2017/02/05

රාත්‍රිය





















මගේ මුළු දිවියම
සත්වරක් හස් ඔබා මුද්‍රා තැබූ
එකම දිගු රැයක් බවට පෙරලූ
කඳවුරේ ගෙවූ ඒ පළමු රැය
අමතක නොකරමි කිසිදිනෙක මම

අමතක නොකරමි කිසිදිනෙක
ඒ දුම්රොටු,
නිශ්ශබ්ද අහස යට
දුම්රොටුවලට පෙරලුණු සිරුරු හිමි
දරුවන්ගේ සිඟිති මුහුණු
අමතක නොකරමි කිසිදිනෙක මම

මගේ භක්තිය දවා හළු කළ
ඒ අග්නියෙහි දලු
අමතක නොකරමි කිසිදිනෙක මම

ජීවිතේ ආශාව මා කෙරෙන්
සදහටම තුරන් කළ
ඒ නිශාචර නිහඬබව
අමතක නොකරමි කිසිදිනෙක මම

මගේ දෙවියන්, මගේ ආත්මය
අමු අමුවේ මරා
මා සිහින අළු කළ ඒ මොහොතවල්
අමතක නොකරමි කිසිදිනෙක මම

සිදුවුවද වසන්නට මහට
දෙවියන් සා දිගු කලක්
එදින සිදු වූ දේ
අමතක නොකරමි කිසිදිනෙක මම

අමතක නොකරමි කිසිදිනෙක මම
















ජාත්‍යන්තර යුදෙව් සංහාර (හෝලෝකෝස්ට්) සමරු දිනය පසුගිය ජනවාරි මස 27 වැනිදාට යෙදී තිබිණි. නට්සින්ගේ කුප්‍රකට අවුෂ්විට්ස් වධ කඳවුරෙහි සිර කර සිටි දහස් සංඛ්‍යාත යුදෙව්වන් සෝවියට් රතු හමුදාව විසින් මුදා ගනු ලැබීමේ සංවත්සරය ජාත්‍යන්තර හෝලෝකෝස්ට් සමරු දිනය ලෙස එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

අවුෂ්විට්ස් සහ බූකන්වල්ඩ් කඳවුරු දෙකෙහිම සිර කරනු ලැබ සිට දිවි ගලවාගත් එලී වීසල් විසින් ලියන ලද ‘රාත්‍රිය නමැති ස්වයංචරිතාපදාන කෘතියෙන් ඉහත පෙළ උපුටා ගැනිණි.

රුමේනියාවේ ඉපිද පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ එලී වීසල් ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති රාශියක් ලියා ඇත. 1986 දී ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබිණි.

එලී වීසල් ප්‍රංශ බසින් ලියන ලද ‘රාත්‍රිය කෘතිය ඉංගිරිසි බසට නගන ලද්දේ ඔහුගේ බිරිය වූ මැරියන් වීසල් විසිනි. මැරියන් වීසල්, ජාත්‍යන්තර හෝලෝකෝස්ට් සමරු දිනය නිමිත්තෙන් 2017 ජනවාරි 27 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වුණු සමරු උත්සවයට සහභාගී වූවාය.

2 comments:

  1. මේ වද කඳවුරු දෙකම ගැන කියෙව්වා.. හරිම කෘරයි... ඒ මිනිස්සු තුළ තිබුණු ඉච්චාඉංගත්වය, ලැබූ අද්දැකීම්වල ස්වභාවය මේ පද පෙලේ අපූරුවට ගැබ්වෙලා...
    මේ කවියටත්, විස්තරයටත් ස්තුති නිලූක...

    ReplyDelete

සෙවුම්