2016/07/30

රැජන






අබිසෙස් කළෙම් ඔබ රැජනක් ලෙසින්.
සිටියද ඔබ හට වඩා උස ලියන්,
සිටියද ඔබ හට වඩා පිවිතුරු කතුන්,
සිටියද ඔබ හට වඩා මනකල් ළඳුන්,
රැජන නම් ඔබ වේමය ඉතින්.

වීදියෙහි ඔබ යනෙනා කලට
නොහඳුනති කිසිවෙක් ඔබව.
නොදකිත් කිසිවෙකුත්
ඔබ පැළඳි මිණි කිරුළ,
නොබලත් කිසිවෙකුත්
පා තබන රත්රන් පළස දෙස,
නොපවතින ඒ පළස දෙස.

එහෙත් ඔබ පැමිණි කල,
හඬ නගා ගලන්නෙය
සියලු ගංගා මා සිරුර තුළ,
සීනුවල නාදයෙන්
වෙව්ලයි නබෝගැබ,
ගීතිකාවක හඬින්
පිරී යයි මිහිතලය.

සවන් දෙන්නේ ඒ ගී නදට
ඔබ හා මා පමණකිය.
මා සොඳුර,
ඔබ හා මා පමණකිය.














-පැබ්ලෝ නෙරූදා (1904-1973)
(ඩොනල්ඩ් ඩී. වොල්ෂ් ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

9 comments:

  1. ඔබ "රැජින" මගේ ලොව තුල.

    ReplyDelete
  2. උස යනු උසස් යන්න නේද නිලුක
    අපූරුයි

    ReplyDelete
    Replies
    1. නෑ මහේෂ්. උස යනු ශරීරයේ භෞතික උසයි. උසස් නොවේ. මුල් කවියේ තිබුණේ taller කියලා.

      Delete
  3. පුවත්පත් පිටු අතර දිගු කලෙකින් හමු නොවූ ඔබගේ අපූරු පරිවර්තන හැකියාව කලකට පසු යළි සයිබර් අවකාශයේදී විකසිත වී තිබී හමු වීම අපමණ සතුටකි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රභාත් මෙහි ආවාට. පුවත්පත්වලට පරිවර්තන යැවීමේ අපහසුව නිසා පරිවර්තනවලට සයිබර් අවකාශය භාවිතා කරනවා. පුවත්පත්වලට මා ලියූ දේ කියවූ කෙනෙක් හමුවීම සතුටක්.

      Delete
  4. ඔබේ වචන බාවිතය හරි ලස්සනයි. ඔබ සඳහන් කලේ නොමැති නම් පරිවර්තනයක් කියා වැටහෙන්නේ නෑ. ඔබ පුවත්පත්වලට ලියනවා කියා දන්නේ නෑ. කියවන්න හමුවීත් නෑ. මොන පත්තරවලටද ලිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිල් මානෙල් ඔබේ ඇගයීමට. මා වසර ගණනාවකට පෙරාතුව හරියටම කියනවා නම් වසර දහසයකට පෙර ලක්බිම පුවත්පතේ වෘත්තිය පුවත්පත්කලාවේදියෙකු ලෙස සේවය කළා. ඊට පෙර දිවයින පුවත්පතේ මා කළ පරිවර්තන නිතර පළ වුණා. මා දැන් කරන රැකියාවට ආ පසු පුවත්පත්වලට ලිවීම නතර වුණා. මේ වසරේ නම් සිළුමිණ පුවත්පතේ මා පරිවර්තනය කළ කෙටි කතා දෙකක් පළ වී තිබුණා.

      Delete
  5. එහෙනම් ඔබ වුර්තීය ලේඛකයෙක්. සතුටුයි එවැනි කෙනෙක් ගේ ලිපි කියවීමට ලැබීම.

    ReplyDelete

සෙවුම්