කථාමුඛ
මන්දාර පර්වතයෙන් ක්ෂීර
සාගරය කළඹන විට මතුවූ අමෘතය පරිද්දෙන්, පාර්වතිය කෙරෙහි වූ සිය ප්‍රේමයෙන්
ධ්වනිත වූ මේ කථාව ශිවගේ මුඛයෙන් කියැවිණි. මේ කථාවෙහි අමරණීයත්වය පානය කරන්නන්ගේ
සියලු බාධා දුරුව ගොස් ඔවුහු සමෘද්ධිය ළඟා කැර ගන්නෝය. මේ පෘථිවිය මත වාසය කරන්නේ
වුවද ශිව දෙවියන්ගේ අනුග්‍රහයෙන් දේවත්වය ලබන්නෝය.
පාර්වතිය ආලිංගනය
කිරීමෙන් හටගත්තා වූද, ශිවගේ තෙවැනි ඇසෙහි අග්නියෙන් බේරීමට කාම විසින්
අවියක් කර ගත්තා වූද, ශිව දෙවියන්ගේ දහදිය ඔබ ආරක්ෂා කරත්වා !
වත්ස නම් රාජධානියෙහි, කෞසම්බි
නුවර අගනුවර කොට ගත් ශතානීක නම් රජ තෙමේ දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කළේය.
ජනමේජයගේ පුත් වූ හෙතෙම වීර පාණ්ඩවයන්ගෙන් පැවත එන්නෙක් වූයේය. මහී
මාතාවත්, විෂ්ණුමතී බිසවත් ඔහුගේ භාර්යාවෝ වූහ. ඔවුන් දෙදෙනාම පතිදම් රකින
භාර්යාවන් වූවද ශතානික රජතෙමේ පුත්‍රහීන විය. දිනක් දඩයම් ක්‍රීඩාවෙහි යෙදෙන රජුට
ශාන්දිල්‍ය නම් ඍෂිවරයා මුණ ගැසිණි. ශාන්දිල්‍ය තෙමේ රජුගේ භාර්යාවට අනුභවය
පිණිස දෙවියන්ට පූජා කළ අහරක් දුන් අතර ඉන් සහස්‍රානික නම් පුත් කුමරා උපන්නේය. මේ අතර, සිය ධීර වීරත්වය පිළිබඳව චිර ප්‍රසිද්ධියට
පත්ව සිටි ශතානීක රජ අසුරයන් පරාජය කිරීමට සහය වනු පිණිස ඉන්ද්‍ර විසින් කැඳවනු
ලැබීය. හෙතෙම යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වූයෙන් සහස්‍රානික කුමරා රජ පැමිණියේය.
ශතානීක කෙරෙහි බලවත් කැමැත්තෙන් පසු වූ ඉන්ද්‍ර, අසුරයන් පරාජය කිරීම සමරනු
පිණිස පවත්වන ලද මහා උත්සවයට සහස්‍රානිකට ආරාධනා කළේය. ඉන්ද්‍රගේ විමන වූ නන්දන
උයනෙහි හුන් රූමත් සුරඟනන් දුටු සහස්‍රානික තමාද විවාහ විය යුතු බව වටහා ගත්තේය.
මේ සහස්‍රානික වනාහි වෙනයම් අයෙකු නොව ශාපයකට ලක්ව සිටි වාසු නමින් හැඳින්වෙන ඉන්ද්‍රගේ
පරිවාර දෙවියෙකු වූ බැවින් ඔහුට වෙන් වූ දේව භාර්යාවක් සිටින බව ඉන්ද්‍ර සහස්‍රානිකට
පැවසීය. මේ දේව භාර්යාවද මෘගාවතී නම් කුමරියක ලෙස මනු ලොවෙහි උපත ලබා සිටියාය. එනමුදු
සහස්‍රානික නන්දන උයනෙන් පිටව යන මොහොතේ තිලෝත්තමා නම් රූමත් අප්සරාවට නිසි ගරු
සරු නොදැක්වීමෙන් ඇයගේ ශාපයට ලක්වූයේය. ඔහුට සිය ප්‍රියාවගෙන් වෙන්ව තුදුස් වසරක්
ගත කරන්නට සිදු වේවා යැයි අප්සරාව ශාප කළාය.
සහස්‍රානික මෘගාවතී ආවාහ
කොට ගත්තේය. නිසි කල පැමිණි විට ඕ ගර්භණී වූවාය. ගර්භණී සමයේදී රුධිර විලක ස්නානය
කිරීමේ දොළක් ඇයට උපන. ඇය රුධිරයෙහි ගිලී ස්නානය කරන විට ඇය මස් කැබැල්ලකැයි සිතූ ගරුඬ
ඇය ඉවත රැගෙන ගොස් කඳු මුදුනක අතහැර දැමීය. තාපසයකු විසින් මෘගාවතී ගලවා ගනු
ලැබූ අතර ඇයගේ පුත්‍ර උදයන තාපසාරාමයකදී මෙලොව එළිය දුටුවේය. දරුවා උපන්
අවස්ථාවේදී ශරීරයකින් තොර හඬකින් කියැවුණේ ඔහුගේ පුත්‍රයා විද්‍යාධරයන්ගේ රජු වන
බවය. උදයන ශක්තිමත්ව සහ නිර්භීතව වැඩුණේය. සියලු විද්‍යා ශිල්ප ආදියද උගත්තේය. මෘගාවතී
ඔහුට සහස්‍රානිකගේ වළල්ල අතෙහි පැලඳීමට දුන්නාය. දිනක්, උදයන සිය ජීවිතය බේරා
ගත් දඩයක්කරුවකුට ඒ වළල්ල තෑගි කළේය. දඩයක්කරුවා එය නගරයට ගොස් වෙළෙඳ පොළෙහි
විකුණූ අතර මේ ගැන සහස්‍රානික රජුට ආරංචි විය. විප්‍රවාස ශාපයෙහි කාලය අවසන් වන
විට කඳුකර තාපසාරාමයට ගිය සහස්‍රානික රජ තෙමේ සිය භාර්යාව සහ පුත්‍රයා දැඩි චිත්ත
ප්‍රීතියෙන් යුතුව නැවතත් කෞසම්බි නුවරට කැඳවා ගෙන ආවේය.
