම්පූර්ණයෙන් පැය තුනක්. පැය තුනක් යනු කුමක්ද ? මා හිතන හැටියට කරන්නට තිබෙන වැඩය අනුව එක්කෝ එය මහ කාලයකි නැත්නම් සුළු වේලාවකි. ඊයම් බට කෑල්ලක් අලුත්වැඩියා කරන්නට මා පැය තුනක් ගත කොට ඇත. වෙන කෙනෙකු නම් මේ කාලය ඇතුළත.......

එහෙත් අපි දේවල් සිදු වූ ආකාරය ඒවායේ නියම අනුපිළිවෙළ අනුව සලකා බලමු. කොරොනරි පාරට හැරී තාප්පය දිගේ වේගයෙන් ඇවිද ගෙන එන විට කවුරුන් හෝ මට මගේ නම කියා කතා කරන සැටි ඇසිණි. ආපසු හැරුණු මා දුටුවේ අපේ ගෙදර ඉදිරිපිට නිවෙසේ වෙසෙන තානායම්පොළ බලාකියා ගන්නා මහලු ෆේදේ ය. මේ ෆේදේ ගේ කකුල් රක්තවාතය නිසා කෙතරම් ඉදිමී තිබුණේද කියතහොත් ඒවා අලි කකුල් මෙන් පෙනිණි.  ඈ අමාරුවෙන් හති හලමින් කතා කළාය: ‘හප්පේ අද හරි වැඩ නොවැ! කොහෙද පාරේ උඩහටද යන්නේ ? මේ කූඩෙ ගෙනියන්න පොඩ්ඩක් උදව් කරනවද?’

ඉතා කැමැත්තෙන් උදව් කරන බව කී මම මගේ ආයුධ බෑගය අනෙක් උරහිසට මාරු කොට ඇගේ අතින් කූඩය ගත්තෙමි. සිය දිග බුරුල් කබාය ඇතුළත වූ කොට්ට බඳු දෙපා අද්දමින් ඇය මා පසෙකින් ඇවිද ආවාය. ටික වේලාවකට පසු ඇය මගෙන් මෙසේ ප්‍රශ්න කළාය: ‘එතකොට කෝ ෆිලොමෙනා?’

‘ගෙදර,’ මම පිළිතුරු දිනිමි.‘නැතුව කොහෙ යන්නද?’

‘ගෙදර නේන්නම්.’ ඇය කීවේ හිස පහත් කරගෙනය.‘එහෙනං, එහෙනං.’

‘මොකද “එහෙනං, එහෙනං’’ කියන්නේ ?’මා ඇසුවේ යමක් කිව යුතු බැවිනි.

‘එහෙනං..... අනේ අසරණ කොල්ලා,’ඇය කීවාය.

මගේ සිතේ සැකයක් පැලපදියම් වෙන්නට පටන් ගත්තේය. ටික වේලාවක් ගත වන්නට ඉඩහැර මම ප්‍රශ්න කළෙමි: ‘ මොකද “අසරණ කොල්ලා’’ කියන්නේ ?’

‘මට උඹ ගැන කනගාටු නිසා’ යැයි අවලස්සන මැහැල්ල මා දෙස නොබලාම කීවාය.

‘මොකක්ද ඒකෙ තේරුම ?’

‘මං කියන්නේ දැන් කාලෙ ඉස්සර කාලෙ වගේ නෙවෙයි....දැන් කාලෙ ගෑනු අපේ කාලෙ ගෑනු වගේ නෙවෙයි.’

‘ඇයි?’

‘මගේ කාලෙ මිනිහෙකුට තමුන්ගෙ ගෑනිව හිතේ කරදරයක් නැතුව ගෙදර තියලා යන්න පුළුවන්.... ඒ තියලා යන විදියටම ගෑනි ඉන්නවා මිනිහා ගෙදර එනකොටත්.... ඒ වුණාට මේ කාලෙ....’

‘මේ කාලෙ මොකද?’

‘මේ කාලෙ ඒ වගේ නෙවෙයි.... හොඳයි, හොඳයි.... මගේ කූඩෙ දෙන්න. බොහොම ස්තූතියි.’

ඒ සුන්දර උදෑසන වූ සෑම සතුටක්ම දැන් මගේ ඇතුළාන්තයේ විෂ බවට හැරී තිබුණේය. කූඩය ආපසු අදිමින් මම කතා කළෙමි: ‘ඔය කියන කතාව පැහැදිලි කරලා දෙනකම් මං මේක දෙන්නෙ නෑ.... මොකක්ද මේකට ෆිලොමෙනාගේ තියෙන සම්බන්ධය?’

‘මේ ගැන මම මොනවත් දන්නෙ නෑ. ඒ වුණාට කලින් අනතුරු අඟවලා තියෙන එක හොඳයි නොවැ.’

‘ෆිලොමෙනා මක් කරලද? කියනවා හොඳයි,’ මම කෑ ගෑවෙමි.

‘අදල්ගිසාගෙන් අහපන්,’ ඕ පිළිතුරු දුන්නාය. මෙවර ඇය මගේ අතින් කූඩය උදුරාගෙන ඇය තුළ ඇතැයි මා කිසිදිනෙක දැන නොසිටි තරමේ කඩිසරකමකින්, දුවමින් මෙන් එතැනින් පිටවී ගියාය.

මේ මොහොතේ නැවතත් වැඩපොළ වෙත යෑමේ තේරුමක් නැතැයි තීරණය කළ මම අදල්ගිසා සොයාගෙන ගියෙමි. වාසනාවකට මෙන් ඇයද ජීවත් වූයේ කොරොනරි පාරේමය. මට ෆිලොමෙනා හමුවන්නට පෙර මාත් අදල්ගිසාත් විවාහ ගිවිසගෙන සිටියෙමු. ඈ දිගටම අවිවාහකව විසූ අතර ෆිලොමෙනා ගැන මේ කතාව ගොතන්නට ඇත්තේ ඇය බවට මම සැක කළෙමි. මම තට්ටු හතරක් උඩට නැග ඇගේ ගෙයි දොරට තඩි බෑවෙමි. ඇය කෙතරම් ඉක්මනින් දොර විවර කළේද යත් තව පොඩ්ඩෙන් මා දොරට ගැසූ පහර වදින්නේ ඇගේ මුහුණටය. ඇගේ ඇඳුමේ අත් උඩට නවා තිබූ අතර අතෙහි කොස්සක් විය. ‘ජිනෝ, මොනවද ඔයාට ඕනෑ’ යැයි ඕ තියුණු ලෙස ප්‍රශ්න කළාය.

අදල්ගිසා කුඩා තරුණියකි. ඈ සිත්ගන්නාසුළු යුවතියකි. එහෙත් ඇයට වූයේ සිරුරට වඩා මඳක් විශාල හිසක් සහ ඕනෑවට වඩා ටිකක් ඉදිරියට නෙරූ නිකටකි. මේ නිකට නිසා ඔවුහු  ඇයට ඉස්කෝප්ප රැජින යැයි කීහ. එසේවූවද, ඇගේ මුහුණට එසේ පැවසීම කිසිදා නොකළ යුතු දෙයකි. එහෙත් මා ඈ කෙරේ කෙතරම් නුරුස්නා බවකින් කටයුතු කළේද යත් මෙසේ කීමි: ‘ඒයි ඉස්කෝප්ප රැජින තමුසෙ තමයි මම වැඩට ගිය අතරෙ ගෙදර ඉඳන් ෆිලොමෙනා ඕනෑ නැති දේවල් කරනවා කියලා කතා හදලා තියෙන්නේ.’

