2011/09/26

ස්නයිපර් තුවක්කුකරුවා


දීර්ඝ ජූනි සන්ධ්‍යාව රාත්‍රිය තුළ ගිලී ගියේය. වීදිවලට උඩින් සහ ලිෆේ ගංගාවේ ජලය මතින් උදාවන අරුණාලෝකයට සමාන මන්දාලෝකයක් දුන්, වලාකුළු කැටිති මැදින් දිලුණු ස‍ඳෙහි මළානික එළිය හැරුණු කොට මුළු ඩබ්ලින් නගරයම අඳුරෙහි ගැලී තිබිණි. සටන්කාමීන් විසින් වටකරනු ලැබූ චතුර් අධිකරණ සංකීර්ණය අවට කාලතුවක්කු හඬින් ගිගුම් ‍දුන්නේය. තැන් තැන්වල පිහිටි ගොවිපොළවල සිටින බල්ලන් බුරන්නාක් මෙන් විටින් විට නගරයේ තැන තැන ඇසුණු මැෂින් තුවක්කු සහ රයිෆල හඬින් රාත්‍රියේ නිහඬබව බිඳිණි. ජනරජවාදීහු සහ නිදහස් රාජ්‍යවාදීහු සිවිල් යුද්ධයක පැටලී සිටියෝය.

කොනෙල් පාලම අසළ වූ නිවෙසක වහළය මත ජනරජවාදී ස්නයිපර් තුවක්කුකරුවෙක් සැඟවී බලා සිටියේය. ඔහු ‍පසෙකින් රයිෆලය වූ අතර ඔහුගේ උර මතින් එල්ලුණු දුර බලන කණ්ණාඩියක් විය.  ඔහුගේ මුහුණ ශිෂ්‍යයකුගේ මෙන් සිහින්ද ශාන්තද වූයේය. එහෙත් ඔහුගේ දෙනෙත්වල වූයේ උමතුවූවකුගේ බඳු හැඟීම් විරහිත දීප්තියකි. ඔහුගේ දෑස ගැඹුරුද කල්පනාභරිතද විය. ඒවා මරණය දෙස බලාසිටින්නට පුරුදු මිනිසෙකුගේ දෙනෙත් වූයේය.

හෙතෙම ගිජු ලෙස සැන්ඩ්විචයක් අනුභව කරමින් හුන්නේය. උදෑසන සිට ඔහු කිසිදු අහරක් ගෙන නොතිබිණි. ආහාර ගැනීමට තරම් චිත්ත විවේකයක් ඔහුට තිබුණේ නැත. සැන්ඩ්විචය අනුභව‍ කොට අවසන් කළ ඔහු සිය සාක්කුවෙන් කුඩා විස්කි බෝතලයක් ගෙන එයින් උගුරක් බීවේය. ඉන් අනතුරුව ඔහු බෝතලය යළි සාක්කුවේ දමා ගත්තේය.  දුම්වැටියක් දැල්වීමේ අවදානම ගන්නේදැයි සිතමින් ඔහු මඳකට චින්තාපර විය. එය භයානකය. සතුරන් බලා සිටි අතර දුම්වැටියේ දැවෙන දඹුව ඔවුන්ට පෙනෙනු ඇත.  එහෙත් ඒ අවදානම ගැනීමට හෙතෙම තීරණය කළේය.   

සිය දෙතොල මත දුම්වැටියක් රඳවා ගත් ඔහු ගිනිකූරකින් එය දල්වා වේගයෙන් දුම් උගුරු කිහිපයක් ඇද ගිනිකූර නිවා දැමීය.  එසැණින්ම පාහේ පියාඹා ආ උණ්ඩයක් ඔහු අසළ වූ කුඩා තාප්පයෙහි වැදී නතර විය. තවත් දුම් උගුරක් ඇද්ද ඔහු දුම්වැටිය නිවා දැමීය. පහත් හඬින් ශාප කළ ඔහු වම් පසට බඩගෑවේය.

ප්‍රවේසමින් නැගී සිටි ඔහු වහළෙහි කෙටි තාප්පයට උඩින් එබී බැලීය. එකවරම ක්ෂණික ආලෝක ධාරාවක් නැගුණු අතර උණ්ඩයක් ඔහුගේ හිසට උඩින් පියාඹා ගියේය. ඔහු වහා පහත් විය. ඔහු ආලෝක ධාරාව නැගුණු තැන දුටුවේය. එය පැමිණියේ වීදියේ අනෙක් පැත්තේ සිටය.

වහළෙහි පසුපස කොටසෙහි වූ චිමිනි කණුවක් වෙත බඩගාගෙන ගිය හෙතෙම ඊට මුවා වී කෙටි තාප්පයෙහි මට්ටමට සිය දෑස එසෙවුවේය.  ඔහුට කිසිවෙක් නොපෙනිණි. නිල් අහස පරයා නැගුණු ඉදිරිපස නිවෙසේ අඳුරු ඡායාව පමණක් පෙනෙන්නට තිබිණි. ඔහුගේ සතුරා වෙඩි තබන්නේ සැඟවුණු තැනක සිටය.

එවිටම පාහේ පාලමෙන් එතෙර වූ යුද ටැංකියක් වීදිය දිගේ සෙමෙන් උඩහට ඇදෙන්නට විය. යාර පණහක් පමණ ඈතින් වීදියේ අනෙක් පැත්තේ එය නැවතිණි. යුද ටැංකි ඇන්ජිමෙහි නොපැහැදිලි හති හඬ තුවක්කුකරුවාට ඇසිණි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එය සතුරාට අයත් වාහනයකි. ඔහුට වෙඩි තැබීමට අවශ්‍ය වුවද එය නිෂ්ඵල කාර්යයක් බව හෙතෙම දත්තේය. මේ අළු පැහැති රාක්ෂසයා වසා සිටි වානේ ආවරණය විනිවිද යාමට ඔහුගේ උණ්ඩවලට නුපුළුවන.

ඒ මොහොතෙහි, වීදියේ පටු මගකින් මතු වූ මහලු කාන්තාවක් පැමිණියාය. ඇයගේ හිස වැරහැලි වී ගිය සාලුවකින් ආවරණය වී තිබිණි.  යුද ටැංකිය මුදුනෙහි වූ කුටිය තුළ සිටි මිනිසා සමග ඕ කතා කරන්නට වූවාය. ස්නයිපර් තුවක්කුකරුවා සැඟව සිටි වහළය වෙත ඇය සිය ඇඟිල්ල දිගු කොට පෙන්වූවාය. ඇය ඔත්තු සපයන්නියකි.

යුද ටැංකිය මුදුනෙහි වූ කුටිය විවෘත විය. තුවක්කුකරුවා වෙත හැරුණු මිනිසෙකුගේ හිසක් සහ උරැහිස් එයින් මතු විය. සිය අවිය මෑනූ තුවක්කුකරුවා වෙඩි තැබීය. මතු වූ හිස යුද ටැංකි කුටි බිත්තියෙහි තදින් වැදිණි.  ගැහැනිය වේගයෙන් පටු මග‍ දෙසට දිව ගියාය. තුවක්කුකරුවා යළි වෙඩි තැබීය. කැරකී ගිය ගැහැනිය වේදනාවෙන් කෑ ගසා ගෙන කාණුවට වැටිණි.