උදයන කුමරු යුවරජ
තනතුරෙහි පිහිටුවනු ලැබිණි. යෞගන්ධරායන, රුමණ්වත් සහ වසන්තක ඔහුගේ අමාත්‍යවරුන්
හැටියට පත්කරනු ලැබූහ. වැඩි කල් යා නොදී සහස්‍රානික රජු වනවාසයට ගියේය. උදයන ටික
කලක් යන තුරු ඉතා ධාර්මිකවද බුද්ධිමත්වද සිය රාජධානිය පාලනය කරන්නට විය. ටික කලක්
යන විට රාජධානියෙහි පාලනය සිය අමාත්‍යවරුන් වෙත පැවරූ උදයන මධුපානය, සංගීතය
සහ දඩයම් ක්‍රීඩාව ආදී රාජකීය විනෝදාංශවලට වැඩි වැඩියෙන් සිය කාලය ගතකරන්නට වූයේය.
එහෙත් වැඩි දිනයක් යන්නට ප්‍රථම වාසවදත්තා නම් කුමරියගේ රූප ශෝභාවද, ඇයගේ යහපත්
ගතිගුණද ගැන ශ්‍රවණය කළ උදයන ඒ නම් තමාට ගැලපෙන භාර්යාවකැයි සිතන්නට වන්නේය.
වාසවදත්තාගේ පියාණන් වූ චන්දමහාසේන රජුද
උදයන රජු සිය බෑණනුවන් කරගන්නට කැමැත්තෙන් සිටියේ සිය දියණියට විවාහ කර
දෙනු පිණිස ඔහු සිරකරුවකු වශයෙන් ගන්නට තීරණය කළේය. දඩ කෙළියෙහි යමින් සිටි උදයන රජු අල්වා සිර කළ
චන්දමහාසේන රජු ඔහු සිය දියණිය වූ වාසවදත්තාවගේ සංගීත ගුරුවරයා හැටියට පත් කළේය. ඒ
වන විටත් එකිනෙකා සමග ප්‍රේමයෙන් වෙළී හුන් උදයන-වාසවදත්තා යුවළ චන්දමහාසේන රජුගේ
ග්‍රහණයෙන් මුදාගෙන විත් විවාහ මංගල්‍යයක් පැවැත්වීමට යෞගන්ධරායන සහ රුමණ්වත්
අමාත්‍යවරු සැලසුමක් සකස් කළෝය.
අමාත්‍යවරුන්ගේ සැලසුම
අනුයමින් උදයන-වාසවදත්තා යුවළ චන්දමහාසේන රජුගේ ග්‍රහණයෙන් මිදී පළා ගියහ.
ඒ යන අතරතුර ඔවුන්ගේ ධෛර්යය නිරතුරුවම හීන වීමට ලක් විය. එවැනි අවස්ථාවක,
වාසවදත්තා කුමරියගේ විනෝදය පිණිස රසවත් මෙන්ම බොහෝ දේ අඩංගු වූ පහත දැක්වෙන
කථාව වසන්තක අමාත්‍යවරයා විසින් ඇයට කියන ලදී:
ප්‍රේමයෙන් මත්වූ
අභිසාරිකාව
‘කෘෂ්ණගේ උපන් ස්ථානය
වූ මථුරා නම් වූ නුවර රූපිනිකා නම් වූ ප්‍රසිද්ධ අභිසාරිකාවක් වාසය
කළාය. අභිසාරිකා නිවෙසක පාලිකාව වූ ඇයගේ මව මකරදන්ෂ්ට්‍රා, රූමත් රූපිනිකා
වෙත ආකර්ෂණය වූ තරුණයන් ඇගෙන් ඉවතට පළවා හරින විෂ පුංජයක් බඳු වූවාය. දිනක්
ආගමික වතාවත් කරනු පිණිස දේව මන්දිරය වෙත ගිය රූපිනිකාට ඈතක සිටි තරුණයෙකු දකින්නට
ලැබිණි. ඒ කඩවසම් තරුණයා ඈ තුළ කෙතරම්
ගැඹුරු කැළඹිල්ලක් ඇති කළේද යත් ඇයගේ මව ඇයට ඉගැන්වූ සියලු දේ රූපිනිකාට
අමතකව ගියේය. සිය නිවෙසට පැමිණෙන්නට යැයි තරුණයාට බල කරන ලෙස ඇය සිය දැස්ස ඇණවූවාය.
දැස්සද ස්වාමි දියණිය කී ලෙසම කළාය. ආරාධනය සලකා බැලූ තරුණයා මෙසේ විතාළේය:
“ලෝහජංඝ නම් වූ මම බ්‍රාහ්මණයෙක්මි. එනමුදු මා අත කිසිදු මුදලක් නැත.