ඈ කෝපයෙන් පිරුණු දෙනෙතක් මා වෙත යොමු කළාය. ‘තමුසෙට ඕනෑ කළේ ෆිලොමෙනානේ....ඉතින් දැන් තමුසෙට එයාව හම්බ වෙලා ඉන්නේ.’

ඇතුළට ගිය මම ඇගේ බාහුවෙන් අල්ලා ගතිමි. එහෙත් ඇය මා වෙත අපේක්ෂාසහගත බවකින් යුතුව මෙන් බැලූ නිසා එසැණෙන්ම ඇගේ බාහුව අත හැරියෙමි. ‘එහෙනම් ඒ තමුසෙ තමයි ?’ මම ඇසීමි.

‘මම නෙවෙයි කතා හැදුවේ.... මට ඇහුණු කතාවක් ආපහු කිව්වා විතරයි.’

‘කාගෙන්ද ඇහුණේ ?’

‘ජන්නිනාගෙන්.’

කිසිවක් නොකී මම ආපසු යන්නට හැරුණෙමි. එහෙත් මා නතර කළ ඇය මා වෙත හැඟීම් කුපිත කරවන බැල්මක් හෙලමින් ‘හැමතැනම මට ඉස්කෝප්ප රැජින කිය කියා යන්න එපා’යැයි කීවාය.

‘ඇයි තමුසෙට තියෙන්නෙ ඉස්කෝප්පයක් වගේ නිකටක් නෙවෙයිද?’ මා ඇසුවේ ඇගෙන් මිදී තරප්පු පෙළ දිගේ පහළට බසිමිනි.

‘ඉස්කෝප්පයක් වගේ නිකටක් තියෙන එක හොඳා අං දෙකක් තියෙනවට වඩා,’ ඇය අත්වැටට උඩින් නැඹුරු වෙමින් මා වෙත කෑ ගැසුවාය.

මගේ හිතට දැඩි කනස්සල්ලක් දැනෙන්නට පටන්ගෙන තිබුණේය. ෆිලොමෙනා මා රවටතැයි යන්න විය නොහැක්කක් සේ පෙනුණේ අප විවාහ වී ගෙවුණු පසුගිය වසර තුන පුරාවටම ඇය සෑම ආකාරයකම ආදර සත්කාරවලින් මා සැනසවූ බැවිනි. එහෙත් ඊර්ෂ්‍යාව යනු පුදුම දෙයකි ! ෆේදේ සහ අදල්ගිසා කියූ දේවල් ශ්‍රවණය කිරීමෙන් පසු, මේ ආදරයේ සෑම සලකුණක්ම ද්‍රෝහීකමේ සාක්ෂි ලෙස මට පෙනෙන්නට විය. හොඳයි බලමු....

ජන්නිනා ඒ පාරේම කිට්ටුව තිබූ අවන්හලක අයකැමිවරිය ලෙස වැඩ කළාය. ඇය රන්වන් හිසකෙසින් යුත් දුබල තරුණියකි. ඇගේ හිසකේ සිනිඳුය, දෑස තද නිල් පාටය. ඇය වැඩි කලබලයක් නැති, සෙමෙන් වැඩ කරන, කල්පනාවෙන් බර කෙනෙකි. අයකැමි මේසය වෙත ගිය මම ඇගේ කනට කෙඳිරුවෙමි: ‘මම නැති වෙලාවට ෆිලොමෙනා ගෙදරට මිනිස්සු ගෙන්න ගන්නවා කියලා කියන කතාව හැදුවෙ තමුසෙද ?’

ඇය සිටියේ ගනුදෙනුකරුවෙකු සමගිනි. ඇය මුදල් රෙජිස්ටරයේ යතුරු ඔබා ඉන් පිටතට ආ බිල්පත ඇද සිය කටහඬ උස් නොකොටම ‘කෝපි දෙකයි....’ යැයි කීවාය. ඉන් අනතුරුව බොහෝ සන්සුන්ව ‘ඔයා මට මොකක්ද කිව්වේ ජිනෝ ?’ යැයි ඇසුවාය.

මම ප්‍රශ්නය පුනරුච්චාරණය කළෙමි. ගනුදෙනුකරුවාට ඉතිරි මුදල් දුන් ඇය පිළිතුරු දුන්නාය: ‘ ඇත්තටම ජිනෝ.... මම මගේ හොඳම යාලුවට ....ෆිලොමෙනාට ඒ වගේ කතාවක් හදයි කියලා ඔයා හිතනවද ?’

‘එහෙනං අදල්ගිසා ඒක හිතේ මවාගත්ත එකක් වෙන්න ඇති.’

‘නෑ,’ ඇය මා නිවැරදි කළාය. ‘නෑ.... එයා ඒක හිතේ මවාගත්ත එකක් නෙවෙයි.... මම ඒ කතාව හැදුවේ නෑ; මං මට ඇහුණු දෙයක් ආපහු කිව්වා විතරයි.’

‘අපූරු යාලුවෙක්නේ !’මට හඬ පාලනය කරගැනීමට නොහැකි විය.

‘මං කිව්වා ඔය කතාව මම විශ්වාස කරන්නේ නෑ කියලා....අදල්ගිසා ඒ ටික ඔයාට කිව්වේ නෑ නේ ?’

‘හොඳයි, එහෙනම් ඒක කවුද ඔයාට කිව්වේ ?’

‘වින්චෙන්සිනා....ඔය කතාව මට කියන්නම එයා ලොන්ඩරියෙ ඉඳන් මෙහෙ ආවා.’

යනවා යැයි වත් නොකියා එතැනින් පිටවූ මම කෙලින්ම ගියේ ලොන්ඩරියටය. සිය දෑතින්ම ඉස්තිරික්කය තද කරමින් වින්චෙන්සිනා රෙදි මදින සැටි මට පාරේ සිටම පෙනිණි.  බළලෙකුගේ බඳු තදබද වූ මුහුණක් ඇති වින්චෙන්සිනා, තලෙළු සමක් ඇති ජීවයෙන් පිරුණු කුඩා යුවතියකි. ඈ මා කෙරේ පිළිබඳ සිතකින් පසුවන බව මා දැන සිටි අතර, මා වෙත එන ලෙසට මා ඇයට ඇඟිල්ලකින් සන් කළ වහා ඉස්තිරික්කය අතහැර ඇය එළියට දිව ආවාය. ‘ඔයා දකින්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද !’ ඇය අපේක්ෂා සහගතව කීවාය.

‘මං ගෙදර නැති අතරෙ ෆිලොමෙනා මිනිස්සු එක්ක නටනවා කියලා තමුසෙ හැම තැනම කිය කියා ඇවිදිනවා කියන්නෙ ඇත්තද?’

ඒප්‍රනයේ සාක්කුවල දෑත ඔබාගෙන දෙපසට පැද්දුණු ඇය උත්තර දුන්නේ යම් තරමක අපේක්ෂාභංගත්වයෙනි: ‘ඉතින් එයා එහෙම කරනවා නම් ඔයා ඒක ගණන් ගන්නවද ?’

‘උත්තර දෙනවා,’ මම කියා සිටියෙමි. ‘මේ දුෂ්ට කතාව හැදුවෙ තමුසෙද?’

