2011/07/20

මගේ ගීතය

මා ගයන ගීතයේ මියැසිය
සෙනෙහසේ මුදු දෑතක් පරිද්දෙන්
ආදරෙන් ඔබ වැළඳ ගනු ඇත
ආසිරි පැතුම් පිරි
චුම්බනයක් විලස
ඔබේ නළලත මුව තබනු ඇත

මා ගයන ගීතය
තනිව ඔබ සිටින කල
තනියට ළඟින් හිඳ
දෙසවනට රහසින් දොඩනු ඇත
බොහෝ මිනිසුන් මැද
හුදකලා වන්නට
මගේ ගීතය කියා දෙනු ඇත

ඔබගේ සිහින වෙත
ලබා දී පියාපත්
බොහෝ දුර ඈතට
ඔබ රැගෙන යනු ඇත
ගණ අඳුරු රෑ කල
මග හසර කියා දෙන
අහස්කුස දිදුලන
තරුවක්ම වනු ඇත

මා ගයන ගීතය
ඔබේ දෙනයන මත
සදාකල්හිම රැඳෙනු ඇත
අඳුරු කඩතුරා හැර
ඇති තතු බලන්නට
මගේ ගීතය කියා දෙනු ඇත

අවසන මරණයෙන්
මා නිහඬ වූ කල
මගේ ගීතය
ඔබේ හද තුළ
සදාකල් ජීවනයම
ලබනු ඇත
  
-රබීන්ද්‍රනාථ ඨාකූර්

No comments:

Post a Comment

සෙවුම්