එක්වනම වීදියේ ප්‍රතිවිරුද්ධ පැත්තෙහි වූ වහළ මතින් වෙඩි හඬක් නැගුණු අතර ස්නයිපර් තුවක්කුකරුවා අතින් ගිනි අවිය ගිලිහිණ. ඔහු ශාප කරමින් කෑ ගැසුවේය. ගිනි අවිය මහ හඬින් වහළ මත වැටිණි. ඒ ශබ්දයට මළවුන් පවා නැගිටිනු ඇතැයි තුවක්කුකරුවාට සිතිණි. ගිනි අවිය අහුලා ගැනීමට ඔහු නැවුණේය. එහෙත් එය එසවීමට ඔහුට නොහැකි විය. ඔහුගේ අතෙහි ප්‍රාණය නිරුද්ධ වූ සෙයකි. මට වෙඩි වැදිලා යි ඔහු තමාටම මුමුණා ගත්තේය.

වහළ මත දිගාවුණු ඔහු පෙරළා වහළේ කෙටි තාප්පය වෙත බඩ ගාගෙන ගියේය. ඔහු සිය වම් අතින් තුවාල වූ දකුණු අත අල්ලා බැලීය. කබා අත අතරින් රුධිරය වෑස්සෙමින් තිබිණි. ඔහුට වේදනාවක් නොදැණිනි. ඔහුට දැනුණේ හරියට අත කපා දැමුවාක් මෙන් වූ හැඟීමක් පමණි.

සැණෙකින් සාක්කුවෙන් පිහිය ඇදගෙන එය තාප්පයට තබා තද කරමින් විවෘත කළ ඔහු කබායේ අත ඉරා දැම්මේය.  උණ්ඩය ඇතුළු වූ කුඩා සිදුරක් අතෙහි විය. එහෙත් එය පිටවූ ලකුණක් අනෙක් පස නොවීය. උණ්ඩය අතෙහි අස්ථිය තුළ සිරවී තිබිණි. උණ්ඩය වැදී අස්ථිය බිඳී ගොස් තිබෙන්නට පුළුවන. තුවාලයට යටින් ඔහු අත නවා බැලුවේය. එය ඉතා පහසුවෙන් නැවිණි. නැගුණු වේදනාව ඉවසා ගන්නට ඔහු තදින් දත් සපා ගත්තේය.

ප්‍රථ‍මාධාර කට්ටලය ගත් ඔහු එය බහා තිබූ කවරය පිහියෙන් ඉරා දැම්මේය. අයඩීන් බෝතලයේ කට බිඳ එහි වූ තිත්ත දියරය තුවාලයට ‍වැටෙන්නට ඉඩ හළේය. අධික වේදනාවක් ඔහුගේ සිරුර පුරා දිව ගියේය. පුළුන් පිරවුමක් තුවාලය මතින් තබා වෙලුම් පටියෙන් වෙලූ ඔහු දත්වලින් අල්ලාගෙන එහි කෙළවර ගැට ගැසීය.

ඉන් අනතුරුව තාප්පයට හේත්තු වී වැතිරුණු හෙතෙම දෑස පියාගෙන වේදනාව මැඩලන්නට උත්සාහයක යෙදුණේය.

පහතින් වූ වීදිය නිසොල්මන්ව තිබිණි. මැෂින් තුවක්කුකරුවාගේ පණ සුන් හිස මුදුනෙහි වූ කු‍ටියෙන් එළියට එල්ලෙමින්ම යුද ටැංකිය ඉතා වේගයෙන් පාලම හරහා පසුබැස ගොස් තිබිණි. ගැහැනියගේ මළ සිරුර තවමත් කාණුවේ විය.

තුවක්කුකරුවා සිය තුවාල වූ අත පිරිමදිමින් හා පළා යන මගක් සැලසුම් කරමින් බොහෝ වේලාවක් නිසලව වැතිර සිටියේය. තුවාලව සිටින ඔහුට උදෑසන වනතුරු මෙහි සිටීමට නොහැක. ප්‍රතිවිරුද්ධ පැත්තේ වහළය මත සිටින සතුරු තුවක්කුකරුවා ඔහු පළායන මං අවුරා තිබුණේය.  ඔහු මේ සතුරා මරා දැමිය යුතුය. එහෙත් ඔහුට රයිෆලය පාවිච්චි කිරීමට නොහැකිය. එය කිරීමට ඔහු සතුව තිබූ එකම ආයුධය වූයේ රිවෝල්වරයයි. ඒ අනුව ඔහු සැලසුමක් සකස් කළේය.

සිය කැප් තොප්පිය ගැලවූ ඔහු එය රයිෆලයේ මුවෙහි රඳවා වීදියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ සිට බලන විට පෙනෙන පරිදි තාප්පයට උඩින් එසවීය. එසැණින්ම ‍පාහේ ඊට පිළිතුරු ලැබිණි. උණ්ඩයක් පැමිණ කැප් තොප්පියෙහි මධ්‍යය සිදුරු කළේය. කැප් තොප්පිය පහත වූ වීදියට වැටෙන ලෙස ඔහු‍ රයිෆලය මඳක් ඉදිරියට ඇල ක‍ළේය. ඉන් පසුව රයිෆලය මැදින් අල්ලා ගෙන ඔහු සිය වම් අත තාප්පයට උඩින් දමා එය පණ සුන්ව එල්ලා වැටෙන්නට ඉඩ හළේය.  තවත් ටික වේලාවකින් ඔහු රයිෆලයද පහත වීදියට අත හැරියේය. ඉන් පසුව එළියට එල්ලුණු අතත් ඇදගෙනම ඔහු වහළය මත දිගා විය.

වේගයෙන් බඩගාගෙන වහළෙහි කෙළවරට ගිය ඔහු ප්‍රති විරුද්ධ පැත්තේ වූ වහළය දෙස බැලීය. ඔහුගේ උපක්‍රමය සාර්ථක වී තිබිණි. කැප් තොප්පිය සහ රයිෆලය බිම වැටෙනු දුටු සතුරු තුවක්කුකරුවා ඔහු මිය ගියේ යැයි සිතුවේය. චිමිනි පේළියක් අසළ සිටගත් ඔහු දැන් මේ පැත්ත බලා සිටින්නට වූයේ ඔහුගේ හිස බටහිර අහස පරයා ඉතා පැහැදිලිව පෙනෙන්නට සලස්වමිනි.

සිනාවක් පෑ ජනරජවාදී ස්නයිපර් තුවක්කුකරුවා සිය රිවෝල්වරය තාප්පයේ ගැට්ටට උඩින් එසවීය. මෙතැන සිට සතුරා සිටි තැනට දුර යාර පණහක් පමණ වන්නට ඇත. මන්දාලෝකය පමණක් තිබියදී එසේ වෙඩි තැබීම ඉතා අසීරු කටයුත්තකි. ඒ මදිවාට ඔහුගේ දකුණු අතෙන් උග්‍ර වේදනාවක් නැගෙමින් තිබිණි. ඔහු ‍ඉලක්කය ගත්තේය. දැඩි උනන්දුවෙන් ඔහුගේ අත සැලිණි. දෙතොල තදින් වසාගෙන සිය නාස්පුඩුවලින් ගැඹුරු හුස්මක් ගත් හෙතෙම වෙඩි තැබුවේය. කන් බිහිරි කරවන තරම් හඬක් නැගුණු අතර පසුපසට විසිවූ ගිනි අවිය කරණ කොට ගෙන ඔහුගේ අත ගැස්සී ගියේය.

දුමාරය මැකී ගිය පසු තාප්පයෙන් එබී බැලූ ඔහු ප්‍රීතිමත් රාවයක් නැගීය. ඔහුගේ සතුරාට වෙඩි වැදී තිබිණි. මර වේදනාවෙන් ඇලලුණු ඔහු තාප්පය දිගේ රූරා වැටෙමින් සිටියේය. තාප්පයේ පය ගසා ගන්නට දඟලමින් සිටියද ඔහු සිහිනයකදී මෙන් සෙමෙන් පහළට වැටිණි.  ඔහුගේ ග්‍රහණයෙන් ගිලිහුණු රයිෆලය තාප්පයේ වැදී බාබර් සාප්පුවක හරස් කණුවක ගැටී පදික වේදිකාව මතට වැටිණි.

