2011/12/04

නිල් ඇස්






- ඔක්තාවියෝ පාස් (1914-1998)





මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැගුණා. ගිනිකණ වැටුණු, අලුපාට තටු තියෙන  සමනලයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇ‍‍ඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ පිටිසරබද පළාතේ වාතය ආශ්වාස කළා. විශාල, ගැහැනු රාත්‍රිය හුස්ම ගන්න හඬ ඇහෙනවා. කාමරය මැදට ආපහු ඇවිද ගෙන ගිය මම ජෝග්ගුවේ තියෙන වතුර බෙලෙක් බේසමට හිස් කරලා ඒකෙ මගේ තුවාය පෙ‍ඟෙව්වා. තෙත් කරපු තුවායෙන් පපුවයි කකුලුයි අතුල්ලලා ඇඟ පිහ දමා ගත්තු මම ඇඳුම් ඇඳ ගත්තේ ඒවාගේ වාටිවල මකුණො ඉන්නවද කියලා හොඳට බලලයි. මම කොළපාට පඩිපෙළ දිගේ පහළට බැස්සා. නවාතැන්පොළේ දොර ගාවදී මම ඒකෙ අයිතිකාරයාගේ ඇ‍ඟේ හැප්පෙන්න ගියා. නවාතැන්පොළේ අයිතිකාරයා වැඩි කතාබහක් නැති එකැස් කණෙක්. මිනිහා වේවැල් බංකුවක වාඩිවෙලා දුම් බොනවා. මිනිහගෙ ඇහැ බාගෙට පියවෙලා. බැරෑඬි හඬකින් මිනිහා කතා කළා:

කොහෙද යන්නෙ?

හරි ග්‍රීස්මයි. මං පොඩ්ඩක් ඇවිදින්න යනවා.

ම්.... දැන් කඩවල් වහලා. පාරේ එළියකුත් නෑ. ගේ ඇතුළට වෙලා හිටිය නම් තමයි හොඳ.

උරැහිස් අකුළලා මං ඉක්මනට එනවා කියලා මුමුණපු මම අඳුරට වැදුණා. ඉස්සෙල්ලම මට කිසි දෙයක් පෙනුණෙ නෑ. ගල් අල්ලපු පාර දිගේ යන මගේ පය පැටලුණා. මම සිගරැට්ටුවක් පත්තු කර ගත්තා. එක පාරටම කලු වලාකුළක් මැදින් හඳ මතුවුණේ තැනින් තැන බිඳී ගියපු සුදු පාට තාප්පයක් එළිය කරමින්. ඒ සුදුපාටෙන් ගිනිකණ වැටුණු මම නැවතුණා. හීන් හුළඟක් හැමුවා. මම සියඹලා සුවඳ පිරිච්ච වාතය ආශ්වාස කළා. කොළවල සරසරයෙනුයි කෘමීන්ගෙනුයි පිරිච්ච රාත්‍රිය මුණුමුණු ගෑවා. උස් තණගස්වල රැහැයියෝ ලැගලා හිටියා. මම හිස ඔසවලා බැලුවා. ඉහළ අහසේ තාරකාත් වාඩිලා ගෙන. මට හිතුණේ විශ්වය කියන්නේ සංඥා සංකේත පිරුණු සුවිසල් පද්ධතියක් ය, යෝධ සත්ත්වයන් අතර කෙරෙන සංවාදයක් ය කියලයි.  මගේ ක්‍රියාවන්, රැහැයියාගේ හඬ, තාරකාවල දිලිහීම, මේ හැම දෙයක්ම ඒ සංවාදයෙන් තැන තැන විසිරුණු වාක්‍ය කෑලි, විරාම සහ අක්ෂර හැර වෙන දෙයක් නෙවෙයි. මම අකුරක් පමණක් වෙච්ච ඒ වචනය මොකක්ද ? ඒ වචනය කතා කරන්නේ කවුරුද ? ඒ වචනය අමතන්නේ කාටද ? මම සිගරැට්ටුව පදික වේදිකාවට වීසි කළා. වීසි වෙච්ච සිගරැට්ටුවෙන් දිලිසෙන කවයක් නිර්මාණය වුණා. පුංචි ධූම කේතුවකින් වගේ එයින් කුඩා ගිනි පුළිඟු විසිරුණා.