ධනවතුන්ට පමණක් සීමා වූ තැනක් වන රූපිනිකාගේ නිවෙසෙහි මා කුමක් කරන්නද ?” “ඔබගේ මුදලෙන් මා
ස්වාමිදියණියට පලක් නැතැ”යි දැස්ස පිළිතුරු දුන්නාය. පසුව රූපිනිකාගේ නිවෙසට එන්නෙමැයි ලෝහජංඝ ශපථ කළේය.
‘ලෝහජංඝ සිය නිවෙසට
පැමිණ තමා බැහැදකින බව ශ්‍රවණය කිරීමෙන් රූපිනිකා දැඩි ලෙස ප්‍රීතියට
පත්වූවාය. නිවෙස තුළට ගිය ඕ ඔහු එන මාර්ගය දෙස බලමින් කාලය ගත කළාය. වැඩි වෙලාවක්
යන්නට ප්‍රථම ලෝහජංඝ පැමිණියේය. ලෝහජංඝ දුටු මකරදන්ෂ්ට්‍රා ඔහු කොහි සිට
පැමිණියේදැයි විපිළිසර වූවාය. ලෝහජංඝ පිළිගන්නට තුමූම දොරට ගිය රූපිනිකා මහත්
ගෞරවයෙන් ඔහු පිළිගෙන, ඔහුගේ ගෙල වැළඳ සිය පෞද්ගලික කුටිය වෙත කැඳවාගෙන
ගියාය. ලෝහජංඝගේ මහත් වූ ගුණ යහපත්කම්වලින් සම්පූර්ණයෙන්ම යටපත් වූ රූපිනිකා තමා
මේ ලොව උපන්නේ ඔහුට ප්‍රේම කරන්නට පමණකැයි සිතුවා අනෙක් පුරුෂයන්ගේ සමාගමය අතහැර
දැමුවාය. ලෝහජංඝ ඉතා ප්‍රීතියෙන් ඇයගේ නිවෙසෙහි වාසය කරන්නට විය.
‘අභිසාරිකාවන් මහත්
වූ සංඛ්‍යාවක් පුරුදු පුහුණු කළ මකරන්දෂ්ට්‍රා මෙය දැකීමෙන් දැඩි කෝපයට
පත් වූවා රූපිනිකා සමග කතා කළාය: “ දුව, කවර හෙයින් නම් තී මේ දුප්පතා සමග සමාගම්
පවත්වන්නෙහිද? මනා වූ අභිසාරිකාවක් දුප්පතෙකුට වඩා මෘත ශරීරයක් සමග සමාගමය වඩා හොඳ
යැයි සිතන්නීය ! ප්‍රේමයෙන් අභිසාරිකාවකට කවර ඵලයක්ද ? තමන්ගේ වෘත්තියේ මේ මූලික
සිද්ධාන්තය තී කවර හෙයින් අමතක කළෙහිද? සූර්ය අස්තංගයේ මනහරබව රඳා පවතින්නේ
ගොම්මන් වැටෙන තුරු පමණිය. එපරිද්දෙන්ම අභිසාරිකාවකගේ රූපශ්‍රීයද තාවකාලිකය.
අභිසාරිකාවක නිළියක පරිද්දෙන් ප්‍රේමය රඟ දක්වා ධනය උපයා ගත යුතුය. තී තමන්ම
විනාශ කර ගන්නට ප්‍රථමයෙන් මේ දුගියාගෙන් ගැළවෙව !” රූපිනිකා මෙයට කෝපයෙන්
යුතුව පිළිතුරු දුන්නාය. “ මෙලෙස කථා කිරීමෙන් වළකින්න මෑණියනි ! මම මගේ ජීවිතයටත්
වඩා ඔහුට ප්‍රේම කරන්නෙමි! දැනටමත් මා හට අවශ්‍ය තරමටත් වඩා ධන සම්පත් තිබේ. තවත්
ධනය ඉපැයීමෙන් මා කුමක් කරන්නද ? මෑණියනි, නුඹ මේ සම්බන්ධයෙන් මා සමග යළිත්
කථා නොකළ යුතුය !” සිය දියණියගේ වචන ශ්‍රවණය කිරීමෙන් දැඩි කෝපයට පත්
මකරදන්ෂ්ට්‍රා, ලෝහජංඝගෙන් ගැළවීමේ උපායක් කල්පනා කරන්නට වූවාය.
‘දිනක්, මඟ දිගේ පියමං
කරන වංශවතෙකු මකරන්දන්ෂ්ට්‍රාගේ නෙත ගැටිණි. ඔහු සතු ධනය සම්පූර්ණයෙන්ම විනාශ
වී ගොස් තිබුණේ වූවද අසිපත් දරන අංගාරක්ෂකයෝ ඔහු වට කොට සිටියහ. වංශවතා වෙත
දිව ගිය ඇය ඔහු පසෙකට ගෙන මෙසේ කීවාය. “ දුගී දුප්පත් ප්‍රේමවන්තයෙක් මා නිවසට
අරක්ගෙන සිටියි. අද මගේ නිවසට පැමිණ ඌට නිවෙස හැර යන තැනට වැඩ සලසන්නේ නම් මැනවි.