ඉන්පසුව මියයමින් සිටි මිනිසා ගුලි වී ඉදිරියට වැටුණේය. අවකාශයේ කැරකුණු සිරුර අවසානයේ තඩ් යන අනුකරණයෙන් පොළොවට පතිත විය. ඉන් අනතුරුව එය නිසොල්මන්ව බිම වැතිර තිබිණි.

සිය සතුරා ඇද වැටෙනු දුටු ස්නයිපර් තුවක්කුකරුවා වෙව්ලා ගියේය. සටන් වැදීමට ඔහු තුළ වූ ආශාව වියැකී ගියේය. පසුතැවිල්ලෙහි ප්‍රහාරයට ලක්වූ ඔහුගේ නළලත ඩා බිඳු නැගිණි. සිය තුවාලයද කිසිදු ආහාරයක් නොමැතිව වහළක් මත රැඳී සිටින්නට සිදු වූ දීර්ඝ ගිම්හාන දිනයද කරණ කොට ගෙන දුර්වලව සිටි ඔහු සිය මියගිය සතුරාගේ සිඳී බිඳී ගිය සිරුරෙහි දර්ශනයෙන් බලවත් පිළිකුළට පත්විය. ඔහුගේ දත් කට කට ගා ගැහිණි. නොතේරෙන බසකින් තමාටම කතා කර ගත් ඔහු යුද්ධයටද තමන්ටද සියලු දෙනාටමද ශාප කරන්නට විය.

දුම් දමන රිවෝල්වරය දෙස බැලූ ඔහු එය සිය දෙපා අසළ වූ වහළය මතට වීසි කළේ ශපථයක්ද සමගිනි. මහත් හඬක් නගමින් එය පත්තු වූ අතර ඔහුගේ හිස ළඟින්ම උණ්ඩයක් වේගයෙන් පියාඹා ගියේය. ඒ කම්පනයෙන් ඔහු පියවි සිහියට පැමිණියේය. ඔහුගේ ස්නායු නිශ්චල වූ අතර ඔහු වසා සිටි භීතියේ වලාව විසිරී ගියේය. හෙතෙම සිනාවක් නැගීය.

සාක්කුවෙන් කුඩා විස්කි බෝතලය ගත් ඔහු එක උගුරට එය හිස් කොට දැමීය. මධ්‍යාසාරයේ බලපෑමෙන් ඔහුට සැහැල්ලුවක් දැනිණි.  වහළයෙන් බැස ගොස් සිය අණ දෙන නිලධාරියාට වාර්තා කිරීමට ඔහු තීරණය කළේය. මුළු වටාපිටාවම නිසොල්මන් විය. වීදි ඔස්සේ ඇවිදගෙන යෑම එතරම් අවදානම් සහගත නොවනු ඇත. සිය රිවෝල්වරය අහුලා ගත් හෙතෙම එය සාක්කුවේ ලා ගත්තේය. ඉන්පසුව වහළෙන් හිරු එළිය ඒම පිණිස තැනූ ජනේලයෙන් ඔහු පහත පිහිටි නිවෙස තුළට බැස්සේය.

වීදිය ම‍ට්ටමට ළඟා වූ විට තමා විසින් මරා දැමුණු සතුරු තුවක්කුකරුවාගේ අනන්‍යතාව දැන ගැනීමේ හදිසි කුතුහලයක් ඔහු තුළ ජනිත විය.  මරා දමනු ලැබූ තැනැත්තා කවුරුන් වූවද එය ඉතා හොඳ වෙඩි තැබීමක් බව ස්නයිපර් තුවක්කුකරුවා තීරණය කළේය. ඔහු තමා දන්නා කෙනෙකුදැයි ඔහු මඳකට කල්පනා කළේය. ඇතැම්විට යුද හමුදාව දෙකට බෙදෙන්නට ප්‍රථම ඔහුද සිය‍ සේනාංකයේම සේවය කරන්නට ඇත. වීදියේ අනෙක් පසට ගොස් මරා දැමුණු සතුරාගේ මුහුණ බැලීමේ අවදානම ගැනීමට ඔහු තීරණය කළේය.  ඔහු ඔකොනෙල් වීදියට බටුයේය. වීදියෙහි ඈත කෙළවරෙහි තවමත් දැඩි සටන් ඇවිලුණද මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නිසල විය.

ස්නයිපර් තුවක්කුකරුවා වීදිය හරහා වේගයෙන් දිව ගියේය. මැෂින් තුවක්කුවකින් ඔහු වටා තිබූ පොළොවට උණ්ඩ වර්ෂාවක් එල්ල විය. එහෙත් ඉන් ඔහුට හානියක් නොවීය. ඔහු මුහුණ බිමට හොවාගෙන සතුරාගේ මළ සිරුර අසළ බිම වැතිරුණේය. මැෂින් තුවක්කුවෙන් වෙඩි තැබීම නතර විය.

ස්නයිපර් තුවක්කුකරුවා මළ සිරුර පෙරළා බැලුවේය. සිය සොහොයුරාගේ මුහුණ තමා දෙස බලා සිටින සැටි ඔහුට පෙනිණි. 











- ලියාම් ඔෆ්ලැහර්ටි (1896-1984) 

2011/09/23

ධවලවන් කොක් රංචු



නිබය රණවිරුවන්
මියගිය කල සටන් වැද
නොවැළලී මහ පොළොව
ධවලවන් පියාපත්
ඇති සුදු කොකුන් ලෙස
යළි උපදින බවක්
ඇතැම්විට සිතේ මට

එදා සිට අද තෙක්
පියාඹති උන් හඬමින් අහස්කුස
එනිසා නොවේදෝ නිහඬව
හිස නගා බලන්නේ අප
උන් පියාඹන‍‍ සැටි ගුවන 

බෝ ඈත රටවල
හැන්දෑව මිය යන කල
වේගයෙන් පියාඹති කොක් රංචු
අසු පිටෙහි යන කල මෙන

පියාඹා ගොස් දුර ඈත
හඬ නගති උන් කාගේ හෝ නමක්
එනිසා නොවේදෝ
දොඩන විට ආවාර් බස*
හැ‍‍ඟෙන්නේ එය කොක් නදක් යැයි

නෑසියන් මිතුරන් විලස
සරති උහු නිලඹර
පෙනෙයි මට ඒ අතර අඩුවක්
සිතෙයි ඒ අඩුව මාදැයි

දිනෙක මම උන් හා එක්වමි
පියාඹමි උන් සමග අහසේ
පොළොව මත සිටින ඔබ හට
ඇසෙනු ඇත හඬ මාගේ


*ආවාර් බස දගෙස්තානයේ බසයි. රසූල් ගම්සාතොව්ගේ මවු බසයි.












-රසූල් ගම්සාතොව් (1923-2003)

පීටර් ටෙම්පස්ට්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.