‘බලන්න ඔයාගෙ ඉරිසියාව!’ඇය සිය උරහිස් හකුළුවමින් කීවාය. ‘දෙයියන්ටම පෙනිච්චාවෙ. මේ යන විදියට ගෑනියෙකුට තමුන්ගෙ යාලුවෙක් එකක් කතා කරන්නවත් බෑනෙ....?’

‘එහෙනම් තමුසෙයි ඒ....’

‘ඇත්තටම මට ඔයා ගැන කනගාටුයි,’ මේ කපටි කෙල්ල එක්වරම කීවාය. ‘ඇයි ඔයා හිතන්නේ මං ඔයාගේ නෝනා ගැන කරදර වෙනවා කියලා ? මං කතා හැදුවේ නෑ....ඇග්නේසෙ තමයි මට කිව්වෙ; එයා නම් ඒ මනුස්සයගෙ නමත් දන්නවා.’

‘මොකක්ද උගේ නම ?’

‘ඇග්නේසෙගෙන්ම අහගත්තා නම් තමයි හොඳ.’

මේ අවස්ථාව වන විට, ෆිලෝමෙනා මා රවටන බවට මා තුළ සැකයක් නොවීය. වෙනකක් තබා ගෙදරට එන මිනිහාගේ නමත් මිනිස්සු දනිති. නිරායාසයෙන්ම මගේ සිතට නැගුණු සිතිවිල්ල වූයේ ‘හොඳ වෙලාවට මගේ මල්ලේ මොකුත් බර ආයුධයක් නැත්තේ. නැත්නම් මගෙ ඔලුව අවුල්වෙලා ගිහින් ඔය ගෑනිව මරනවා,’යන්නයි. මගේ බිරිය ෆිලොමෙනා වෙන මිනිහෙකුත් සමග ඉන්නවා යන්න මට විශ්වාස කරන්නටත් අමාරු විය. අග්නේසෙ දුම්වැටි විකුණන, ඇගේ පියාගේ කඩයට මම ගියෙමි. කවුන්ටරය උඩට මුදල් දමා නසියොනාලි දුම්වැටි දෙකක් ඉල්ලුවෙමි.

වේලුණු ඉත්තෑකූරු කැලයක් බඳු කෙලින් හිටගත් කොණ්ඩයකින් යුත් අග්නේසෙ වයස දහහතක කෙල්ලකි. ලෙයින් තොර, සුදුමැලි, පිම්බුණු ඇගේ මුහුණ රෝස පුයරවලින් වැසී තිබිණි. ඇගේ දෑස කලුම කලුය. කොරොනරි පාරේ විසූ හැම කෙනෙකුම මෙන් මමද ඇය දැන සිටියෙමි. එමෙන්ම ඇය මුදල් වෙනුවෙන් සිය ආත්මය වුවද විකිණීමට සූදානම් කෙල්ලක බව සෑමදෙනා මෙන් මමද දත්තෙමි. මා අතට දුම්වැටි දෙක දෙන විට ඇය වෙත නැඹුරු වූ මම, ‘මොකක්ද මිනිහගෙ නම ?’යැයි ඇසීමි.

‘කාගෙ නමද?’ ඇය විස්මයට පත්ව විමසුවාය.

‘මගේ ගෑනිගෙ හොර මිනිහගෙ.’

ඇය ත්‍රස්ත වූවාක් මෙන් මා දෙස බැලුවාය. මගේ මුහුණේ තිබූ පෙනුම දරුණු එකක් වූවා විය යුතුය. ‘මං දන්නෙ නෑ. මං කිසිදෙයක් දන්නෙ නෑ.’ඇය වහා කීවාය.

මම සිනාසෙන්නට වෑයම් කළෙමි. ‘ඔන්න ඔහෙ කියන්න. මේ වෙනකොට ඒක හැමෝම දන්නවා. නොදන්න එකම කෙනා තමයි මම.’

සිය හිස දෙපසට වනමින් ඇය මා දෙස බලා සිටියාය. ‘කිව්වොත් මේක දෙනවා,’ එදා උදෑසන කළ අලුත්වැඩියාව වෙනුවෙන් මට ලැබුණු ලීරා දහසේ නෝට්ටුව සාක්කුවෙන් ගනිමින් මම කීමි.

මුදල් නෝට්ටුව දැකීමෙන් ඇය දැඩි ලෙස කලබලයට පත්වූයේ මා ඇය සමග ආදරය ගැන කතා කළාක් මෙනි. ඇගේ දෙතොල සැලිණි. ඉන්පසු වටපිට බැලූ ඇය මුදල් නෝට්ටුව මත අත තබා සෙමෙන් හඬ අවදි කළාය: ‘මාරියෝ.’

‘ඔයා කොහොමද දැන ගත්තේ මේ ගැන?’

‘ඔයගොල්ලන්ගෙ ගොඩනැගිල්ල මුර කරන ගෑනු කෙනාගෙන්.’

ඉතින් මෙය ඇත්තෙන්ම ඇත්තකි. මේ ‘ගිනි ගිනි- වතුර වතුර’ සෙල්ලම වගේ එකකි. දැන් අපි අපේ නිවෙස ඇති ගොඩනැගිල්ල ඇතුළටම පැමිණ සිටිමු. ඉතා ඉක්මනින් අප මගේ තට්ටු නිවෙස තුළටම ඇතුළු වනු ඇත. සිගරැට් කඩයෙන් පිටවූ මම වහ වහා නිවෙස බලා පිය නගන්නට වීමි. නිවෙසට තිබුණේ තව ටික දුරක් පමණි. මේ මුළු කාලය තුළම මා කළේ ‘මාරියෝ’ යන නම මතුරන එකය. මා එසේ කරත්ම මාරියෝ යන නම ඇති මා දන්නා සියලු දෙනා මගේ දෑස ඉදිරිපිට ප්‍රාදූර්භූත වූහ: එළවලු කඩේ මාරියෝ, හමුදාවේ සිට පැමිණ රස්සාවක් නැතිව සිටින මාරියෝ, ඌරුමස් කඩේ මුදලාලිගේ පුතා මාරියෝ, මාරියෝ, මාරියෝ, මාරියෝ.... රෝම නගරයේ මාරියෝලා ලක්ෂ ගණනක් සිටින අතර එයින් සිය දෙනෙක්වත් මේ කොරොනරි පාරේම සිටිනවා ඇත. නිවෙස පිහිටා ඇති ගොඩනැගිල්ලේ දොරෙන් ඇතුළු වූ මම කෙලින්ම මුරකාරිය සිටින කුටිය වෙත ගියෙමි. ෆේදේ බඳුම මහලු, ඝන උඩුරැවුලකින් යුත් මුරකාරිය සිය දෙපා දෙපසට කරගෙන හිඳගෙන සිටියාය. දෙපා උණුසුම් කරන කුඩා උඳුනක් ඇයගේ දෙපා අසල වූ අතර ආහාරයට සූදානම් කරන චිකෝරි මුල් රැසක් ඇයගේ ඔඩොක්කුවේ විය. ඔලුව ඇතුළට දැමූ මම ඇයට කතා කළෙමි: ‘මේ ඇහුණද. ඔහේද මේ මම ගෙදර නැති වෙලාවට ෆිලොමෙනා මාරියෝ කියලා එකෙක්ව ගෙදරට ගෙන්න ගන්නවා කියලා කතාවක් හදලා තියෙන්නේ?’