එවිට ඔබතුමන්ට අද රාත්‍රියේ මා දියණියගේ පහස විඳීමට හැකිවනු ඇත !” ඊට එකඟ වූ වංශවතා ඇගේ
නිවෙස තුළට ගියේය. ඒ වනවිට රූපිනිකා දේව මන්දිරයට ගොස් සිටි අතර ලෝහජංඝද බැහැරක
ගොස් සිටියේය. කිසිවක් සැක නොකළ ලෝහජංඝ ඊට ටික වේලාවකට පසු නිවෙසට
පැමිණියේය. වංශවතාගේ අංගාරක්ෂකයෝ ඔහු මතට කඩා පැන හොඳ හැටි අතින් පයින් පහර දී ඔහු
නරාවළකට ඇද දැමූහ. ලෝහජංඝ ඉතා අසීරුවෙන් ඒ
නරාවළෙන් ගොඩ ආවේය. සිදු වූ දෙය ශ්‍රවණය කළ රූපිනිකා අතිශය ශෝකයට පත්වූවාය. මේ
දුටු වංශවතා ආ පාරෙන්ම ආපසු යන්නට ගියේය.
‘මෙලෙස මැහැල්ලගේ කුරිරු වධබන්ධනවලට ලක්වූ ලෝහජංඝ,
තවදුරටත් සිය ප්‍රේමියගෙන් තොරව ජීවත් වීමට නොහැකි හෙයින් සිය දිවි තොර කර ගැනීමට
සූදානම්ව වන්දනා තීර්ථයක් වෙත ගමන් කළේය. මකරන්දෂ්ට්‍රා කෙරෙහි
වූ කෝපාග්නියෙන් හදවත දැවෙමින්ද චණ්ඩ හිරු රශ්මියෙන් ශරීරය දැවෙමින්ද හෙතෙම
කාන්තාරයේ සැරි සරන්නට විය. සෙවණක් සොයා වටපිට බැලුවද එහි එකුදු ගසක්වත් නොවීය.
නරින් විසින් සියලු මස් කා දමනු ලැබූ හස්ති කලේබරයක් වෙත ඔහු පැමිණියේය. උගේ අස්ථි
පඤ්ජරය මත චර්මය වූ බැවින් ඒ ඇතුළත හිස් අවකාශයක් විය. එතුළට රිංගා ගත්
ලෝහජංඝ නින්දට වැටිණි. හැමූ සුළඟෙන් ඇතුළත සිසිල් විය. ක්ෂණයකින් බියකුරු
මේඝකුළු අහසේ නැගී වර්ෂාව පතනය වන්නට පටන් ගත්තේය. හස්ති චර්මය හැකිළී ලෝහජංඝට
අස්ථි පඤ්ජරයෙන් ඉවතට පැමිණීමට නොහැකි විය. වැඩි වේලා යන්නට ප්‍රථම හාත්පස ජලයෙන්
යටවී, හස්ති කලේබරය ජලයේ ගසාගෙන යන්නට වූයේය. ගංගා නම් නදියට වැටුණු හස්ති
කුණ එතැනින් මහා සාගරය වෙත ගසාගෙන ගියේය. ගරුඬගේ පරපුරෙන් පැවත එන පක්ෂියෙකු එය
දැක හස්ති කුණ සිය තුඩින් ඩැහැගෙන සාගරයේ අනෙක් ඉවුරට රැගෙන ගියේය. පක්ෂියා හස්ති
කුණ ආහාරයට ගැනීම පිණිස එය හොටින් ඉරා දැමීය. එහෙත් ඇතුළත මිනිසෙකු සිටිනු දුටු ඌ
කුණ එතැනම අතැර ඉවත පියාඹා ගියේය.
ලෝහජංඝ ලංකාවට පැමිණීම
‘හස්ති කුණට පක්ෂියා සිය
හොටෙන් අනින ශබ්දයට නින්දෙන් අවදි වූ ලෝහජංඝ පක්ෂියා විසින් හස්ති චර්මයෙහි
සාදන ලද සිදුරෙන් රිංගා බැහැරට පැමිණියේය. ඈත සාගර වෙරළක තමා සිටිනු දැකීමෙන්
හෙතෙම දැඩි විමතියට පත්වූයේ මේ සියලු දෙය ස්වප්නයකැයි නිශ්චය කරගත්තේය. එවිට ඈතක සිට තමා දෙස බියෙන් මෙන් බලා සිටින
බියකුරු රාක්ෂසයන් දෙදෙනෙකු ඔහුගේ නෙත ගැටිණි. රාම ඔවුන් පරාජය කළ ආකාරය ඔවුන්ට
මතක තිබූ බැවින් සාගරය තරණය කොට පැමිණි නරයෙකු වූ ලෝහජංඝ දුටු විට
ඔවුන්ගේ හදවත් බියෙන් පිරී ගියේය. ඔවුන්
දෙදෙනා ඒ ගැන කතිකා කොට ගෙන, එක් රාක්ෂසයෙක් විභීෂණ රජු වෙත ගොස් මේ පුවත සැල
කොට සිටියේය. රාමගේ බලය දැක තිබූ විභීෂණ රජුද තවත් නරයෙකුගේ ආගමනයෙන් ඒ
හා සමානම භීතියකට පත් වූයේ පුවත රැගෙන ආ රාක්ෂසයා අමතා මෙසේ කීවේය. “ යව මිත්‍රය.
ගොස් ඒ පුරුෂයා සමග කරුණාවෙන් යුතුව කථා කරව. මාගේ මාලිගය වෙත ඔහුගේ ආගමනයෙන් අපට
මහත් ගෞරවයක් අත්වන බව කියව.”