2011/09/19

අම්මා කෙනෙකුගේ වෛරය


පාඔලෝ සවේරිනිගේ වැන්දඹුව සිය පුතණුවන් සමග බොනිෆාචියෝ නගරයේ පවුර අද්දර ඉදිකළ කුඩා දුගී නිවෙසක ජීවත් වූවාය. කඳුවැටියෙහි කෙළවරක් මුහුද දෙසට නෙරා ගොස් නිර්මාණය වූ බිමක ගොඩනගා තිබූ බොනිෆාචියෝ නගරය ඇතැම් ස්ථානයක සත්‍ය වශයෙන්ම මුහුදට උඩින් එල්ලී තිබුණේය. නගරය පිහිටා තිබූ තැන සිට බලන විට ගල්පරවලින් ගහණ ඕඩයකට ඔබ්බෙන් සර්දීනියාවේ පහත් වෙරළ තීරය පෙනිණි. මුහුද පිහිටි දිශාවට විරුද්ධ පැත්තෙන් නගරය පාමුල වූයේ වරාය ලෙස භාවිතා කෙරුණු තවත් ඕඩයකි. එය නගරය සම්පූර්ණයෙන්ම පාහේ වට කොට සිටි අතර දැවැන්ත කොරිඩෝරයක් පරිද්දෙන් කඳු ප්‍රපාතය දෙකට කපා දමා තිබිණි. ශීඝ්‍ර බෑවුම් සහිත ඕඩය ඔස්සේ දීර්ඝ ගමනක යෙදීමෙන් අනතුරුව කුඩා ඉතාලි හෝ සර්දීනියානු මාළු ඔරුවලටත් සෑම සති දෙකකටම වරක් අජාච්චෝ නගරයේ සිට පැමිණ නැවත ගිය පැරණි දුම් බෝට්ටුවටත් නගර පාදමෙහි පිහිටි නිවෙස් අසළටම යාත්‍රා කිරීමේ හැකියාව තිබිණි.   

සුදු පැහැති කන්ද මත ඉදිවුණු නිවෙස් සමූහය වඩාලාත් සුදු පැහැයෙන් යුත් පැල්ලමක් කන්දෙහි නිර්මාණය කළේය. කලාතුරකින්වත්  නැවක් යාත්‍රා කරවීමේ අවදානම ගැනීමට නාවිකයන් නොපෙළඹෙවූ ඒ භයංකර දියපහර මත සිය ආධිපත්‍යය පතුරවමින් ගල් පර්වතය මත ඉදිව තිබූ නිවාස සමූහය වනයෙහි වසන සියොතුන්ගේ කූඩු මෙන් පෙනිණි. නිරන්ත‍රයෙන් හැමූ සුළඟ මුහුද පීඩාවට පත්කොට තුනී තණ ආවරණයකින් වැසී තිබූ නිසරු වෙරළ තීරය ඛාදනයට ලක් කළේය. කඳු අතර වූ පටු ගැඹුරු දෙණියට කඩා වැදුණු සුළඟ එහි දෙපස වනසා දැමීය.  රළ පෙළ පරයා සෑම තැනකම නැගී සිටි නොගිණිය හැකි තරම් වූ ගල්පරවල කලු පැහැති මුදුන් වටා විසිරුණු පෙණ පිඬු , ජලය මතුපිට පාවෙමින් උඩ පහත යන කැන්වස් රෙදි කැබලි මෙන් පෙනිණි.

‍සවේරිනි වැන්දඹුවගේ නිවෙස ගල් පර්වතයේ කෙළවරේම පිහිටා තිබිණි. නිවෙසේ වූ ජනේල තුන අතරින් පෙනුණේ පෙරකී වියරු හුදෙකලා දර්ශනයයි. ඇය සිය පුතණුවන් වූ අන්තොන්ද බැටළුවන් බලා ගන්නා වර්ගයට අයත් වූ  දිගු අවුල්ව ගිය ලෝම සහිත විශාල සිහින් බැල්ලක වන සෙමියන්ත්ද සමග එහි ජීවත් වූවාය.  තරුණ අන්තොන් දඩයමේ යන විට බැල්ල රැගෙන ගියේය.

එක් සන්ධ්‍යාවකදී, දබරයකින් අනතුරුව, නිකොලා රවොලාති විසින් අන්තොන් සවේරිනිට  පිහියෙන් ඇන ඉතා නින්දිත ලෙස මරා දමනු ලැබිණි.  එදා රාත්‍රියේම නිකොලා  රවොලාති සර්දීනියාවට පළා ගියේය.

අවට බලා සිටියවුන් විසින් අන්තොන්ගේ මළ සිරුර ඔහුගේ මව වෙත රැගෙන එනු ලැබූ විට ඇය නොවැලපුණාය. එහෙත් දීර්ඝ වේලාවක් ඒ දෙස නිසොල්මන්ව බලා සිටියාය.  ඉන් අනතුරුව සිය රැළි ගැසුණු දෑත මළ සිරුර මතින් දිගහැර ඔහුගේ මරණයේ පළිය ගන්නා බවට දිවුරුවාය. කිසිවෙකුට තමා සමග ඉන්නට ඉඩ නොදී දොර වසාගත් ඕ  මළ සිරුරද උඩු බුරලන බැල්ලද  සමග ගෙතුළ තනි වූවාය.  ඇඳ පාමුල සිට සිය ස්වාමියා දෙස නෙත් අයාගෙන දෙපා අතර වල්ගය තදින් රුවාගත් බැල්ල නොනැවතී උඩු බුරුලෑවාය. බැල්ල එතැනින් සෙලවුණේවත් නැත. මළ සිරුරට උඩින් නැවී ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් නිහඬවම මහා කඳුළු ගංගාවක් හෙලූ මවද එතැනින් නොසෙල්වුණාය.

ඉදිරිපසින් හරහට ඉරුණු සිදුරකින් යුත් ඝනැති ලොම් කබායක් හැඳ උඩුබැලි අතට වැතිරී සිටි තරුණයා පෙනුණේ හරියට නිදන්නාක් මෙනි. එහෙත් ඔහු‍ගේ සිරුරේ හැම තැනම රුධිරය තැවරී තිබිණි. තුවාලය ඔතන්නට කැබැල්ලක් ඉරා ගනු ලැබූ කමිසය, යටි කබාය, කලිසම, මුහුණ, අතපය මේ සෑම තැනකම රුධිරය තැවරී තිබිණි. ඔහුගේ රැවුලේද හිස කෙස්වලද මිදුණු රුධිර කැටිති විය.

මහලු මව ඔහුට කතා කරන්නට පටන් ගත්තාය. ඇගේ කටහඬ ඇසූ බැල්ල නිහඬ විය.

අනේ මගේ අසරණ පුංචි පු‍තේ මේකෙ පළිය මං ගන්නවා. නිදාගනිං පුතේ නිදා ගනිං මං මේකේ පළිය ගන්නවා. ඇහුණද මගේ පුතේ ? මං දිවුරනවා. පු‍තේ උඹ මගේ හැටි දන්නවා නේද ? මං කිවුවොත් දෙයක් ඒ දේ කරනවා.

සෙමෙන් ඔහුට උඩින් නැවුණු ඇය ඔහුගේ මියගිය දෙතොල මත සිය ශීතල දෙතොල තැබුවාය.

ඉන් අනතුරුව සෙමියන්ත් නැවතත් උඩු බුරලන්නට විය.  ඇය දිගු, ඒකතානමය, හදවත පාරන සුළු, බිය ජනක හඬවල් නැගුවාය.

අන්තොන් සවේරිනිගේ මළ සිරුර පසුදා මිහිදන් කරන ලදී. වැඩිකල් යාමට මත්තෙන් බොනිෆාචියෝ නග‍රයේ ඔහු ගැන කෙරෙන කතාබහ නතර විය.

අන්තොන්ට සහෝදරයකුවත් සමීප ඥාති සහෝදරයකුවත් නොසිටි බැවින් ඔහුගේ ලේවල පළිය ගැනීමට පිරිමියෙක් නොසිටියේය. මහලු කාන්තාවක වූ ඔහුගේ මව පමණක් ඒ ගැන තදින් කල්පනා කළාය.

