(මම පරණ පොත් කඩයකින් චීන
පොතක් මිලට ගතිමි. ජපන් බස කතා කළ මිනිසකු ලවා එය පැහැදිලි කරවා ගත් මට එයින් වටහා
ගත හැකි වූ එකම දේ පහත දැක්වෙයි.)
චියැං ලියැං නම් වෙමි
තරණය කළෙමි පාලම දිනක්.
සිටියේය මහල්ලෙක් ඒ මත.
දුටු සැණින් මා ඔහු
සිය පාවහනක් ගලවා
විසි කළේ ගඟට සිතාමතාම.
ඉන්පසුව ඔහු මා හට
කීවේය මෙලෙසට:
අහෝ සත්පුරුෂයාණෙනි,
මා පාවහන වැටිණි ගඟ දියට
රැගෙන දෙනු මැන එය කමා කොට.
දැවිණි මා කෝපයෙන්
එනමුදු මැඬගෙන මා රොස
පැන්නෙමි ගං දියට.
රැගෙන ආ විගස පාවහන උඩට
විසි කළෙය ඔහු සිය
අනෙක් පාවහන ගඟට.
කිමිදුණෙමි යළිත් මා දියෙහි
රැගෙන ආවෙමි උඩට දෙවැනි
පාවහනද.
එසැණින් යළිත් හේ
විසි කළෙය පළමු පාවහන දියට.
දැවිණි මා කෝපයෙන්.
තුදුස් වසකට පසුව
යළිත් මා මෙහි හමුවන්න,
ඔහු කීය මා හට.
තුදුස් වසකට පසුව
කිසිවකු නොවී පාලම මත.
ව්‍යාඝ්‍ර මුවක් තරම වූ
හිරු පමණක් බැබලිණි එමත.
මහල්ලා එනතුරු
බලා සිටියෙමි බෝ වෙලාවක්.
ඉන් අනතුරුව මම
එයින් බැස පහළට
එබී බැලුවෙමි ජල තලයට.
බැබලෙන හිරුට පසෙකින්
මා වුවන එහි විය.
දැවෙන හිරු හැරුණු කල
කිසිවකු නොවී පාලම මත.
මා ඇතුළත යමකු මෙලෙසට
කියන හඬ ඇසිණි මා හට:
‘පළමු පාවහන ජීවිතයයි
දෙවැන්න නම් මරණයයි’
හඳුනා ගතිමි මම
ඒ කටහඬ.
-සදානන්ද් රෙගේ (1923-1982)
(දිලිප් චිත්රේ මරාථි බසින්
ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)