‘ලෝහජංඝ වෙත ප්‍රවේශමෙන්
යුතුව ළං වූ රාක්ෂස තෙමේ විභීෂණ රජුගේ ආරාධනය ගැන ඔහුට සැල කොට සිටියේය.
සන්සුන්ව ආරාධනය පිළිගත් ලෝහජංඝ රාක්ෂසයා සමග ලංකාව වෙත ගියේ එහි වූ මහත් සංඛ්‍යාවක්
වූ කනකමය ගොඩනැඟිලි දැක දැඩි විශ්මයට පත් වූයේය. රජ මැඳුරට ඇතුළු
වූ ලෝහජංඝ විභීෂණ මහරජු විසින් පිළිගන්නා ලදී. ලෝහජංඝ බ්‍රාහ්මණ තෙමේ
විභීෂණ මහරජුට ආශීර්වාද කළේය. ඔහු ලංකාවට පැමිණියේ කෙසේදැයි
විභීෂණ විමසීය. “ලෝහජංඝ නමැති බ්‍රාහ්මණයකු වන මා මෙහි පැමිණියේ මථුරා පුර
සිටය. මම ඉතා දුප්පතෙක් වීමි. එබැවින් විෂ්ණු දේව මන්දිරය වෙත ගොස් දුෂ්කර ව්‍රතයෙන්ද
උපවාසයෙන්ද කල් යැවීමි. එවිට විෂ්ණු දෙවියන් මා වෙත ස්වප්නයෙන් පැමිණ,
‘විභීෂණ වෙත යව. ඔහු මාගේ දෘඪ භක්තිවන්තයෙකි. ඔහු නුඹට මහත් වූ ධනය දෙනු
ඇතැ’යි කීවේය.
විභීෂණ සිටින්නේ මා හට ළඟා විය නොහැකි ස්ථානයකැයි මම කීමි. එවිට විෂ්ණු කීවේ
‘ නුඹ අද විභීෂණ දකින්නේ !’ය යනුවෙනි. මා
අවදි වූ විට සාගරයේ මෙහා ඉවුරේ සිටිනු මට දකින්නට ලැබිණි. මා මෙහි ආවේ
කෙසේදැයි මම නොදනිමි”යි යනුවෙන් ලෝහජංඝ ඉතා දක්ෂ ලෙස පිළිතුරු
දුන්නේය.
‘කෙනෙකුට ලංකාවට
පහසුවෙන් ළඟාවිය නොහැකි බව දත් විභීෂණ ලෝහජංඝගේ කථාව ශ්‍රවණය කිරීමෙන් පසු “මේ
නරයා සතුව දේව බලයක් ඇතැ” යි සිතූයේ ඔහුට හඬ නඟා මෙසේ කීවේය: “මෙහි වාසය කරව. මා තොපට
ඉමහත් ධනය දෙමි!” මනුෂ්‍ය භක්ෂක රාක්ෂසයන් පිරිසකට ඔහුගේ ආරක්ෂාව භාර කළ
විභීෂණ ගරුඬගේ පවුලෙහි උපන් තරුණ පක්ෂියකු රැගෙන ඒම පිණිස සෙසු රාක්ෂසයන්
ස්වර්ණමූල කන්ද වෙත පිටත් කොට යැවීය. මථුරාවට පෙරළා යන දීර්ඝ ගමන අපේක්ෂාවෙන් රැඳී
සිටින අතර නැඟී ඔබ මොබ යෑම පිණිස විභීෂණ ඒ පක්ෂියා ලෝහජංඝ වෙත ප්‍රදානය කළේය.
ලෝහජංඝද පක්ෂියා පිට නැගී ඔබ මොබ පියාසර කරමින්ද විභීෂණගේ ආගන්තුක සත්කාර විඳිමින්ද
ලංකාවේ ටික කලක් ගත කළේය.
ලංකාවේ පොළොව දැවයෙන්
තනා ඇති හේතුව
‘ලංකාවේ පොළොව දැවයෙන්
තනා ඇත්තේ මන්දැයි දිනක් හෙතෙම විභීෂණගෙන් විමසීය. “සවන් දෙව. තොප ඒ ගැන
කුතුහලයෙන් පසුවන හෙයින් ඒ ගැන කියමි” යි කියමින් විභීෂණ කථාව පටන්ගත්තේය. “බොහෝ
කලකට පෙර කාශ්‍යපගේ පුත්‍ර වූ ගරුඬ, එක් ශපථයක් පූරණය කරනු පිණිස නාගයන්ගේ වහලියක
ලෙස කල් ගෙවූ සිය මව ඉන් නිදහස් කර ගැනීමේ උත්සුක විය. සිය මව නිදහස් කර ගැනීමට අවශ්‍ය අමෘතය
සොයා යෑමට සූදානම් වීමේදී ශරීරයේ ශක්තිය වැඩි කරන යමක් ආහාරයට ගැනීමට ගරුඬට අවශ්‍ය
වූයේය. ඔහු සිය පියා වෙත ගියේය. පියා ඔහුට මෙසේ කීය. ‘පුත්‍රය, මහා සාගරය පත්ලෙහි
විශාල හස්තියෙක්ද විශාල කැස්බෑවෙක්ද වසති. ඔවුන් ඒ රූපයෙන් සිටින්නේ ඔවුන් ශාපයකට
ලක්ව ඇති බැවිනි. එහි ගොස් ඒ හස්තියා සහ කැස්බෑවා ආහාරයට ගනුව.’ ආහාරය පිණිස ඔවුන්
රැගෙන ආ ගරුඬ කල්පවෘක්ෂයේ අත්තක් මත වැසුවේය. ඔහුගේ බරින් අත්ත කැඩී ගියේය.
