2015/04/15

නියමුවාණෙනි, අහෝ මා නියමුවාණෙනි !

















 

ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසයවැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කොට අදට (2015 අප්‍රේල් 15 වැනිදාට) වසර එකසිය පනහක් පිරෙයි. වහල් මෙහෙය අවසන් කිරීමට විරුද්ධ වෙමින් දකුණේ ප්‍රාන්ත එකොළහක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්වීමට ගත් තීරණය හේතුවෙන් ඇමෙරිකාවේ උතුරුදිග ප්‍රාන්ත නියෝජනය කළ  ඇමෙරිකා එක්සත් ජනපදයත් (United States of America) දකුණු දිග වෙන්වී ගිය ප්‍රාන්ත විසින් පිහිටුවා ගනු ලැබූ  ඇමෙරිකා සන්ධාන ජනපදයත් (Confederate States of America) අතර ඇමෙරිකානු සිවිල් යුද්ධය හටගත්තේය. 1861 සිට 1865 දක්වා පැවැති සිවිල් යුද්ධයේදී, වහල් මෙහෙය අවසන් කළ යුතුය යන මතයේ පිහිටා කටයුතු කළ එක්සත් ජනපදයට නායකත්වය දුන් ලින්කන් 1865 දී සන්ධාන ජනපදය පරදවා සිවිල් යුද්ධය ජයග්‍රහණය කළා පමණක් නොව ඇමෙරිකාව තුළ වහල් මෙහෙයද අවසන් කළේය. 1865 අප්‍රේල් 15 වැනිදා ලින්කන් ඝාතනය කෙරිණි.

ලින්කන්ගේ මරණයෙන් ප්‍රකම්පනයට පත් වෝල්ට් විට්මන් විසින් O captain ! my captain නමැති මේ කවිය ලියන ලදී. සිවිල් යුද්ධය නමැති අනතුරුවලින් ගහණ සාගරයේ ඇමෙරිකා එක්සත් ජනපදය නමැති නෞකාව පදවා එය ගමනාන්තයට ළඟා කරවූ නියමුවෙකුට ලින්කන් මෙහිදී උපමා කෙරේ.

ඇමෙරිකානු කවීන් අතර ශ්‍රේෂ්ඨතම කවියෙකු වූ වෝල්ට් විට්මන්, ‘නිදහස් පද්‍යයේ’ පියා ලෙස සැලකේ. හෙතෙම, එතෙක් විරිතක් අනුයමින් ලියැවුණු ඉංගිරිසි කවිය විරිතකින් තොරව නිදහස් ලෙස රචනා කිරීමේ පුරෝගාමියා විය. වසර හැත්තෑ තුනක් වූ විට්මන්ගේ ජීවිත කාලය ඇතුළත හටගත් වැදගත්ම සිදුවීම වූයේ ඇමෙරිකානු සිවිල් යුද්ධයයි. සිවිල් යුද්ධ වකවානුවේදී හෙතෙම එක්සත් ජනපදයට දැඩි ලෙස සහයෝගය දැක්වීය. මුලදී ඔහු ජනාධිපති ලින්කන් ගැන එතරම් තැකීමක් නොකළ නමුදු යුද්ධය දිනෙන් දින ඇවිලී යත්ම ලින්කන්ට ඇලුම් කරන්නට පටන් ගත්තේය. කෙසේවුවද ඔවුන් දෙදෙනා කිසි දිනෙක එකිනෙකා මුණ ගැසී නැතැයි කියැවේ.       



නියමුවාණෙනි, අහෝ මා නියමුවාණෙනි !

නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි ! අපේ බියකුරු ගමන දැන් අවසන්ය,
ගමන් කර ඇත නැව පරයමින් සියලු අනතුරු, අප සෙවූ දිනුම දැන් අප සතුය
නැව්තොට නුදුරේය, ඇසේ ඝණ්ටා නාදය, මිනිසුන් නගන සැටි ජයගොස
නෙත් හෙලමි නොසෙල්වෙන නැව්තලය දෙස, නිර්භයය සැඩය නෞකාවේ පෙනුම
                   එනමුදු අහෝ හදවත ! මා හදවත
                   මා නියමුවාණන් ශීතල මළසිරුර
                   වැදහොත් නැව්තලය මත
                   අහෝ ! රතුවන් ලේ බිඳු වැගිරේය

නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි ! සවන් දෙනු මැන නැගී ඝණ්ටා නදට;
නැගී සිටිනු මැන ඉදින්- මේ ධජය ලෙලෙන්නේ, බියුගලය වැයෙන්නේ නිසා ඔබ වෙනුවෙන්ම,
මේ මල් පොකුරු, මල් කලබ- රොද බඳින මේ මිනිස් කැළ නිසා ඔබ වෙනුවෙන්ම,
හිසො’සවා බලමින්, ඔබට හඬ ගසමින්, තෙරපෙන ජන ගඟ නිසා ඔබ වෙනුවෙන්ම.
                   නියමුවාණෙනි, ආදර පියාණෙනි!
                   හිසට යටවූ ඔබේ මේ හස්තය!
                   දකින්නේ මා සිහිනයක්දෝ නැව්තලය මත
                   වැතිර ඇති සැටි ඔබ ශීතල මළසිරුර

පිළිතුරු නොදේ මා නියමුවාණන්, නිසලය සුදුමැලිය ඔහු දෙඅදර
නොදැනේ ඔහුට මාගේ ස්පර්ශය, නැවතී ඇත ඔහු හදගැස්ම, සිතිවිලි,
ගමන් අවසන් කළ නැව, නැංගුරම් ලා ඇත සුරක්ෂිත ලෙස
බියකුරු ගමන නිමවා, සිය අරමුණ දිනා, නැව්තොටට පැමිණ ඇත නැව
                   අහෝ ජයගොස නගවු මිනිසුනි, නගවු ඝණ්ටා නද ඉතින් !
                   මා නියමුවාණන් ශීතල මළසිරුර
                   වැදහොත් නැව්තලය මත
                   ඇවිද යමි මම දැඩි සොවින්.


-වෝල්ට් විට්මන් (1819-1892)


16 comments:

  1. We too had a civil war. Won. Never gave the freedom to Tamils this is the difference between mahinda and lincon

    ReplyDelete
  2. Auschwitz

    http://transyl2014.blogspot.ca/2015/01/auschwitz.html

    ReplyDelete
    Replies
    1. It's a very good poem. A very touching one. Thank you for giving the link.

      Delete
  3. ඉහලින්ම අගය කරනවා ඔබේ පරිවර්තනය. අවංක නායකයන් බහුතරයකට අත්වන්නේ මෙවැනි ඉරණමක්.

    ReplyDelete
  4. නිලූක... අහම්බෙන් ඇස ගැටුණේ ඔබේ බ්ලොග් පිටුව. කියවාගෙන ගියා එක හුස්මට .. .. හරිම සතුටුයි ඔබ ගැන..

    සංජීව පට්ටිවිල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව ඔබේ අදහස්වලට.

      Delete

සෙවුම්