ඕඩයෙහි අනෙක් ඉවුරෙහි වෙරළ මත වූ සුදු පැහැ තිතක් දෙස ඇය උදේ සිට රෑවන තුරු බලා සිටියාය.  එය ලොන්ගොසාර්දෝ නම් කුඩා සර්දීනියානු ගම්මානයක් වූ අතර නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට පළා යන මං පහරන්නන්ට එහි පිළිසරණ ලැබිණි.  මේ කුඩා ගම්මානයේ සම්පූර්ණ ජනගහණය සමන්විත වූයේ මෙසේ නීතියෙන් ගැලවීමට කෝර්සිකාවේ සිට සර්දීනියාවට පළා ගිය මං පහරන්නන්ගෙනි. ඔවුහු මෙසේ සිය මවුබිමෙහි වෙරළට මුහුණ ලා ජීවත් වූ අතර පෙරළා මවුබිමට පැමිණීමට; කෝර්සිකා‍වේ වනාන්තරවලට පැමිණීමට සුදුසු වේලාවක් එනතුරු කල්යල් බලමින් හුන්හ.  නිකොලා රවොලාති ද සරණ ලබා ඇත්තේ මේ කුඩා ගම්මානයේම බව ඕ දත්තාය.

මුළු දවස පුරාම හුදෙකලාව ජනේලය අසළ වාඩිවී ගම්මානය දෙස බලමින් ඇය පළිගැනීම ගැන කල්පනා කළාය.  මරණයට මෙතරම් ළං වූ දුර්වල තමා මේ කාර්යය තවෙකෙකුගේ සහයක් නොමැතිව තනිවම කරන්නේ කෙසේද? එහෙත් පුතුගේ මළ සිරුර මත දිවුරා පළිගැනීමට ඇය ශපථ කොට තිබිණි. ඇයට එය අමතක කළ නොහැක. තවදුරටත් බලා සිටීමටද නොහැක. ඇය කරන්නේ කුමක්ද? රාත්‍රී කාලයේදී ඇයට නිදා ගැනීමට නොහැකි විය. නින්දවත් සිතෙහි සන්සුන්බවවත් ඇයට නැතිව ගියේය. ඕ මුරණ්ඩු ලෙස පළිගැනීමේ මගක් සෙව්වාය. බැල්ල ඇය‍‍ පා ළඟ වැටී නිදා වැටුණු අතර ඇතැම් විට හිස නගා බලා හිස් අවකාශයට උඩු බිරුවාය. දැන් සිය ස්වාමියා මියගොස් සිටි බැවින් බැල්ල බොහෝවිට මේ ආකාරයට උඩු බිරූ අතර ඇය එසේ කළේ ඔහු අමතන්නාක් බඳුව මෙන්ම සැනසිය නොහැකි සිය තිරිසන් ආත්මය තුළ ඔහු පිළිබඳ මැකී නොයන මතකයක් රැඳී ඇතිවාක් ද මෙනි.

එක් රාත්‍රියක සෙමියන්ත් උඩු බුරලන්නට පටන් ගත් විට  පළිගැනීමේ කැමති ‍රෞද්‍ර වනචාරියකුගේ සිතක ස්වභාවිකවම පහළ විය හැකි සිතිවිල්ලක් මවගේ සිතෙහි හට ගත්තේය. උදෑසන වන තුරු ඒ ගැන හොඳින් සිතා බැලූ ඇය අලුයමින්ම නැගිට පල්ලිය වෙත ගියාය. ගල් පොළොව මත දණගසා ගෙන යාඥා කළ ඇය සිය පුතණුවන්ගේ ලේවල පළිය ගැනීමට සිය දුර්වල සිරුරට ශක්තිය දෙන ලෙසද සිය කාර්යයේ දී තමාට දිරිය සහ සහය දෙන ලෙසද දෙවියන් ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා සිටියාය.  

ඉන් අනතුරුව ඇය නිවෙස කරා පෙරළා පැමිණියාය. බ‍ඳෙහි තැන් තැන්වලින් ඇතුළට එබී ගිය පැරණි පීප්පයක් මිදුලේ තිබිණි. එය වැසි ජලයෙන් පිරී තිබුණේය. පීප්පය හිස් කළ ඇය එය පොළොවෙහි ‍පෙරළා ලී කූඤ්ඤවලින් සහ ගල්වලින් එය බිමට තද කළාය. මෙසේ තනාගත් බලු කූඩුවෙහි සෙමියන්ත් දම්වැලකින් බැඳ දැමූ ඇය නිවෙස තුළට ගියාය.

ඉන් අනතුරුව ඇය සිය කාමරය තුළ නොනැවතී සක්මන් කළාය. ඇයගේ ‍දෑස සර්දීනියාවේ වෙරළ තීරය වෙත තවමත් එල්ල වී තිබිණි. මිනීමරුවා ජීවත් වූයේ එහිය.

මුළු දවස පුරාමත් රාත්‍රිය මුළුල්ලේත්  බැල්ල උඩු බිරුවාය. උදෑසන මහලු කාන්තාව භාජනයක දැමූ ජලය ස්වල්පයක් ඌට දුන්නද කෑමට කිසිවක් නොදුන්නාය.

තවත් දවසක් ගතවිය. අධික ලෙස වෙහෙසට පත් සෙමියන්ත් නිදාගෙන හුන්නාය. ඊළඟ දවසේ බැල්ලගේ දෑස දිලිසෙන්නට විය. කෙලින් වූ ලෝම සහිතව ඇය වියරුවෙන් මෙන් දම්වැල ඇද කඩන්නට තැත් කළාය. 

එහෙත් මැහැල්ල ඌට කෑමට කිසිවක් නුදුන්නාය. කුසගින්නෙන් උමතු වූ බැල්ල බැරෑඬි හඬින් බුරන්නට වූවාය. තවත් රැයක් ගතවිය.

දවස උදා වූ කල සිය අසල්වැසියාගේ නිවෙසට ගිය සවේරිනි වැන්දඹුව පිදුරු මිටි දෙකක් ඉල්ලා ගත්තාය. සිය මිය ගිය සැමියාගේ ඇඳුම් කිහිපයක් ගත් ඇය ඒවාට පිදුරු පුරවමින් මිනිස් රුවකට සමාන පඹයකු සෑදුවාය.

සෙමියන්ත්ගේ කූඩුව ඉදිරිපිට කණුවක් සිටවූ ඇය පඹයා ඊට තබා ගැට ගැසුවාය. දැන් එය සිටගෙන සිටින සෙයක් පෙනිණි. පැරණි ඇඳ රෙද්දක් ගුලි කොට ඇය ඊට හිසක්ද සවි කළාය.

කෙතරම් කුසගින්නෙන් සිටියද විමතියට පත් බැල්ල මේ පිදුරු මිනිසා දෙස නිහඬව බලා සිටියාය.

ඉන් අනතුරුව මස් කඩයට ගිය ඇය ඌරු ලේවලින් තැනූ කලු පැහැති දිග සොසේජස් කැබැල්ලක් මිලට ගත්තාය.  නිවෙසට පැමිණි ඇය මිදුලෙහි බලු කූඩුව ආසන්නයේ ගිනි ගොඩක් ගසා කලු සොසේජස් කැබැල්ල පුළුස්සන්නට වූවාය.  වියරු වැටුණු සෙමියන්ත් ඔබ මොබ පනිමින් මුවෙහි පෙණ නංවාගෙන දැඟලුවාය.  ඇයගේ බැල්ම මස් කැබැල්ල වෙත යොමු වී තිබුණු අතර පිළිස්සෙන මසෙහි සුවඳ ඇයගේ කුසෙහි පත්ළටම කා වැදුණේය.