එහෙත් වෘක්ෂය යට වාසය කරමින් ව්‍රතයෙන් කල් ගෙවන වාලඛිල්‍ය තාපසයන්ට ඇති ගෞරවය
නිසා අත්ත බිම වැටෙනු නොදී ගරුඬ එය සිය හොටෙන් අල්ලා ගෙන සිටියේය. අත්ත
නිකම්ම බිමට අතහැරියහොත් එයින් මනුෂ්‍යයන් තැලී මිය යා හැකි බැවින්, ඔහු
සිය පියාණන්ගේ උපදෙස් පරිදි එය ජනශුන්‍ය ස්ථානයක අතහැරියේය. ලංකාව ගොඩනැගුයේ ඒ
අත්ත මතය. එබැවින් එහි පොළොව දාරුමය වෙයි.” විභීෂණගේ කථාවෙන් ලෝහජංඝ මහත්
වූ ප්‍රීතියට පත් වූයේය.
ලෝහජංඝ මකරදන්ෂ්ට්‍රා දමනය කළ සැටි
‘ලෝහජංඝට පෙරළා මථුරා
පුරයට යෑමට අවශ්‍ය වූ බැවින් විභීෂණ ඔහුට මහත් වූ මාණික්‍ය සමූහයක්
පරිත්‍යාග කළේය. විභීෂණ මථුරා පුර විසූ විෂ්ණුගේ භක්තිවන්තයෙකු
වූ බැවින් විෂ්ණු දෙවියන්ට පූජා කිරීම සඳහා කනකයෙන් තැනූ නෙළුම් මලක්,
කුන්තයක්, චක්‍රායුධයක් සහ හක්ගෙඩියක් ඔහුට දුන්නේය. ලෝහජංඝද විභීෂණ විසින්
තමාට දෙන ලද සියලු දේ රැගෙන යොදුන් ලක්ෂයක් පියාසර කළ හැකි පක්ෂියා පිට නැඟුණේය.
ලංකාවෙන් අහසට නැඟුණු ඔහු සාගරය තරණය කොට කිසිදු උපද්‍රවයකින් තොරව මථුරා පුරයට
සැපත් විය. පාලුවට ගිය තාපසාරාමයක් අසළින් අහසින් බට ලෝහජංඝ ඔහු ගෙනා සියලු මාණික්‍ය
ඒ තුළ සඟවා ලීය. පක්ෂියා බැඳ දැමූ ඔහු වෙළෙඳපොළට ගොස් ඉන් එක් මාණික්‍යයක්
අලෙවි කළේය. ඒ මුදලින් ආහාර හා ඇඳුම් මිලට ගත් ඔහු පෙරළා තාපසාරාමයට පැමිණියේය.
තමාද අනුභව කොට පක්ෂියාටද ආහාර දුන් ලෝහජංඝ අලුත් ඇඳුම්වලින් සැරසී, මල්
පැළඳ මිහිරි විලවුන් ගල්වා ගත්තේය.
‘රාත්‍රිය උදාවූ කල
ඔහු නෙළුම් මලද, කුන්තයද, චක්‍රායුධය හා හක්ගෙඩියද රැගෙන පක්ෂියා පිට
නැගී රූපිනිකාගේ නිවෙස වෙත පියාසර කළේය. තමා ඉතා හොඳින් දත් නිවෙස උඩින් කැරකුණු
හෙතෙම තනිව හුන් සිය ප්‍රියාවගේ අවධානය ගනු පිණිස පහත් හඬින් සංඥාවක් කළේය. ඒ හඬ
ඇසුණු ඇසිල්ලේ පිටතට පැමිණි රූපිනිකාට විෂ්ණු දෙවියන් පරිද්දෙන් ආභරණ පැළඳ
රාත්‍රී ආකාශයේ රැඳී සිටින ජ්වලිත රුවක් පෙනිණි. “මම විෂ්ණු වෙමි.
තී වෙනුවෙන් මෙහි පැමිණියෙමි !” යි ලෝහජංඝ කීවේය. හිස පහත් කළ රූපිනිකා
ඔහුගේ ආශීර්වාදය ඉල්ලා සිටියාය. ලෝහජංඝද අහසින් බැස පක්ෂියා බැඳ දැමීය. ඉන්
අනතුරුව ඔහු රූපිනිකා සමගින් ඇයගේ කුටියට ගොස් මඳ වේලාවක් ගත කොට පක්ෂියා පිට නැගී
ඉවත පියාසර කළේය.