ඇය කෝපයට පත්වූවාය. ‘කවුරුවත් කතා හදලා නෑ.... ඔහේගෙ පවුලම තමයි මට කිව්වේ.’ ඕ එසැණින්ම පිළිතුරු දුන්නාය.

‘ෆිලොමෙනා?’

‘ඔව් එයා තමයි කිව්වේ මෙන්ම මේ වගේ ඉලන්දාරියෙක් මා බලන්න එනවා. එයාගෙ නම මාරියෝ. ජිනෝ ගෙදර ඉන්නවා නම් එයාට උඩට එන්න දෙන්න එපා. ජිනෝ ගෙදර නැත්නම් එයාව උඩට එවන්න කියලා.... මිනිහා මේ දැනුත් උඩ ඉන්නවා.’

‘මේ දැනුත් උඩ ඉන්නවා?’

‘ඔව්, ඔව්.... දැන් පැයකට විතර ඉස්සරවෙලා උඩට ගියේ.’

ඉදින් මාරියෝ කියා එකෙකු සිටිනවා පමණක් නොව, ඌ දැන් ෆිලොමෙනා සමග පැයක වේලේ සිට මගේ ගෙදරම සිටියි.  දනිපනි ගා තරප්පු පෙළ නැග තුන්වැනි මහලට ගිය මම දොරට ගැසුවෙමි. ෆිලොමෙනා පැමිණ දොර හැරියාය. සාමාන්‍යයෙන් තැන්පත් ගතියෙන් යුත් ඇය කෙරේ දැන් තැතිගත් පෙනුමක් තිබෙන බව මම දුටුවෙමි. ‘හොඳයි, එහෙනම් මං නැති වෙලාවට තමුසෙ බලන්න මාරියෝ එනවා ?’ මම කීවෙමි.

‘ඒත් ඇයි මේ....?’ ඇය තැතනුවාය.

‘මං ඔක්කොම දන්නවා,’ යැයි කෑ ගැසූ මම ඇතුළට යන්නට තැත් කළෙමි. එහෙත් ඈ මග ඇවුරුවාය. ‘ගණන් ගන්න එපා....ඔයාට මොකටද ඒක? තව ටිකක් වෙලා ඉඳලා ගෙදර එන්න.’

මේ මොහොතේදී තවදුරටත් මට මා පාලනය කරගත නොහැකි විය. ඇයගේ කම්මුලට පහරක් ගැසූ මම කෑ ගැසුවෙමි: ‘ ආ, එහෙමද? මට ඒකෙන් වැඩක් නැද්ද ?ඇය පසෙකට තල්ලු කර දැමූ මම කුස්සියට දිව ගියෙමි.

ගෑනුන්ගේ ඕපාදූපත්, ගෑනුත් යකාට ගියාවේ ! ඇත්තටම මේසය ළඟ වාඩි වී මාරියෝ කෝපි බොමින් සිටියේය. ඒත් ඒ වඩුමඩුවේ මාරියෝවත්, එළවලු කඩේ මාරියෝවත්, ඌරුමස් කඩේ මුදලාලිගේ පුතා මාරියෝවත්, මා ගෙදර එන ගමන් හිතූ එකම මාරියෝ කෙනෙකුවත් නොවීය. ඒ හොරකමකට අසුවී අවුරුදු දෙකකට හිරේ ගොස් සිටි, ෆිලෝමෙනාගේ සොහොයුරු මාරියෝ විය. ඔහු හිරෙන් නිදහස් වී එන බව දන්නා මා ඇයට මීට කලින් මෙසේ කියා තිබිණි: ‘ඇහුණ නේද ? මිනිහ මේ ගෙදරට වැද්ද ගන්නව එහෙම නෙවෙයි ඔන්න....මිනිහගෙ නම කියනව වත් අහන්න මට ඕනෑ නෑ.’

එහෙත් ඔහු සොරෙකු බව නොසලකමින් සිය සොහොයුරාට ආදරය කළ අසරණ තරුණිය මා ගෙදර නැති වේලාවට ඔහු බලන්නට තීරණය කොට තිබිණි. කෝපයෙන් ඇවිලෙන මා දුටු මාරියෝ නැගී සිටියේය. මම හුස්ම අල්ලාගෙනම , ‘හා , කොහොමද මාරියෝ ?’ යැයි ඇසුවෙමි.

‘මං යනවා,’ ඔහු දුර්වල ලෙස කීවේය. ‘වද වෙන්න එපා.... මම යනවා.... මොකක්ද      ප්‍රශ්නෙ ? කවුරුහරි හිතාවි මට මහාමාරිය හැදිලා කියලා.’

ෆිලොමෙනා කොරිඩෝරයේ ඉකිබිඳින හඬ ඇසිණි. මා කළ දේ ගැන මට ලජ්ජා සිතිණ. ‘නෑ, නෑ, ඉන්න,’ මම ව්‍යාකූල ලෙසින් කිව්වෙමි. ‘අද ඉන්න....රෑට කාලා යන්න ඉන්න....ඔක්කොම හරි, නේද ෆිලොමෙනා?’ ඇස් පිස දමමින් දොර වෙතට එන ෆිලොමෙනා දෙසට හැරුණු මම ‘මාරියෝ රෑ කෑමට හිටියට කමක් නෑ නේද ?’ යි ඇයගෙන් ඇසීමි.

වැරැද්ද නිවැරදි කරන්නට අවශ්‍ය සියලු දේ මට හැකි පමණින් මම කළෙමි. නිදන කාමරයට ගිය මම ෆිලොමෙනාට කතා කොට හාද්දක් දුන්නෙමි. අපි සමාදාන වීමු. කෙසේවූවද, ඕපාදූපවල ප්‍රශ්නය තවමත් තිබිණි. ටික වේලාවක් එකල මෙකල වෙමින් සිටි මම මාරියෝට කතා කළෙමි: ‘එනවා යන්න, මාරියෝ....යමු වැඩපොළට. තමුසෙට ලොක්කාගෙන් මොනවා හරි වැඩක් ඉල්ලා ගනිමු.’ ඔහු මා පසුපසින් එළියට ආවේය. අප දෙදෙනා තරප්පු පෙළ බසින අතර මම මෙසේ කීවෙමි: ‘තමුසෙව මෙහෙ කවුරුවත් දන්නේ නෑ....ඇහුවොත් කියනවා පහුගිය අවුරුදු කීපයේ තමුසෙ මිලානෝවල රස්සාවක් කළා කියලා-තේරුණාද?’

‘හරි.’

අපි පහත මාලයට ගියෙමු. මුරකාරියගේ කුටිය අසලට පැමිණි විට මාරියෝගේ අතින් අල්ලා ගත් මම ඔහු හඳුන්වා දුනිමි. ‘මේ මාරියෝ.... මගේ මස්සිනා....එයා ආවේ මිලානෝවල ඉඳලා....අද ඉඳලා මෙහෙ ඉන්නවා අපිත් එක්ක.’

‘බොහොම සන්තෝසයි අඳුනා ගන්න ලැබීම ගැන....’

‘සන්තෝසය සම්පූර්ණයෙන්ම මගෙයි,’ වීදියට බසින අතර මම සිතුවෙමි. මේ ගෑනුන්ගේ කචකචය නිසා මට ලීරා දහසක් අහිමි විය; දැන් ඒ මදිවාට හොරෙකුත් මගේ ගෙට වැදී සිටියි.