දුම් දමන ‍සොසේජස් කැබැල්ල ගත් මැහැල්ල එය පිදුරු මිනිසාගේ ගෙල වටා පැළඳුවේය. එය සකස් කරමින් ඇය බොහෝ වේලාවක් ගත කළේ මස් කැබැල්ල ඉතා ‍හොඳින් පිදුරුවලට තබා තදකොට බඳිනු පිණිසය.  කාර්ය අවසන් කළ ඇය බැල්ල ලිහා දැමුවාය.

පඹයාගේ ගෙල වෙත වේගවත් පිම්මක් පිනූ බැල්ල සිය ඉදිරි ගාත් පිදුරු මිනිසාගේ උරහිස් මත තබාගෙන මස් කැබැල්ල සපන්නට විය. කැඩුණු මස් කෑල්ලක් මුවෙහි තිබියදී බැල්ල පසුපසට වැටුණාය. ඇය නැගිට යළිත් පිදුරු මිනිසාගේ උගුරු දණ්ඩ වෙත පැන්නාය. මස් කෑල්ල ගැට ගසා තිබූ නූල් කටින් කඩා දැමූ ඇය තවත් මස් කැබැල්ලක් ඉරා ගත්තාය. ඇය යළිත් වැටිණි. වියරුවෙන් මෙන් බැල්ල යළිත් මස් කෑල්ල වෙත කඩා පැන්නාය.

සිය විශාල මුවෙන් සපමින් ඇය පඹයාගේ මුහුණත් ගෙලත් කීතු කීතුවලට ඉරා දැම්මාය.

දිලිසෙන දෑසින් යුත් මැහැල්ල නිසොල්මන්ව නිහඬව ඒ දෙස බලාගෙන සිටියාය. ඉන් පසුව ඕ නැවතත් බැල්ල දම්වැලෙන් ගැට ගසා දෙදිනක් කුසගින්නේ තබා මේ අමුතු රංගනය නැවතත් රඟ දැක්වූවාය.

මාස තුනක් තිස්සේ ඇය බැල්ල මේ තියුණු දත්වලින් ඉරාගෙන ආහාර ගැනීමේ කාර්යයට පුහුණු කළාය. මැහැල්ල තවදුරටත් ඇය දම්වැලෙන් බැඳ දැමුවේ නැත. එහෙත් සංඥාවක් කළ පමණින් පඹයා වෙත කඩා පැනීම බැල්ලට පුරුදු කෙරිණි.

පඹයාගේ ගෙලෙහි ආහාර සඟවා නොතිබියේදීත් ඒ වෙත කඩා පැන ඉරා කන්නට මැහැල්ල ඇයට පුරුදු කළාය. බැල්ල හොඳින් සිය කාර්ය කළ විට මැහැල්ල ඌට පිසින ලද කලු ‍සොසේජස්වලින් සංග්‍රහ කළාය.

පිදුරු මිනිසා දුටු විගස සෙමියන්ත් වෙවුලන්නට පටන් ගන්නා අතර සිය ස්වාමි දියණිය දෙස බලන්නට පටන් ගන්නීය.  එවිට මැහැල්ල ඇඟිල්ලක් ඔසවා සිවුරුහන් හඬකින් අල්ලපන් කියන්නීය. බැල්ල ඊට ප්‍රතිචාර දක්වයි.

නියම කාලය එළඹ ඇතැයි ඇයට වැටහුණු විට පවු ක්ෂමා කරගැනීමට ගිය සවේරිනි වැන්දඹුව එක් ඉරිදා උදෑසනක ප්‍රහර්ෂිත උනන්දුවකින් යුතුව සත්ප්‍රසාදය ලැබුවාය. ඉන් අනතුරුව මහලු හිඟන්නෙකුගේ බඳු පිරිමි ඇඳුම්වලින් සැරසුණු ඇය සර්දීනියානු ධීවරයකුට ඇවිටිලි කොට තමාවත් බැල්ලවත් ඕඩයේ අනෙක් ඉවුරට එතෙර කරවා ගත්තාය.

ඇය ගෙන ගිය කැන්වස් මල්ල තුළ විශාල කලු සොසේජස් කැබැල්ලක් විය. සෙමියන්ත්ට දින දෙකකින් ආහාර දී නොතිබිණි. ඇය සෑම මොහොතක් පාසාම මස් කැබැල්ල තිබූ මල්ල ඉව කරන්නට බැල්ලට දුන් අතර ඇ‍යගේ කුසගින්න එයින් දියුණු තියුණු විය.

ඔවුහු ලොන්ගොසාර්දෝ වෙත පැමිණියහ. කෝර්සිකානු ගැහැනිය යාන්තමින් නොන්ඩි ගසමින් සිටියාය.  අසළ බේකරියට ගිය ඇය නිකොලා රවොලාතිගේ නිවෙස තිබෙන ස්ථානය ගැන විමසා සිටියාය. වැද්දුම් ශිල්පියෙකු වු රවොලාති සිය පැරණි රැකියාව යළි ආරම්භ කොට තිබූ අතර  සිය සාප්පුවේ පිටුපස තනිවම වැඩ කරමින් සිටියේය.

දොර තල්ලු කොට විවෘත කළ මැහැල්ල ඔහුට කතා කළාය.

ඒයි ! නිකොලා !

ඔහු හැරී බැලුවේය. එවිටම බැල්ලගේ දම්වැල අත් හළ ඇය කෑ ගෑවාය.

අල්ලපන්, අල්ලපන්, හපපං ඕකව ! හපපං ඕකව !

දෑත ඉදිරියට දිගු කළ මිනිසා බැල්ල බදා ගෙන බිම පෙරලුණේය.  මිනිත්තු කිහිපයක් ඔහු සිය දෙපා බිම ගසමින් දඟලන්නට විය.  ඉන් පසුව සෙමියන්ත් ඔහුගේ උගුරු දණ්ඩ සපා එය කීතු කීතුවලට ඉරා දමන විට බිම හොත් ඔහුගේ සිරුර නොසෙල්වී තිබිණි.

සිය ස්වාමියා විසින් දෙන ලද දුඹුරු පැහැ යමක් අනුභව කරමින් යන සිහින් කලු බල්ලෙකු සමග දුගී මහල්ලෙකු දොරෙන් එළියට ආ බවක් තමාට යාන්තමින් මතකයැයි සිය දොරකඩවල් අසළ  වාඩි වී සිටි අසල්වැසියෝ දෙදෙනෙක් පසුව පැවසූහ.

එදින සවස මැහැල්ල පෙරළා සිය නිවෙසට පැමිණියාය. එදා රාත්‍රියේ ඇයට ඉතා හොඳින් නින්ද ගියේය.


 










- ගී ද මෝපසාං  (1850-1893)

2011/09/15

අග්නි













සීත සුළඟක් හැමී
රාත්‍රිය පිසගෙන

දල්වා තැබූයෙමු

ගිනි මැලය

රෑ කල පුරාවට



එකතු කළෙමි මම

අතීතයේ දරකෝටු

එකතු කළෙහිය ඔබ

ගෙවුණු කාලයේ තුරුපත්

එළියට ගතිමි මම

බොඳවුණු මගේ කවි

ඔබ අතට ගත්තෙහිය

මැලැවුණු හසුන්පත්



මා අත්ල මත වූ

ගෙවී ගිය රේඛා

පිසදමා හැරිමි මම

ඔබේ නෙත්වල වූ

වියලුණු කඳුළු කැට

පිස හැරියෙහිය ඔබ

අප අතරත තිබූ

සියල්ලම පාහේ

පුද කළෙමු අපි

ගිනි දෙවියන් වෙතට



අප සිරුරෙන් නැගුණු

අග්නි ජාලාවලට

රෑ කල පුරාවට

සුළං මුසු කළේ අප

රාත්‍රිය ගෙවෙන තුරු

ගිනිමැලය රැකීමට



ගිනි මැලය අසළ හිඳ

නිශා කල ගෙවෙන තුරු

වියැකුණු සබඳකම්

උණුසුම් කරන්නට

වෑයම් කළේ අප



-ගුල්සාර් (1936-)

2011/09/12

මකුළු හුය




1
එක් දිනක් තථාගතයන් වහන්සේ දෙව්ලොවෙහි පද්ම තඩාගය ඉවුරෙහි සක්මන් කරමින් හුන්හ.
තඩාගයෙහි වූ පද්මයෝ මුතු මෙන් ධවල වර්ණ වූහ. පද්මයන්ගේ මධ්‍යයෙහි වූ රන්වන් ජායාංග සහ පුමාංගවලින් නැගුණු මැකී නොයන සුගන්ධයකින් වාතලය නොනැවතී පිරී ගියේය.

