2011/06/12

කරදියෙහි ගීතය





පෙණ කැටි සුදු දසන් විදා
සුරලොව බඳු තොල් අතරින්
බොහොම ඈත දුරක ඉඳන්
මුහුද හිනැහුණා

කලබලයට පත් යුවතිය
මොනවද ඔබ විකුණන්නේ
උඩුකය තන කැකුළු වැසූ
සළුවෙන් තොර වී ?

විකුණමි මම, විකුණමි මම
මහ මුහුදෙන් ගත් කරදිය
විකුණමි මම, විකුණමි මම
මහ මුහුදෙන් ගත් කරදිය

කලුවර කලුවන් තරුණය
මොනවද ඔබ ගෙන යන්නේ
ඔබගේ ඔය රක්ත වර්ණ
ලෙයට මුසුවෙලා ?

ගෙන යමි මම, ගෙන යමි මම
මහ මුහුදෙන් ගත් කරදිය
ගෙන යමි මම, ගෙන යමි මම
මහ මුහුදෙන් ගත් කරදිය

ලුණු රස ඇති කඳුළු බිංදු
ඔබ සලනා කඳුළු බිංදු
දෑස තෙමා ගලා එන්නෙ
කොහෙන්ද අම්මේ ?

හඬනෙමි මම, හඬනෙමි මම
මහ මුහුදෙන් එන කරදිය
හඬනෙමි මම, හඬනෙමි මම
මහ මුහුදෙන් එන කරදිය

මේ හදවත, කටුක රසය
උපන්නෙ කොහිදෝ ?
මේ හදවත කටුක රසය
උපන්නෙ කොහිදෝ ?

මහ මුහුදෙන් ගත් කරදිය
ඉතාම කටුකයි
මහ මුහුදෙන් ගත් කරදිය
බොහෝම තිත්තයි

පෙණ කැටි සුදු දසන් විදා
සුරලොව බඳු තොල් අතරින්
බොහොම ඈත දුරක ඉඳන්
මුහුද හිනැහුණා





ෆෙදේරිකෝ ගාර්ෂියා ලෝකා
(1898-1936)



No comments:

Post a Comment

සෙවුම්