   -         අල්බෙර්තෝ මොරාවියා (1907-1990)

ඉතාලි ලේඛකයන් අතර ප්‍රමුඛතමයෙකු ලෙස සැලකෙන අල්බෙර්තෝ මොරාවියා නවකතා සහ කෙටි කතා රැසක්ම ලියා ඇත. ඔහුගේ කෘති බොහෝමයක් සිනමාවටද නැගී තිබේ. කුඩා කාලයේදී ක්ෂය රෝගය වැලඳීම හේතුවෙන් ඔහුට නියමාකාර පාසල් අධ්‍යාපනයක් ලැබීමට නොහැකි විය. එහෙත් මේ රෝගී තත්ත්වයත්, පසු කලෙකදී ඉතාලිය වසාගත් ෆැසිස්ට්වාදයත් තමා ලේඛකයෙකු කළ බව මොරාවියා වරක් පැවසීය. 1925 දී පමණ සිය පළමු නවකතාව ලියන කාලය වන විට ඔහු ලා ස්තම්පා සහ ගසෙත්තා දෙල් පොපෝලෝ යන පුවත්පත් දෙකෙහි වාර්තාකරුවෙකු ලෙස ලන්ඩන් සහ පැරිස් නගරවල වැඩ කළේය. ඉතාලියේ ෆැසිස්ට්වාදී පාලනයක් ක්‍රියාත්මක වූ 1930 ගණන්වලදී ඔහුගේ පොත් තහනම් කෙරිණි. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මනිය ඉතාලිය අත්පත් කරගත් විට, 1944 දී එය මුදා ගැනෙන තුරුම කඳුකරයේ සැඟවී සිටින්නට මොරාවියාට සිදුවිය. ඔහුගේ කෘතිවලට බොහෝවිට පාදක වූයේ ඔහු ඉපිද මිය ගිය රෝම නගරයේ වාසය කළ වැඩකරන පන්තියේ ජනතාවගේ ජීවිතයයි. එමෙන්ම ධනපති පන්තියේ දුෂ්ටබවද ඔහුගේ කෘතිවල නිරූපණය කෙරිණි. ‘මාරියෝ’ නම් වූ මේ කෙටිකතාව මොරාවියාගේ රක්කොන්ති රොමානි (රෝම කතා) නම් කෙටිකතා සංග්‍රහයේ එන්නකි. මෙය ඇන්ගස් ඩේවිඩ්සන්ගේ ඉංගිරිසි පරිවර්තනයෙන් සිංහලට නැගිණි.

Photo courtesy : AdamAKAspoon









       

2015/05/13

රාජකාරිය



හුදෙකලා පිහි ඇනුම් සිද්ධි කිහිපයකින් පමණක් පටන් ගත් ගැටුම්කාරී තත්ත්වය මේ වන විට මහා පරිමාණයේ වාර්ගික කෝලාහලයක් බවට පත්වී තිබුණේ පාලනය කළ නොහැකි පරිද්දෙනි. නිවෙස්වල සාදන ලද බෝම්බ පවා දැන් භාවිතයට ගැනිණි.

අම්රිත්සාර් නුවර පැවති සාමාන්‍ය අදහස වූයේ කැරළි කෝලාහල වැඩි කලක් නොපවතිනු ඇති බවය. ඒවා වැඩි කාලයක් යා නොදී සමථයකට පත්විය හැකි තාවකාලිකව ඇවිලුණු දේශපාලන ආවේගයන්ගේ විද්‍යමානවීමකට වඩා වැඩි දෙයක් ලෙස සැලකුණේ නැත. අනෙක නගරයේ වාර්ගික කෝලාහල ඇතිවූ පළමුවැනි අවස්ථාව මෙය නොවීය. අතීතයේදී එවැනි කෝලාහල බොහෝමයක් ඇති වී තිබිණි. එහෙත් ඒවා වැඩි කලක් නොපැවතිණි. කෝලාහල ඇති වූ රටාව පැහැදිලි විය. සති දෙකක් හෝ ඊට මඳක් වැඩි කාලයක් ගැටුම් පවතින අතර ඉන්පසු තත්ත්වය සාමාන්‍ය අතට හැරෙයි. මේ අත්දැකීම අනුව, වර්තමාන කෝලාහලද දින කිහිපයකින් අවසන් වනු ඇතැයි මිනිසුන් විශ්වාස කිරීම සාධාරණ විය. එහෙත් කටයුතු එසේ සිදු වූයේ නැත. දිගින් දිගටම කෝලාහල පැවතියා පමණක් නොව ඒවායේ දරුණු බවද එන්න එන්නටම වැඩි විය. 

හින්දූන් බහුලව සිටි ප්‍රදේශවල විසූ මුස්ලිම්වරුන් වඩාත් ආරක්ෂාකාරී ස්ථාන බලා පිටත්ව ගිය අතර මුස්ලිම් බහුතරයක් සිටි ප්‍රදේශවලින් හින්දුවරු පිටවී ගියහ. කෙසේවුවද, පදිංචියේ මේ වෙනස අතිශයින්ම තාවකාලික එකක් බව කවුරුත් විශ්වාස කළහ. මේ වාර්ගික උමතුවෙන් ඉතා ඉක්මනින්ම නගරය නිදහස් වනු ඇතැයි ඔවුහු තමන්ටම කියාගත්තෝය.

ඉතාමත් ඉක්මනින් සියල්ල සාමාන්‍ය අතට හැරෙතැයි විශ්‍රාමලත් විනිශ්චයකාර මියන් අබ්දුල් හයි තදින්ම විශ්වාස කළේය. ඔහු කලබල නුවූයේ එබැවිනි. ඔහුට වයස අවුරුදු දහහතක දියණියක්ද අවුරුදු එකොළහක පුතෙක්ද වූහ. ඊට අමතරව නිවෙසේ වූයේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ මහලු සේවකයෙකි. එය කුඩා පවුලක් විය. කෝලාහල ආරම්භ වූ විට, වුවමනාවටත් වඩා ආරක්ෂාව ගැන සැලකිලිමත් වන කෙනෙකු වූ විනිසුරු මියන් හදිසියේවත් අවශ්‍ය වෙතැයි සිතා සිය නිවෙසේ ආහාර ගබඩා කළේය. එමනිසා, අවම වශයෙන් එක් කාරණයක් සම්බන්ධයෙන් කලබලවීමේ අවශ්‍යතාවක් නොවීය.

ඔහුගේ දියණිය වූ සුඝ්‍රා සිදුවන දේවල් ගැන එතරම් විශ්වාසයක් තැබුවේ නැත. මුළු නගරයම පාහේ පෙනෙන තැනක ඉදිකළ තෙමහල් නිවෙසක ඔවුහු ජීවත් වූහ. මතුමහලට නැගුණු සෑම විටෙකම, නගරයේ සෑම තැනකම ගිනි ගන්නා සැටි ඇයට පෙනිණි. මුලදී නම් සිය සීනු නාද කරමින් ගිනි නිවන රථ නිවෙස පසු කර ගියද මේ වන විට ගිනි නිවන රථ ගමන් කිරීම නැවතී තිබිණි. ස්ථාන රැසකම එකවර ගිනිගැනීම් රැසක් හටගෙන තිබුණු හෙයිනි.