එය දෙව්ලොවෙහි උදෑසන විය.

තථාගතයන් වහන්සේ දැන් පද්ම තඩාගය අද්දර නැවතී නිසලව වැඩ හුන්හ. දියතලය වසා සිටි පද්ම පත්‍ර අතර වූ හිඩැසකින් හදිසියේ ඊට පහතින් වූ දර්ශනය උන්වහන්සේගේ නෙත ගැටිණි.
දෙව්ලොවෙහි පද්ම තඩාගයට හරියටම පහතින් නිරය පිහිටා තිබූ බැවින් සදාකාලික අන්ධකාරයට ගලා යන රාග,ද්වේශ,මෝහ ගංගාවද ඉදිකටු පව්වෙහි තියුණු මුදුනද පළිඟුමය ජලය මැදින් පැහැදිලිව පෙනිණි.

ඉන් අනතුරුව උන්වහන්සේගේ බැල්ම සෙසු පවුකාරයන් සමග නිරයෙහි පැසෙන කන්දත නම් මිනිසා කෙරෙහි යොමු විය.

මේ කන්දත වනාහි දරුණු සොරෙකි. මිනී මැරීම්, ගෙවල් ගිනි ලෑම් වැනි අපරාධවල යෙදුණු නරුමයෙකි. එහෙත් හෙතෙම එකම එක පුණ්‍ය කර්මයක් කොට තිබිණි. වරක් ඝන කැලෑවක් මැදින් ගමනක් යන අතරතුර මග අයිනෙහි බඩගාමින් ඇදෙන කුඩා මකුළුවකු ඔහු දුටුවේය.

මකුළුවා පාගා මරා දැමීමට සැණෙකින් පය එසවූ කන්දතට ක්ෂණික සිතිවිල්ලක් පහළ විය: " මේ මකුළුවා කෙතරම් කුඩා වූවද ඌටද ඇත්තේ ප්‍රාණයකි. අවිචාරවත් ලෙස ඌ මරා දැමීම ලැජ්ජාවට කරුණකි. " ඔහු මකුළුවා නොමරා අත් හළේය.

නිරය දෙස නෙත් හෙලත්ම කන්දත මකුළුවාගේ දිවි බේරූ සැටි තථාගතයන් වහන්සේට සිහිපත් විය. ඒ යහපත් ක්‍රියාව හේතුවක් කොට ගෙන හැකියාවක් ඇතොත් කන්දත නිරයෙන් මුදවීමට තමන් වහන්සේ කැමති බව උන්වහන්සේට  සිතිණි. වාසනාවකට මෙන්, වට පිට බලන විට පද්ම පත්‍ර අතර අත්‍යාලංකාර රජතමය හුයක් වියන දෙව්ලොව මකුළුවකු උන්වහන්සේගේ නෙත ගැටිණි.

තථාගතයන්වහන්සේ රජතමය මකුළු හුය සෙමෙන් සියතට ගත්හ. මුතු මෙන් ධවල වර්ණ පද්මයන් මැද වූ හිඩැසෙන් උන්වහන්සේ රජතමය මකුළු හුය පහත වූ නිරයෙහි පත්ළ වෙත
බැස්සවූහ.

2

නිරයෙහි වූ රුධිර විලක කන්දත සෙසු පවුකාරයන් සමග ගිලෙමින් සිටියේය.

හාත්පස වසා සිටියේ ඝන අන්ධකාරයකි. ඉඳහිට අඳුර මැදින් දිලිසෙන යමක් නැගී එන බවක් පෙනුණද ඒ ඝෝර ඉදිකටු පව්වෙහි මුදුනෙන් නැගුණු කුඩා ආලෝකය පමණක්ම විය. හාත්පස රජ ‍කළේ මිනී වළක ඇති නිහඬතාවයි. ඉඳහිට නැගුණු එකම හඬ වූයේ පවුකාරයන් නැගූ දුබල සුසුම්වල හඬ පමණි. මෙතැන දුක් විඳින පවුකාරයන් නිරයෙහි වෙනත් තැන්වල වූ නිමක් නැති වධ හිංසාවලට භාජනය වී සිට මෙතැනට ආ බැවින් හඬ නගා හැඬීමේ ශක්තියද ඔවුන් කෙරෙන් පළා ගොස් තිබීම එයට හේතුවයි.

ඉදින් කන්දත කෙතරම් දරුණු සොරකු වූවද මරණාසන්න මණ්ඩුකයකු මෙන් ඒ රුධිර විලෙහි ගිලෙමින් දඟලනවා හැරෙන්නට ඔහුට කරන්නට වෙන යමක් ඉතිරිව නොතිබිණි.

එහෙත් ඔහුගේ වේලාව පැමිණියේය. එදා අහම්බයෙන් මෙන් සිය හිස නගා රුධිර විලට ඉහළින් වූ අහස දෙස බලන ඔහුට, ඉහළ දෙව්ලොවෙන් පැන නැගී මිනිසාගේ නෙත් පහරට බියෙන් මෙන් දැඩි අඳුර තුළ යාන්තමින් දිලිසෙමින් තමන් සිටි තැනට පහත් වන රජතමය මකුළු හුයක් පෙනිණි.

මෙය දුටු විට සතුටෙන් ඔහුට අත්පුඩි ගැසිණි. මේ හුයෙහි එල්ලී එය ඇරඹෙන තැනට ගි‍යහොත් තමාට නිසැකයෙන්ම නිරයෙන් ගැලවී යා හැකිය. ඇතැම්විට, සියලු දේ යහපත් ආකාරයකින් සිදු වුවහොත් තමාට දෙව්ලොවට වුව ප්‍රවේශ වීමට හැකිවනු ඇත. එසේ වුවහොත් යළි කිසි දිනෙක ඉදිකටු පව්වෙහි බඩගාන්නට හෝ රුධිර විලෙහි ගිලෙන්නට ඔහුට සිදු නොවනු ඇත.

මේ සිතිවිලි ඔහුගේ මනසට ඇතුළු වූ වහාම කන්දත මකුළු හුය දෑතින්ම තදින් අල්ලාගෙන සිය මුළු වැර යොදා ඒ දිගේ උඩට නගින්නට විය. ඔහු දක්ෂ සොරකු වූ බැවින් මෙවැනි කටයුතු ඔහුට හොඳින් හුරු පුරුදු විය.

එහෙත් දෙව්ලොව නිරයෙහි සිට කෙතරම් දුරකින් පිහිටා ඇත්දැයි කිසිවෙක් නොදනිති. එබැවින් කෙතරම් වැර යෙදුවද ඔහුට පහසුවෙන් නිරයෙන් පිට වීමට නොහැකි විය. ටික වේලාවක් හුය දිගේ උඩට නැගීමෙන් ඔහු වෙහෙසට පත් විය. තවත් නම් අඟලක් වත් ඉහළට නැගීමට නුපුළුවන.