‘“ මම විෂ්ණුගේ භාර්යාව
වෙමි. ඉදින් හුදු නරයන් සමග මින් මතු මට කතා කළ නොහැකිය!” යනුවෙන් කල්පනා කළ
රූපිනිකා පසුවදා උදෑසන මෞන ව්‍රතයක ගැලී සිටියාය. මෙවැනි අමුතු ආකාරයකින් හැසිරෙන්නේ
මන්දැයි ඇගේ මෑණියන් විචාළාය. බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුව, තමාත් සිය මවත්
අතර තිරයක් එල්ලූ රූපිනිකා පෙරදා රාත්‍රියේ සිදු වූ දැයත් සිය මෞන ව්‍රතයට
හේතුවත් සිය මවට පැවසුවාය. එදා රාත්‍රියේ ලෝහජංඝ පක්ෂියා පිට නැගී පැමිණෙන සැටි
දකින තෙක්ම මකරදන්ෂ්ට්‍රා සිය දියණිය කියූ වචනයකුදු විශ්වාස කළේ නොවේ. පසුදා
පාන්දරින්ම සිය දියණිය සිටින තිරය අසළට ගිය ඕ තොමෝ තිරය පිටුපස සිටින රූපිනිකා
අමතා සෙමෙන් මෙසේ කීවාය: “ දුව, විෂ්ණු නුඹ තෝරාගත් බැවින් නුඹ මිහිපිට සිටම
දෙවඟනකගේ තත්ත්වය ලබා සිටියි. මේ ලෝකයේදී නුඹේ මව මා යි ! නුඹ මෙළොවට බිහි කිරීම
වෙනුවෙන් මට උදව්වක් කරපන්. මේ මහලු වූ කයෙන් හෝ මා දෙව්ලොවට ගෙන යන ලෙස
විෂ්ණුට කියාපන්.”
‘රූපිනිකා ඊට එකඟ වූවා
එදින රාත්‍රියේ ලෝහජංඝ විෂ්ණුගේ වේශයෙන් පැමිණි කල සිය මවගේ මනෝරථය පූරණය කරන ලෙස
ඔහුගෙන් ඉල්ලා සිටියාය. දෙවියන්ගේ වේශයෙන් සිටි ලෝහජංඝද පිළිතුරු දෙමින් “ ඔබේ මව නම්
ඉතා කුරිරු මැහැල්ලකි. සියලු දෙනා ඉදිරිපිට ඈ දෙව්ලොවට ගෙන යෑමට මට නොහැකිය. එහෙත්
එකොළොස්වැනි දවසේ පාන්දර දෙව්ලොව දොරටු විවෘත වෙයි. ඒ වේලාවට සියල්ලන්ටම ප්‍රථම
ශිවගේ අනුගාමිකයන්ගෙන් බොහෝ දෙනෙක් දෙව්ලොවට ඇතුළු වෙති. ඇය සිය පෙනුම වෙනස් කර
ගන්නේ නම් ඔබේ මවද ඔවුන් සමග දෙව්ලොවට ඇතුළු කිරීමට මට හැකිය. හිසේ කෙස් කැරලි
පහක් පමණක් ඉතිරි වන සේ හිස මුඩු කර, හිස් කබල්වලින් තැනූ මාලයක් ඇයට
පළඳවන්න. ඇගේ ඇඳුම් පැළඳුම් ගලවා පිටේ දැළිත්, ඉදිරිපස රතුපැහැ සායමුත්
ගල්වන්න. එවිට ඇය ශිව අනුගාමිකයෙකු ලෙස පෙනෙනු ඇත. එවිට මට පහසුවෙන්ම ඇය දෙව්ලොවට
ඇතුළු කළ හැකි වනු ඇතැ” යි කීවේය. මඳ වේලාවක් රූපිනිකා සමඟ කල් ගත කළ ලෝහජංඝ පිටවී
ගියේය.
‘පසුදා උදෑසන, ඇයට
උපදෙස් ලැබුණු පරිද්දෙන් රූපිනිකා සිය මව සැරසූවාය. දෙව්ලොව ගැන සිතමින්
මැහැල්ල එපරිද්දෙන් මුළු දවසම ගත කළාය. එදින රාත්‍රියේ ලෝහජංඝ පැමිණි විට
රූපිනිකා සිය මව ඔහුට භාර කළාය. ලෝහජංඝද නිරුවත් මැහැල්ල පක්ෂියා පිට නංවාගෙන
යන්නට ගියේය. දේවමන්දිරයක් ඉදිරිපිට
පීඨිකාවක් සහිත විශාල ගල් කුලුණක් තිබෙන සැටි ඔහුට අහසේ සිට පෙනිණි. ඔහු මැහැල්ල
ගල් කුලුණේ මුදුනට බැස්සුවේය. ඇයද, ලෝහජංඝට සැලකූ පහත් ආකාරය ලොවට ප්‍රදර්ශනය කරන
කරන පතාකයක් විලස සුළඟේ ඒ මේ අත වැනෙමින්, බිම වැටෙනවාට බියෙන් පීඨිකාව බදාගෙන
සිටින්නට වූවාය. “ මා ගොස් ලොවට ආශීර්වාද කර එනතුරු මෙතැන සිටුව!” යි
කියූ ලෝහජංඝ අතුරුදන් විය.
‘දේවමන්දිරයේ උත්සවයට
සූදානම් වනු වස් රෑ නොනිදා පහන් කරන මිනිසුන් රැසක් දේවමන්දිර මිදුලේ රැස්ව සිටින
සැටි ලෝහජංඝට පෙනිණි. ඔහු අහසේ සිට ඔවුන් ඇමතුවේය. “ සවන් යොමනු ! අද, හරියටම මේ
ස්ථානයෙන් වසූරිය නමැති විනාශකාරී දෙවඟන නුඹලා මත පතිත වනු ඇත ! එව්, විෂ්ණුගේ
සරණ පතා එව්!” මෙය ශ්‍රවණය කළ මථුරා පුර මිනිස්සුද භීතියට පත්ව විෂ්ණුගේ
ආරක්ෂාව ඉල්ලමින්ද මේ මහා ව්‍යසනය තමන් මත පතිත නොවන ලෙස ඉල්ලමින්ද යාඥා කරන්නට
වූහ.