රාත්‍රීන් විශේෂයෙන්ම බියකුරු විය. ගිනිදළු පිඹින යෝධයන් බඳු මහා ගිනිවලින් රාත්‍රී ආකාශය සෑමවිටම ආලෝකවත් වී තිබිණි. එමෙන්ම බියජනක තීව්‍රබවකින් යුත් උද්යෝග පාඨවලින් වාතලය ගිගුම් දුන්නේය- අල්ලාහු අක්බර්. හර් හර් මහදේව්.

කලබලවීමට හේතුවක් නැතැයි සිය පියා ඉතාමත් විශ්වාසයෙන් යුතුව කියා තිබූ හෙයින් සුඝ්‍රා ඈ තුළ වූ භීතිය ඔහු වෙත හෙළි නොකළාය. සෑම දෙයක්ම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත. සාමාන්‍යයෙන්, ඔහු සෑම විටම පාහේ නිවැරදි නිසා මුලදී ඇයට සිය සුරක්ෂිතබව පිළිබඳව ගැටලුවක් නොවීය.

කෙසේවුවද, විදුලි බලයත් ජල සැපයුමත් හදිසියේම ඇණහිටි විට, සිය සිතෙහි වූ කණස්සල්ල සිය පියා වෙත කියා පෑ ඇය, ප්‍රදේශයේ සිටි සෙසු මුස්ලිම්වරුන් දැනටමත් ගොස් සිටි මුස්ලිම් පළාතක් වන ෂරීෆ්පුර වෙත යමුයැයි සමාව අයැදින ස්වරයෙන් යෝජනා කර සිටියාය. එහෙත් මියන් මහතා සිය ස්ථාවරය වෙනස් කළේ නැත: ‘ඔයා හිතේ දේවල් මවාගෙන. හැම දෙයක්ම ඉක්මනින් සාමාන්‍ය අතට හැරෙයි’. 

ඔහුට වැරදී තිබිණි. සෑම දෙයක්ම යහපත් අතට හැරෙනවා වෙනුවට නරක අතක සිට වඩාත් දරුණු අතකට හැරී තිබුණේය. වැඩි කලක් යන්නට මත්තෙන් මියන් අබ්දුල් හයි විසූ පෙදෙසේ එකම මුස්ලිම් පවුලක්වත් සොයාගන්නට නොහැකි විය. මේ අතර එක් දිනෙක මියන් මහතාට ආඝාතයක් වැළඳී හෙතෙම ඇඳට වැටුණේය. මෙතෙක් කලක් මුළු දවස පුරාම තමාම නිර්මාණය කරගත් සෙල්ලම්වල යෙදුණු ඔහුගේ පුත් බෂාරත් දැන් සිය පියාගේ ඇඳ අසලටම වී සිටියේය. 

පළාතේ පිහිටි සියලු කඩසාප්පුවල දොර ජනේලවලට ලෑලි ගසා අවුරා තිබිණි.  දොස්තර ගුලාම් හුසේන්ගේ ඩිස්පෙන්සරිය සති ගණනක සිට වසා දමා තිබූ අතර, ඊට යාබදව තිබූ දොස්තර ගොරාන්දිත්ත මාල්ගේ සායනයද වසා දමා ඇති සැටි නිවෙසේ මතුමහලට නැගුණු සුඝ්‍රා දුටුවාය. මියන් මහතාගේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරුණේය. සුඝ්‍රාට කර කියා ගැනීමට දෙයක් ඉතිරි වී තිබුණේ නැත. දිනෙක බෂාරත් පසෙකට කැඳවූ ඇය, ‘ අනේ මල්ලි මොනවා හරි කරන්න වෙනවා. මං දන්නවා එළියට බහින එක පරෙස්සම් නෑ කියලා. ඒත් අපි කාගෙන් හරි උදව් ඉල්ලන්න ඕනෑ. තාත්තට හොඳටම අමාරුයි’ යැයි කීවාය. 

එළියට බැස ගිය පිරිමි ළමයා එසැණින්ම ආපසු පැමිණියේය. භීතියෙන් ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණි. ලේ වැකුණු මිනිස් සිරුරක් පාරේ වැටී ඇති සැටිද රෞද්‍ර පෙනුමෙන් යුතු මිනිසුන් කණ්ඩායමක් කඩසාප්පු කොල්ල කන සැටිද ඔහු දැක තිබිණි.  බියපත් සොහොයුරා තුරුළු කරගත් සුඝ්‍රා ඔහුට හානියකින් තොරව නැවත එන්නට ඉඩහැරීම ගැන දෙවියන්ට ස්තූති කරමින් නිහඬව යාඥාවක් තොල මැතිරුවාය. කෙසේවුවද, ඇයට සිය පියා දුක්විඳින සැටි දරාගත නොහැකි විය.  මේ වනවිට ඔහුගේ සිරුරේ වම් පැත්තම ප්‍රාණයෙන් තොර වී තිබිණි. ඔහුට පැහැදිලිව කතා කළ නොහැකි වූ අතර බොහෝකොටම ඔහු සන්නිවේදනය කළේ අංග චලනයන් මගින් පමණි. ඒ හැම අභිනයකින්ම කියැවුණේ සුඝ්‍රාට කලබල නොවී සිටින ලෙසත් සෑම දෙයක්ම ඉතා ඉක්මනින් හොඳ අතට හැරෙන බවත්ය.

ඒ රාමදාන් මාසය වූ අතර ඊද් උළෙලට තවත් තිබුණේ දින දෙකක් පමණි. ඊද් දිනය උදාවන විට කෝලාහල අවසන් වී තිබෙනු ඇති බව මියන් මහතා තදින්ම විශ්වාස කළේය. යළිත් වරක් ඔහුට වැරදී තිබිණි. සෑම තැනෙකම දැල්වෙන ගිනිවලින් නැගුණු දුමෙන් නිර්මිත වියනක් නගරයට උඩින් එල්ලෙමින් තිබුණේය. කන් බිහිරි කරවන පිපිරීම් හඬවලින් රාත්‍රියේ නිහඬබව සුණුවිසුණු වී ගියේය. සුඝ්‍රාටත් බෂාරත්ටත් දවස් ගණනකින් නින්දක් නොවීය. 

දිනෙන් දින නරක අතට හැරෙන සිය පියාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සුඝ්‍රාට නම් කෙසේවත් නිදාගත නොහැකි විය. ඇය අසරණව සිය පියා දෙසත්,  බියපත් සොයුරා දෙසත්, කිසිම පලක් ප්‍රයෝජනයක් නුවූ මහලු සේවක අක්බාර් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. කහිමින්, අමාරුවෙන් හුස්ම ගන්නට වෑයම් කරමින් අක්බාර් මුළු දවසම සිය ඇඳට වී ගත කළේය. ‘උඹෙන් ඇති වැඩේ මොකක්ද? උඹ දන්නවද මියන් මහත්තයට කොච්චර අමාරුද කියලා? සමහරවිට උඹට කම්මැලි ඇති වැඩක් පොළක් කරන්න. ඒකනේ උඹට අසාධ්‍ය ඇදුම කියලා පෙන්නන්නේ. සේවකයෝ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරන කාලයක් තිබ්බා.’ 