මම හුඟ වේලාවක් තිස්සේ හෙමින් ඇවිද්දා. ඒ මොහොතෙදි මගේ තොල්වලට කොච්චර නිදහසක් ආරක්ෂිත බවක් දැනුණද කියනවානම් ඒවා විශාල ප්‍රීතියකින් මා සමගම කතා කරන්නට වුණා. රාත්‍රිය ඇස්වලින් පිරිච්ච උද්‍යානයක්. මම පාර පනින කොට කවු‍රුදෝ දොරකින් එළියට එන හඬ ඇසුණා. හැරිලා බැලුවත් මට කාවවත් පෙනුණේ නෑ. මම පය ඉක්මන් කළා. ටික වෙලාවකින් ගල් පොළොවේ වදින සෙරෙප්පුවල වියළි හඬ මට ඇහුණා. සෑම පියවරක් පාසාම මා පිටුපසින් එන හෙවණැල්ල මට කිට්ටු කරන බව දැනුණත් ආපහු හැරී බලන්න මට වුවමනා වුණේ නෑ. මම දුවන්න වෑයම් කළා. ඒත් දුවගන්න බෑ. එකපාරටම මම නැවතුණා. ආරක්ෂාවට යමක් කරන්න ඉස්සර පිහියක තුඩ මගේ පිටේ වදිනවා දැනුණා. මෘදු කටහඬක් මගේ පිටුපසින් නැගුණා:

ඒයි මහත්තයා හෙල්ලෙන්න එපා. හෙල්ලුණොත් මේක බස්සනවා.

තමුසෙට මොනවද ඕනෑ ?

හැරෙන්නෙවත් නැතිව මම ඇහුවා.

මහත්තයාගේ ඇස් දෙක, මෘදු, වේදනාවකින් පිරුණා වගේ වෙච්චි කටහඬ උත්තර දුන්නා.

මගේ ඇස් දෙක ? මගේ ඇස් දෙක මොකටද තමුසෙට ? මේ බලනවා මා ගාව සල්ලි ටිකක් තියෙනවා. ගොඩක් නෑ. ඒත් ඒ සෑහෙන ප්‍රමාණයක්. මට යන්න ඇරියොත් මා ගාව තියෙන හැමදේම තමුසෙට දෙන්නම්. මාව මරන්න එපා.

බයවෙන්න එපා මහත්තයා මං මහත්තයව මරන්නේ නෑ. මං ඇස්‍ දෙක ගලවා ගන්නවා විතරයි.

ඒත් ‍මගේ ඇස් දෙකෙන් තමුසෙට ඇති ප්‍රයෝජනය මොකක්ද ? මම ආපහු ඇහුවා.

මගේ ගෑනු ළමයට ආසාවක් තියෙනවා. නිල් ඇස්වලින් හදාපු මල් කළඹක් එයාට ඕනෑලු. මේ පැත්තෙන් නිල් ඇස් හොයා ගන්න හරි අමාරුයි.

මගේ ඇස් දෙකෙන් තමුසෙට වැඩක් නෑ. ඒවා දුඹුරු පාටයි.

මාව මෝඩයට අන්දන්න ලෑස්ති වෙන්න එපා මහත්තයා. මං හොඳටම දන්නවා මහත්තයගෙ ඇස් නිල් පාටයි කියලා.

මිනිහෙක්ගේ ඇස් උගුල්ලන්න හදන්න එපා. මං තමුසෙට වෙන දෙයක් දෙන්නම්.

මට වෙන දෙයකින් වැඩක් නෑ. පණ්ඩිතකම් නැතුව අනෙක් පැත්තට හැරෙනවා. මිනිහා බොහෝම රළු විදියට අණ කළා.

මම හැරුණා. මිනිහා බොහෝම කුඩා දුර්වල කෙනෙක්. තල්කොළ තොප්පියෙන් මිනිහගෙ මූණෙ බාගයක් වැහිලා. දකුණු අතේ තිබුණෙ පිටිසරබද පළාත්වල හදන ජාතියේ පිහියක්. ඒක හඳ එළියට දිලිසුණා.

කෝ මට මහත්තයගෙ මූණ පෙන්නන්න

මම ගිනිකූරක් ගහලා මූණට කිට්ටු කර ගත්තා. ගිනි කූරෙ එළියට මගේ ඇස් දෙක පියවුණා. මිනිහා මගේ ඇසි පිය අතින් උස්සලා බැලුවා. මිනිහට ඇස් දෙක පැහැදිලිව පෙනුණේ නෑ. කකුලෙ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඔහු වුවමනාවෙන් මා දිහා බලන් ඉන්නවා. ගිනිකූර පත්තුවෙලා ගිහින් මගේ ඇඟිලි පිච්චුණා. මම ගිනිකූර බිම දැම්මා. ටික වෙලාවක් යනකං කවුරුවත් කතා කළේ නෑ.