‘ලෝහජංඝද ආකාශයෙන්
බැසවුත්, සිය දේව වේශය ඉවත දමා කිසිවෙකුට නොදැනී මහ ජනකාය මධ්‍යයට එකතු විය.
මේ අතර ගල් කුලුණ මත හිඳගෙන සිටින මකරදන්ෂ්ට්‍රා බියවන්නට පටන්ගෙන සිටියාය.
“දෙවියන් තවම නාවේය. මා තවමත් දෙව්ලොවට ගියේ නැත !” යනුවෙන් ඇය සිතන්නට පටන්
ගත්තාය. තවදුරටත් පීඨිකාව අල්ලාගෙන සිටින්නට නොසමත්ව ඇය කුලුණ දිගේ පහළට රූටා
යන්නට විය. “මා ඇද වැටෙනවා ! මා ඇද වැටෙනවා !” යැයි ඕ කෑ ගසන්නට වූවාය. පහත සිටින
මිනිසුන්ට මෙය ඇසුණු විට ඔවුහු අධික භීතියෙන් තැති ගත්හ. තමාට අනතුරු
ඇඟවූ විලසින්ම වසූරි දෙවඟන සිය හිස් මතට පාත් වන්නට යන බව ඔවුන්ට විශ්වාසය.
“දේවතාවියනි වැටෙන්න එපා ! වැටෙන්න එපා !” කියමින් ඔවුහු කෑ ගසන්නට පටන් ගත්හ.
කොයි මොහොතක හෝ දේවතාවිය සිය හිස් මතට කඩා වැටෙතැයි යන බියෙන් කෙසේ හෝ ඒ දීර්ඝ
රාත්‍රිය ගෙවා ගන්නට මථුරා නුවර බාල මහලු සෑම දෙනම සමත් වූහ.
‘අවසානයේදී රාත්‍රිය
ගෙවී උදෑසන පැමිණි විට ගල් කුලුණ මත කාලකණ්ණි ස්වරූපයෙන් සිටින මැහැල්ල ඔවුන්ට
පෙනිණි. මිනිසුන් පමණක් නොව මහරජතුමා පවා ඇය කවුරුන්දැයි එකවරම හඳුනා ගත් අතර
ඔවුහු බිය අමතක කොට මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්හ. රූපිනිකාට මේ සිදුවීම ආරංචි වී ඇය දේවමන්දිරය
වෙත පැමිණියාය. ගල් කුලුණ මත සිටින්නේ සිය මෑණියන් බව දුටු ඇයට බලවත් ලජ්ජාවක් ඇති
විය. රැස්ව සිටි මිනිසුන්ගේ උදව්වෙන් ඇය ගල් කුලුණ මතින් බිමට ගැනීමට ඕ සමත්වූවාය.
සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට සියලු දෙනා තුළම වූයේ දැඩි කුතුහලයකි. කුමක්
සිදුවිණිදැයි මිනිස්සු මකරදන්ෂ්ට්‍රාගෙන් විමසූහ. ඇය ඔවුන්ට සිදුවූ පවත් කීවාය.
‘මෙය යම් මායාකරුවකු හෝ
ඉන්ද්‍රජාලිකයකු විසින් කරන ලද්දක් බව රජතුමාද එතැන සිටි බ්‍රාහ්මණයෝ සහ වෙළෙන්දෝද
විශ්වාස කළහ. මැහැල්ලට මේ දෙය කළ තැනැත්තාට වහා ඉදිරිපත් වන ලෙසත් ඔහුට ගෞරව
නම්බු නාම ප්‍රදානය කැරෙන බවත් නිවේදනය කෙරිණි. ලෝහජංඝ ඉදිරියට පැමිණියේය.
ඔහුගෙන් ප්‍රශ්න කැරුණු විට හෙතෙම සිදුවූ පවත් මුල සිටම කීවේය. විභීෂණ විසින්
විෂ්ණු වෙත එවන ලද පූජා භාණ්ඩ ඔහු පෙන්වූ විට මිනිස්සු ඔහු දෙස විස්මයෙන් හා
ගෞරවයෙන් යුතුව නෙත් දල්වාගෙන සිටියෝය.
මථුරා පුර වැසියන් ලෝහජංඝට ගෞරව කළ අතර රජතුමාගේ නියමයෙන් රූපිනිකා
නිදහස් කාන්තාවක් ලෙස නම් කරන ලදී. මකරදන්ෂ්ට්‍රා නිසා තමන්ට විඳින්නට
වූ සියලු දුක් ගැහැටවල පළිය ඇගෙන් ගනු ලැබූ හෙයින්, ලංකාවෙන් ගෙනෙන ලද
මාණික්‍යවලින් පොහොසත්ව, ලෝහජංඝ සිය ප්‍රේමනීය රූපිනිකාව සමගින් මථුරා නුවර අත්‍යන්ත ප්‍රීතියෙන් යුතුව
ජීවත් වූයේය.
(සෝමදේවයන්ගේ කථාසරිත්සාගරයේ ඉංගිරිසි
පරිවර්තනයෙනි. සංස්කෘත බසින් ඉංගිරිසියට නැඟුවේ අර්ෂියා සත්තර් (Arshia Sattar)විසිනි.)