මේ වචන කීමෙන් පසු සුඝ්‍රාට දැඩි පසුතැවිල්ලක් ඇති විය. ඇය මහලු මිනිසාට නිකරුණේ කෘෘර වී තිබිණි. සැන්දෑවේ ඔහුගේ කුඩා කුටියට ඇය ආහාර රැගෙන ගිය විට මහලු මිනිසා එහි නොසිටියේය.  බෂාරත් මුළු නිවෙස පුරාම ඔහු සෙව්වද අක්බාර් සොයාගත නොහැකි විය. නිවෙසේ ඉදිරිපස දොරෙහි අගුල විවර කොට තිබිණි. අක්බාර් පිටව ගොස් සිටියේය. සමහරවිට මියන් මහතාට කවරෙකුගේ හෝ උදව්වක් රැගෙන ඒම පිණිස විය යුතුය. ඔහුගේ පෙරළා පැමිණීම වෙනුවෙන් සුඝ්‍රා යාඥා කළාය. දින දෙකක් ඉක්ම ගියද ඔහු යළි පැමිණියේ නැත. 

ඒ සන්ධ්‍යා කාලය වූ අතර, ඊද් උළෙල උදාවීමට තව තිබුණේ එක් දිනකි. මේ කාලයට පවුලේ අය අතර ඇති වන සතුට ඇයට සිහිපත් විය. මතුමහලට නැග අහස දෙස බලමින් ඊද් හඳ දකින්නට වළාකුළු මෑත්වන ලෙසට ඇය යාඥා කරන සැටි සුඝ්‍රාගේ මතකයට නැගුණේය. ඒත් අද කෙතරම් වෙනස්ද? අහස දුමාරයෙන් වැසී තිබුණු අතර ඈත වහලවල් මතට නැගුණු මිනිසුන් උඩ බලාගෙන සිටින සැටි පෙනිණි. ඔවුන් නව සඳ බලන්නට වෑයම් කරනවාද, නැතිනම් ඇවිලෙන ගිනි දෙස බලනවාද යන  සිතිවිල්ල සුඝ්‍රා තුළ හටගැනිණි. 

අහසේ ඇති කුඩා සිදුරකින් සඳ පලුවක් එබී බලන සැටි අහසට හිස නැගූ සුඝ්‍රාට පෙනිණි. යාඥාව පිණිස දෑත එසවූ ඇය සිය පියාට සුවය ලබා දෙන ලෙස දෙවියන් යැද්දාය. මේ වසරේ ඊද් උත්සවය නැතිවීම ගැන බෂාරත් නම් සිටියේ කණස්සල්ලෙනි. 

තවමත් රාත්‍රිය උදා වී තිබුණේ නැත. සුඝ්‍රා සිය පියාගේ සයනය කාමරයේ සිට වැරැන්ඩාවට රැගෙන විත් තිබිණි. සිසිලස ඇති වීම පිණිස ඕ පොළොව මතට දිය ඉස්සාය. මියන් මහතා ඇඳෙහි වැතිර හිස් බැල්මෙන් තමන් සඳ දුටු අහස දෙස නිහඬව බලා සිටියේය. සුඝ්‍රා පැමිණ ඔහු අසළින් හිඳගත්තාය. තමාට තව ළං වන ලෙස ඔහු ඇයට සන් කළේය. සිය දකුණු අත සෙමෙන් එසවූ ඔහු එය දියණියගේ හිස මත තැබුවේය. සුඝ්‍රාගේ දෙනෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය. මියන් මහතා පවා හැඟීම්බර වූ සෙයක් පෙනිණි. අනතුරුව ඔහු ඉතා අසීරුවෙන් ඇයට කතා කළේය.‘ දෙවියන් වහන්සේ දයාවන්තයි. හැම දෙයක්ම හොඳ අතට හැරෙයි.’

හදිසියේම දොරට තට්ටු කරන හඬක් ඇසිණි. සුඝ්‍රාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇය බෂාරත් දෙස බැලුවාය. ඔහුගේ මුහුණ කඩදාසියක් සේ සුදුමැලි වී තිබිණි. තවත් වරක් දොරට තට්ටු කරන හඬ ඇසුණේය. ඒ කවුරුන්දැයි බලන ලෙසට මියන් මහතා සුඝ්‍රාට සන් කළේය. ඒ නැවත පැමිණි මහලු අක්බාර් විය යුතු යැයි ඕ සිතුවාය. ‘ගිහින් බලන්න. මං හිතන්නේ ඒ අක්බාර් වෙන්න ඕනෑ.’ ඇය බෂාරත්ට කීවාය. එසේ නොවේ යැයි කියන්නාක් මෙන් ඇයගේ පියා හිස වැනීය. 

‘එහෙනම් ඒ කවුරු වෙන්න පුළුවන්ද?’ සුඝ්‍රා ඔහුගෙන් ඇසුවාය.

මියන් අබ්දුල් හයි කතා කරන්නට වෑයම් කළේය. එහෙත් ඊට ප්‍රථම බෂාරත් දුවගෙන ආවේය. ඔහු හතිලන්නට විය. සුඝ්‍රා පසෙකට කැඳවූ ඔහු ඇයගේ කනට කෙඳිරුවේය, ‘ඒ සීක් කාරයෙක්’.

‘සීක් කාරයෙක් ! මිනිහට මොනවද ඕනෑ?’ සුඝ්‍රා යටිගිරියෙන් කෑ ගෑවාය. 

‘මට දොර අරින්නෙයි කියලා මිනිහා කියනවා.’

බෂාරත් තුරුළු කරගෙන සිය පියාගේ සයනය වෙත ගිය සුඝ්‍රා ඔහු දෙස ශෝකයෙන් යුතුව බලමින් ඒ මත හිඳගත්තාය. 

මියන් අබ්දුල් හයි ගේ සිහින්, ජීවයෙන් තොර දෙතොල මත සිහින් සිනාවක් ඇඳිණි. ‘යන්න. ගිහින් දොර අරින්න. ඒ ගුර්මුඛ් සිං.’ 

‘නෑ. ඒ වෙන කවුරුහරි,’ බෂාරත් කීවේය.

මියන් මහතා සුඝ්‍රා වෙත හැරුණේය. ‘දොර අරින්න. ඒ එයා තමයි.’

සුඝ්‍රා නැගිට්ටාය. ඇය ගුර්මුඛ් සිං හඳුනයි. ඇයගේ පියා ඔහුට උදව්වක් කොට තිබිණි. ඔහු බොරු නඩුවකට පටලවා තිබූ අතර විනිසුරු මියන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබිණි. ඒ බොහෝ කලකට පෙරය. එහෙත් සෑම වසරකම ඊද් උළෙල දා ඔහු ගෙදර හැදූ නූඩ්ල්ස් මල්ලකුත් රැගෙන ගමේ සිට මියන් මහතා බැහැ දකින්නට එයි. ‘සර්දාර්ජී ඔහේ ඇත්තටම බොහෝම කරුණාවන්තයි. ඒත් මෙහෙම හැම අවුරුද්දකම කරදර වෙන්න උවමනාවක් නෑ’ යි මියන් මහතා ඔහුට කිහිප අවස්ථාවකදීම කියා තිබිණි. එහෙත් ඒ හැම විටෙකම ගුර්මුඛ් සිං මෙසේ කියමින් පිළිතුරු දෙයි: ‘ මියන් මහත්තයා, දෙවියන් වහන්සේ තමුන්නාන්සෙට හැම දෙයක්ම දීලා තියෙනවා. ඔබතුමා වරක් මට දක්වපු කරුණාව සිහිපත් වෙන්න හැම අවුරුද්දකම මම මේ අරගෙන එන්නේ ඉතාම සුළු තෑග්ගක්. මගේ මතු පරම්පරා සීයකට වුණත් ඔබතුමා මට කරපු උදව්වට වටිනාකම ගෙවලා නිම කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔබ තුමාව සතුටින් තබත්වා.’