දැන් තමුසේ විස්වාසයි නේද ? මගේ ඇස්දෙක නිල්පාට නෑ.

මහත්තය හරි සූත්තර කාරයෙක් නේද ? මිනිහා ඇහුවා. බලමු. පත්තු කරනවා තව ගිනිකූරක් ඔහු අණ කළා.

මම තව ගිනිකූරක් පත්තු කරලා මගේ ඇස් දෙක ළඟට අල්ලා ගත්තා. මගේ කමිස අතින් අල්ලා ගත්තු මිනිහා මට ආයෙත් අණ දුන්නා.

දණ ගහනවා.

මම දණ ගැහුවා. ඔහු එක අතකින් මගේ කොණ්ඩයෙන් අල්ලලා ඔලුව පස්සට නැවුවා.  කුතුහලයෙන් සහ දැඩි ආතතියකින් මිනිහා මා උඩින් නැඹුරු වුණා. මගේ ඇහි පිය වල ගෑවෙනකම්ම ඔහු පිහිය පහත් කළා. මම ඇස් දෙක වහගත්තා.

ඇස් දෙක ඇරගෙන ඉන්නවා. ඔහු අණ කළා.

මම ඇස් දෙක ඇරියා. ගිනිකූරෙ දැල්ලෙන් මගේ ඇහි පිය පිච්චුණා. එක පාරටම මිනිහා මාව අත හැරියා.

හරි, ඒවා නිල් පාට නෑ. යනවා යන්න.

ඔහු අතුරුදන් වුණා. ඔලුවට අත් දෙක තියා ගෙන මම තාප්පයට හේත්තු වුණා. වුණේ මොකක්ද කියලා හිතා ගන්න මම වෑයම් කළා. පය පැකිලෙමින් වැටෙමින් ආපහු නැගිටින්න මම උත්සාහ කළා. පාලුවට ගිය නගරය මැදින් මම පැයක් විතර දුවගෙන ගියා. නගර චතුරස්‍රයට එනකොට මට පෙනුණා නවාතැන්පොළේ අයිතිකාරයා තවමත් දොර ගාව ඉඳගෙන ඉන්න හැටි. මම ඇතුළට ගියේ වචනයක්වත් කතා නොකරයි. පහුවදා මම ඒ නගරය හැර දමා පිටවී ගියා.
  
(එලියට් වෙයින්බර්ගර්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.) 

6 comments:

  1. I am facinated by your ability to bring in Sinhal slang in to a translation wihtout making it sound too "Gramya"

    Machan I always Admire your work.. but I suggest you to read this one loud. Maybe structure of certain sentences are too simple... Just my thought ..!!!

    ReplyDelete
  2. කතාවේ නම "නිල් දෙනුවන්" කියා යෙදුවා නම් වඩා හොඳයි!

    ReplyDelete
  3. @Kumi,

    Thank you Kuminda. Yes I admit it. When you read it aloud some sentences are too simple. This was how it was in the original. Very simple, short sentences. So, invariably,in Sinhala they turned out to be quite simple. I did this as an experiment and for a change, using the vernacular as I have been doing the other translations in standard Sinhala.

    ReplyDelete
  4. @ Raigama,

    ඔබේ යෝජනාවට බොහෝම ස්තූතියි. ඒත් කතාව පුරාම යොදාගත් කටවහර නිසා එයට "නිල් ඇස්" කියා නම යොදන්නට මා අදහස් කළා. මෙය සම්මත ලිඛිත භාෂාවෙන් පරිවර්තනය කළා නම් "නිල් දෙනුවන්" කියා යොදන්නට තිබුණා. ඇත්තටම මෙහි ඉංගිරිසි පරිවර්තනයේ වූයේ " The Blue Bouquet" යන්නයි. එය සෘජුවම සිංහලයට හැරවූයේ නම් එය සිංහල භාෂාවේදී අරුත් විරහිත වන්නට තිබුණා. එනම් "නිල් ඇස්/දෙනුවන් මල් කළඹ" යන්නයි. කොහොම වුණත් අදහසට ස්තූතියි.

    ReplyDelete
  5. අද තමයි මට මේ බ්ලොග් එක ඇසගැටුනේ... හරේ ගේ බ්ලොග්රෝල් එක හරහා...දැනටමත් කතා කිහිපයක්ම රසවින්දා... ස්තූතියි...

    ReplyDelete
  6. @ Beetle
    සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete

සෙවුම්