2015/02/21

දන්නේද පුත නුඹ....





















දන්නේද පුත නුඹ
කොහි සිට එන්නේද යන වග
කුසගිනි සුදු ලිහිණියන් පියාඹන
විලක සිට එන්නේය පුත නුඹ

විඩාබර වන තුරුම දෙලවන්
සිපගෙන එකිනෙකාගේ ආත්මය
හෙලා ඒ සියල්ලම ගින්නට
දවා හරිමින් අපේ ජීවිත
සිසිරයේ දිය මිදුණු විල අස
රක්තවන් ගිනිමැලයක්
දැල්වීමු ඇය හා මම

එලෙසය පැමිණියේ මෙලොවට නුඹ

නුඹ හා මා බලන්නට
පැමිණියේ දිනෙක ඈ
සමුදුරු තරණය කර,
ඇගේ සිහිනිඟ වැලඳ ගන්නට
ඇවිද්දෙමි මම පුරා මිහිමත
යුද ගිනි, කඳු, කටු කොහොල්,
වැලි කතර පසුකර

එලෙසය පැමිණියේ මෙලොවට නුඹ

ජලයෙන්ද මහ පොළොවෙන්ද
හිමෙන් සහ ගින්නෙන්ද
බොහෝ තැන්වල සිටද
එන්නේය නුඹ අප වෙත
බොහෝ දුර ඈත සිට
එන්නේය නුඹ අප වෙත
යදමකින් මෙන් අප බැඳ දැමූ
අති ප්‍රබල ප්‍රේමයෙන් ජනිතව
එන්නේය නුඹ අප වෙත
නුඹේ ඔය හැඩරුව
බහතෝරන විදිය
දැන ගන්නට ඕනෑය අප හට
මන්ද යත් අප නුඹට දුන් ලොව ගැන
දන්නා බැවිනි අපටත් වඩා නුඹ

මහ කුණාටුවක් ලෙස
සොලවාලීමු අපි ජීවන රුක
පොළොව ගැඹරට විහිදුණු
එහි මුල්වල සිටම

නැගී එරුකෙහි මුදුන් අත්තට
රැඳී කොළ වදුල අතරත
ගී ගයයි පුත නුඹ












-පැබ්ලෝ නෙරූදා (1904-1973)

(ඩොනල්ඩ් ඩී.වොල්ෂ්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)


 චිත්‍රය: K.M. Berggren

7 comments:

  1. නිලූක සර්
    පැබ්ලෝගේ The Son තරමටම මේ හදවතට කා වදින අයුරින් පරිවර්තනය සිදුකර ඇති බවට තර්කයක් නැහැ. අමු පරිවර්තනයක් නොවී ස්වයං නිමැවුමක් තරමටම රසවත් ඒ වගේම සරළයි. සෑම පද පෙළකම රසය පිරී තිබෙනවා. නැගී එරුකෙහි මුදුන් අත්තට.... යන පෙළ අලංකාර තැනක් යැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. ඔබ මෙහි මුල් ඉංගිරිසි පරිවර්තනයත් කියවා තිබෙන බව පෙනෙනවා. සිංහල පරිවර්තනයේදී මා එහි මාතෘකාව ටිකක් වෙනස් කළා. ඔබ කවුරුන්දැයි හඳුන්වා දුන්නා නම් අගෙයි.

      Delete
  2. ලස්සනයි

    ReplyDelete
  3. නිලූක, ඉතාමත් රසවත් පරිවර්තනයක්. මෙහි මුල් කවියට තවත් අරුතක් ඔබ ගෙනවිත් තිබෙනවා. ලතින් ඇමරිකානු කවීන්ගේ නිර්මාණ ඉතාමත් රසවත්. ඉදිරියේදී ගර්ෂියා ලොර්කාගේ කවක් පරිවර්තනය කරන්න.

    ReplyDelete
  4. අපූරුයි සොයුර.........!
    ඉතාම රසවත්..........

    ReplyDelete

සෙවුම්