කිරීමට වෙනත් දෙයක් නොවූයෙන් නතර වී විවේක ගැනීමට සිතූ හෙතෙම  හුයෙහි එල්ලී ගෙනම පහත බැලුවේය. පුදුමයකට මෙන්, ඔහු සිය මුළු ශක්තියම යොදා උඩට නැගි බැවින් රුධිර විල ඉතා පහත අඳුරෙහි සැඟව ගොස් තිබිණි. ඝෝර ඉදිකටු පව්ව ඔහුට පහළින් යාන්තමින් දිලිසිණ. මේ වේගයෙන්ම උඩට නැං‍ගහොත් තමා සිතනවාටත් වඩා ඉක්මනින් නිරයෙන් මිදී යෑමට පුළුවන් වනු ඇත.

සිය දෑත මකුළු හුයෙහි පටලවා ගෙනම මහ හඬින් සිනා සුණු කන්දත නිරයට පැමිණ ගතවූ බොහෝ අවුරුදු ගණන ඇතුළත පාවිච්චියට නොගත් හඬකින් උදම් අනන්නට විය : "මගේ කාර්යය සාර්ථකයි ! සාර්ථකයි !"

එහෙත් තමා පසුපසින්, හුයෙහි එල්ලුණු අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ පවුකාරයන් කුහුඹු රැලක් මෙන් දැඩි උනන්දුවකින් යුතුව උඩට නගින බව හදිසියේම ඔහු දුටුවේය.

මේ දර්ශනය දුටු විට සිය සුවිසල් මුව විස්මයෙන් සහ භීතියෙන් මුග්ධ ලෙස විවෘත කර ගත් කන්දත මොහොතක් ඇසිපිය සැලුවේය.

තමාගේ බරෙන් පමණක් වුවත් කැඩී යා හැකි යැයි පෙනෙන මේ සිහින් මකුළු හුය මේ සියලු මිනිසුන්ගේ බර දරන්නේ කෙසේද ?

හුය මැදින් කැඩී ගියහොත් මෙතරම් උඩකට නැග සිටින තමාට පවා පෙරළා නිරයට වැටීමට සිදුවනු ඇත.

එහෙත් මේ අතර සිය දහස් ගණනක් වූ පවුකාරයෝ අඳුරු රුධිර විලෙන් ඇඹරෙමින් එළියට අවුත් සිහින් දිලිසෙන හුය දිගේ සිය මුළු වැර යොදා උඩට නගිමින් සිටියෝය. තමා ඉක්මනින් යමක් නොකළහොත් හුය නිසැකවම දෙකට කැඩී ගොස් තමන් ඇද වැටෙනු ඇත. ඉදින් කන්දත මහ හඬින් කෑ ගසන්නට විය:

"ඒයි පවුකාර‍යනේ, මේ මකුළු හුය මගෙයි. මේ දිගේ උඩට නගින්න උඹලාට අවසර දුන්නේ කවුරුද ? බැහැපල්ලා ! බැහැපල්ලා ! "

එහෙත් ඒ මොහොතේම මෙතෙක් වේලා කැඩී යන ලකුණකුදු නොපෙන්වූ මකුළු හුය කන්දත එය අල්ලා ගෙන හුන් තැනින් දෙකට කැඩී ගියේය. අවම වශයෙන් හඬක් වත් නගන්නට ඉඩ නොලැබීම ඔහු හිස පහළට සිටින සේ අන්ධකාරය තුළට බඹරයක් මෙන් වේගයෙන් කැරකෙමින් ඇද වැටුණේය.

පසුව, දෙව්ලොවෙන් බට සිහින් මකුළු හුයෙහි කොටසක් පමණක් සඳ තරු නැති අන්ධකාර ආකාශයෙහි දිලිසෙමින් එල්ලී තිබිණි.

3

පද්ම තඩාගයෙහි කෙළවර වැඩ සිටි තථාගතයන් වහන්සේ සිදු වූ සියල්ල ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටියහ. කන්දත ගලක් මෙන් රුධිර විල පත්ළෙහි ගිලුණු විට උන්වහන්සේ උපේක්ෂා සහගත වුවනින් යුතුව එතැනින් ඉවතට සක්මන් කරන්නට පටන් ගත්හ.

ආත්මාර්ථකාමී හදවතින් යුත් කන්දත නිසැකවම තමන් පමණක්ම නිරයෙන් ගැලවී යාමට කටයුතු කළ අතර පෙරළා ඔහු නිරයට වැටීම අනුකම්පා කටයුතු දෙයක් ලෙස තථාගතයන්වහන්සේට පෙනිණි.  එහෙත් දෙව්ලොව පද්ම තඩාගයෙහි වූ ධවල වර්ණ පද්මයන් එවැනි දේවලින් සැලුණු බවක් නොපෙනිණි.

මුතු බඳු ධවලවන් පුෂ්පයෝ තථාගතයන්වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් අබියස දෙපසට චලනය වූහ. එසේ චලනය වත්ම ඒවායේ මධ්‍යයේ පිහිටි ස්වර්ණමය ජායාංගවලින් නැගුණු මැකී නොයන මධුර සුගන්ධයෙන් වාතලය පිරී ගියේය.

දෙව්ලොවෙහි මධ්‍යාහ්නයට ආසන්න වමින් තිබිණි.















රියුනොසුකෙ අකුතගාව (1892-1927)


ග්ලේන් ෂෝ ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි



2011/09/09

ඔබට ඇරයුමක්












තණ බිමෙහි ඇති
කුඩා දිය උල්පත
පිරිසිදු කරන්නට
එතැනට යමි මම
උල්පත වැසී ඇති
තුරුපත් ඉවත් කොට
උල්ප‍තෙහි දිය
පෑදී එන තුරු
නවතින්නෙමි එතැන
ටික වෙලාවක්
පමා නොවෙමිය ඉදින්
ඔබත් එනවද යන්න

වැස්සිය ළඟ හිඳින
වහු පැටියා ගෙන එන්න
මඳක් බැහැරට යමි මම
වහු පැටියා ඉතා ළපටිය
ඌ දෙපසට වැනෙයි
වැස්සිය ලොවන විට
පමා නොවෙමිය ඉදින්
ඔබත් එනවද යන්න











-රොබට් ෆ්‍රොස්ට් 

2011/09/05

ජීවත්වීමේ වේදනාව




















චිත්‍රය: වින්සන්ට් වෑන් ගොග් 

වනස්පති තෙම තුටිනි
කිසිත් නොදැනෙන නිසා
පර්වත තෙම තුටිනි
කිසිත් නොදකින නිසා
ජීවිතය තරම් වූ වේදනාවක් තවත් නැත
සචේතන ජීවිතය මෙන් බරැති කිසිවක් නැත
ජීවිතය ගෙවමින් මෝහයේ ගැලීමත්
ඉන් මිදීමට මගක් නොදැනගෙන සිටීමත්
ගෙවුණු ජීවිතය ගැන, උදාවන හෙට ගැන
සිතෙහි බිය රැඳීමත්
නිසැකවම හෙට මරු ඒ යැයි දැනීමත්
ජීවිතය පුරාවට අඳුරෙහි ගැලීගෙන
නොදන්නා මග යමින් දුකම වැළඳීමත්
පස්පවට ලෝල කය සැප සොයා යාමත්
ජීවිතය අවසන අප එන තුරාවට
මරු මග බැලීමත්
මෙලොවට එන දිනය, මෙලොව හැර යන දිනය
නොදැනගෙන සිටීමත්
තරම් වූ වේදනා තවත් නැත
සචේතන ජීවිතය මෙන්
බරැති කිසිවක් නැත












රූබෙන් දාරියෝ (1867-1916)

සෙවුම්