සුඝ්‍රාට සහනයක් දැනිණි. පළමුවෙන්ම එය ඇයට කල්පනා නුවූයේ ඇයි? එහෙත් ඒ වෙනකවුරු හරි යැයි බෂාරත් කීවේ ඇයි? බෂාරත් ගුර්මුඛ් සිං හඳුනයි. 

සුඝ්‍රා ඉදිරිපස දොර වෙත ගියාය. දොරට තව වරක් තට්ටු කෙරිණි. ඇයගේ හදවත නැවතිණි. ‘ඔය කවුද?’ ඇය දුර්වල හඬකින් ඇසුවාය.

දොරේ ඇති කුඩා සිදුරකින් බලන ලෙසට බෂාරත් ඇයට කොඳුරා කීවේය.

එහි සිටියේ මහලු ගුර්මුඛ් සිං නොවේ. මේ තරුණයෙකි. ඔහු නැවතත් දොරට තට්ටු කළේය. ඔහුගේ අතෙහි මල්ලක් විය. ඒ සෑම වසරකම ගුර්මුඛ් සිං රැගෙන එන ආකාරයේ එකකි.

‘ඔහේ කවුද?’ ඇය ඇසුවේ පෙරට වඩා මඳක් වැඩි විශ්වාසයෙන් යුතුවය.
‘මම සර්දාර් ගුර්මුඛ් සිංගේ පුතා සන්තොක්.’

සුඝ්‍රාගේ බිය සැණෙකින් අතුරුදන් විය. ‘අද මොකද මේ පැත්තෙ ආවේ?’ යැයි ඕ විනීත ලෙස ප්‍රශ්න කළාය. 

‘නඩුකාර උන්නාන්සෙ කෝ?’ ඔහු ප්‍රශ්න කළේය.

‘තාත්තට සනීප නෑ,’ සුඝ්‍රා පිළිතුරු දුන්නාය. 

‘ආ, ඒ ගැන කනගාටුයි,’ සන්තොක් සිං කීවේය. ඉන් අනතුරුව එක් අතක තිබූ මල්ල අනෙක් අතට මාරු කළ ඔහු කතා කළේය.‘මේ ගෙදර හදාපු නූඩ්ල්ස්.’ මඳක් නැවතුණු ඔහු ‘අපේ තාත්තා නැතිවුණා’ යි කීවේය. 

‘නැතිවුණා !’

‘ඔව්, මාසෙකට ඉස්සෙල්ලා. මැරෙන්න කලින් තාත්තා මට කතා කරලා කිවුවා, “පහුගිය අවුරුදු දහය තිස්සෙම මම හැම අවුරුද්දෙම ඊද් උත්සවය දවසට නඩුකාර උන්නාන්සෙට මගේ පුංචි තෑග්ග ගෙනිච්චා. මං මළාම ඒක උඹේ රාජකාරිය වෙනවා,” කියලා. මම තාත්තට පොරොන්දු වුණා එහෙම කරනවා කියලා. මරණ මංචකයෙදි තාත්තට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි මම මේ අද ආවේ.’

සුඝ්‍රා කෙතරම් හැඟීම්බර විණිද යත් ඇගේ දෑසට කඳුළු ඉනුවේය. ඇය දොර මඳක් විවෘත කළාය. තරුණයා දොරේ විවරයෙන් මල්ල ඇය වෙතට තල්ලු කළේය. ‘දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මය සමාදානයේ සතපවත්වා’ යැයි ඕ කීවාය.

‘නඩුකාර උන්නාන්සෙට සනීප නැත්ද?’ ඔහු ඇසුවේය. 

‘නෑ.’

‘මොකක්ද අමාරුව?’

‘අංශබාගෙ.’

‘අපේ තාත්තා ජීවතුන් අතර හිටියා නම් මේක අහලා හොඳටම කනගාටු වෙනවා. අවසන් මොහොත වෙනකම්ම තාත්තා නඩුකාර උන්නාන්සෙගෙ කරුණාව අමතක කළේ නැහැ. තාත්තා හැම තිස්සෙම කිවුවේ “උන්නාන්සෙ මිනිහෙක් නෙවෙයි දෙවියෙක් ” කියලයි. දෙවියෝ උන්නාන්සෙව ආරක්ෂා කරන්න ඕනෑ. මම උන්නාස්සෙව ගෞරවයෙන් මතක් කළ බව කියන්න.’

වෛද්‍යවරයෙකු කැඳවාගෙන එන ලෙස ඔහුට කියන්නේද නැත්ද යන්න ගැන සුඝ්‍රා සිතින් වාද කරමින් සිටින අතරතුර ඔහු යන්නට ගියේය. 

සන්තොක් සිං වංගුවෙන් හැරෙත්ම තලප්පාවලින් සිය මුහුණු ආවරණය කරගත් මිනිස්සු හතර දෙනෙක් ඔහු වෙත ළං වූහ. ඉන් දෙදෙනෙකු අත ඇවිලෙන ගිනි පන්දම් විය. අනෙක් දෙදෙනා අත භූමිතෙල් පිරවූ කෑන් සහ පුපුරන ද්‍රව්‍ය තිබිණි. ‘සර්දාර්ජී ඔහේ තමුන්ගෙ රාජකාරිය ඉෂ්ට කළාද?’ ඉන් එකෙක් සන්තොක්ගෙන් ඇසුවේය.

ඔව් යැයි කියන්නට මෙන් තරුණයා සිය හිස පහත් කළේය. 

‘එහෙනම් අපි අපේ රාජකාරිය ඉෂ්ට කරන්න යන්නද?’ මිනිසා ඇසීය.

‘උඹලා කැමති නම්,’ යැයි පිළිතුරු දුන් ඔහු ඉවතට පියමං කළේය. 



-       







  


           -සාදත් හසන් මන්ටෝ ( 1912-1955)


1912 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පන්ජාබයෙහි උපන් සාදත් හසන් මන්ටෝ පාකිස්තානය බිහිවීමෙන් පසු එරටට සංක්‍රමණය විය. උර්දු බසින් ලේඛනයේ නියැලුණු මන්ටෝ නවකතාවක්ද, කෙටි කතා සංග්‍රහ විසි දෙකක්ද, ගුවන්විදුලි නාටක සංග්‍රහ පහක්ද පමණ රචනා කොට ඇත. පුවත්පත් කලාවේදියෙකු, සිනමා තිරනාටක රචකයෙකු හා ගුවන්විදුලි වැඩසටහන් රචකයෙකු වූ මන්ටෝ ලොව ප්‍රමුඛ පෙළේ කෙටිකතා රචකයෙකු ලෙස සැලකේ. 1947 දී ඉන්දියාව දෙකඩවීම සහ පාකිස්තානය බිහිවීම යන සුවිසල් භූදේශපාලනික ප්‍රපංචය කරණ කොට ගෙන මිනිසුන්ට විඳින්නට සිදු වූ ගැහැට, දුක පිරිපත මෙන්ම එකී ප්‍රපංචයේ සෙසු පැතිකඩවල් හෙතෙම සිය කෙටිකතාවලට වස්තු විෂය කර ගත්තේය. මෙම කෙටිකතාව සිංහලට නැගුණේ ඛාලිඩ් හසන්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.

 

සෙවුම්