මරතෝණ්ඩි රටා
ඇඳ ඇත මා දෑතෙහි.
කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?
දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතර
මියයමින් සිටිමි මම, මහද හිරි වැටී ඇත.
බලා සිටියෙමි
බෝ කලක් ඔහු එන තුරු.
දිවාකල එළියෙහි දැන් කොහි වේද සතුටක්?
රැයේ රන් මදිරා කුසලාන පවා
යන්නේය අඳුරු වී.
එසේවුව ප්‍රේමයේ
පිළිවෙත මිහිරි වේ තවමත්.
ඉදින් සරසනු හැකිනම් මා පෙම්බරා අබරණින්,
සුවඳ ගල්වා ඔහු තුනු සිරුර,
අබිසෙස් කරනු හැකිනම් මා චුම්බනවලින්.
ඇතුළතින් බිඳී
ඇති මුත් මා,
පෙම, නුඹ නිසාවෙන්,
බලනු මැන විල සිසාරා.
අර පිපෙන්නේ මහදෙහි සියපතයි.
කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?
දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතර
මියයමින් සිටිමි මම, මහද හිරි වැටී ඇත.
දිවාකල එළියෙහි දැන් කොහි වේද සතුටක්?
රැයේ රන් මදිරා කුසලාන පවා
යන්නේය අඳුරු වී.
ඉදින් සරසනු හැකිනම් මා පෙම්බරා අබරණින්,
සුවඳ ගල්වා ඔහු තුනු සිරුර,
අබිසෙස් කරනු හැකිනම් මා චුම්බනවලින්.
පෙම, නුඹ නිසාවෙන්,
බලනු මැන විල සිසාරා.
අර පිපෙන්නේ මහදෙහි සියපතයි.
- හබ්බා ඛාතූන් (1554 – 1609)
(අභය් කේ. සහ
බිල් වොලක් කාශ්මීරි බසින් ඉංගිරිසියට කළ අනුවාදයෙනි.)