මගේ උරැහිස මත
තැබූ අතක ස්පර්ශයෙන් තිගැස්සුණු මම හැරී බැලුවෙමි. මුහුණේ ලජ්ජාභරිත ඉරියව්වක්
රැඳුණු, උසැති, ශක්තිමත්, දැවැන්ත සීක් ජාතිකයෙක් මා පිටුපසින් සිටගෙන
සිටියේය.
අප එකිනෙකාගේ
නෙත් එකට ගැටෙත්ම ‘මට සමාවෙන්න සර්’ යැයි ඔහු මුමුණා කීවේය.
ඔහු දුටු
මොහොතේම මගේ බිය අතුරුදන් විය. නැතිනම්, කඳුකරයේ පිහිටි ලෝනාවාලා නම් වූ මේ කුඩා
නගරයේ පාලුවට ගිය වීදිවල, මෙතරම් රෑ බෝ වූ වෙලාවක මේ ආකාරයෙන් අමුත්තෙකු මුණගැසීම
නිර්භීතම හදවතක් ඇත්තෙකු තුළ පවා වෙව්ලුමක් ජනිත කරවන අත්දැකීමකි.
‘ඒකට කමක් නෑ
සහෝදරයා. මොකක්ද වුවමනාව?’ මම සිනහවකින් යුතුව පැවසීමි.
‘නෑ මොකුත්
නෑ....මේ.... මේ... ’ යි කියමින් මොහොතකට පැකිලුණු හෙතෙම ඊළඟ මොහොතේ ලජ්ජාශීලී
එහෙත් නිර්භය කටහඬකින් මගෙන් මෙසේ විමසීය:
‘සර්ට ඉංග්‍රීසි
පුළුවන්ද කියලා මං ඇහුවොත් සර් මට සමා වෙනවද ?’.
මම හඬ නගා
සිනාසීමි. ‘ඔව් මට ටිකක් පුළුවන්. ඇයි? ’
‘මං හිතුවා
සර්ට ඉංග්‍රීසි පුළුවන් ඇති කියලා.’ ඔහු සතුටින් උද්දාම විය. ‘ඔබතුමාගේ අතේ
තියන ඔය ලියුම් කවරෙ උඩ ලියලා තියෙන්නේ
ඉංග්‍රීසියෙන් කියලා ලයිට් කණුවෙ එළියෙන් දැක්කාම මං හිතුවා එහෙම. ඒකයි මං සර්ට
කරදර කරන්න තරම් එඩිතර වුණේ. ’
‘මගේ ඉංග්‍රීසි
දැනුම ගැන ඔහේට තියෙන ප්‍රශ්නෙ මොකක්ද, ඒකත් මේ යක්කු ගස් යන වෙලාවේ? ’ මම
විමසුවෙමි.
‘සර්ට කරදරයක්
නැත්නම් මට ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ලියුමක් කියවලා දෙන්න පුළුවන්ද? ’
‘කොයි වෙලාවටද?
’
‘සර්ට පුළුවන්
ඕනෑම වෙලාවක,’ ඔහු විනීත ලෙස පිළිතුරු දුන්නද ඔහුගේ මුළු මුහුණම එකම එක වාක්‍යයක්
පමණක් ලියූ විවෘත පොතක් බඳු විය. ඒ වාක්‍යය ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනීමට මට
හැකිවිය: ‘දැන්ම කියවලා දෙන්න’ .
‘ලියුම මොකක්
ගැනද? ’ මම විමසුවෙමි.
‘ඉංග්‍රීසි
දන්නෙ නැතුව මං කොහොමද ඒක දන්නේ? ඒකනේ මට සර්ගේ උදව් ඕනෑ. ’ ඔහු හිනැහුණේය.
මට කුතුහලයක්
ඇති විය. මෙය කුමක් ගැන විය හැකිද?
‘මේ දැන්ම ඕක
කියවන්න ඕනෑද? ’
‘දැන්ම ලියුම
කියවන එක අපහසු නැද්ද ? ’ පැකිළෙන සුළු හඬින් ඔහු කීවද ලියුමේ අන්තර්ගතය කිසිම
පමාවකින් තොරව තමාට අනාවරණය වන්නට යන්නේය යන සිතිවිල්ලෙන් හටගත් ප්‍රීතියෙන් ඔහුගේ
මුහුණ ප්‍රභාවත් වන සැටි දකින්නට මට පුළුවන් විය.
‘මං මේ ලියුම
තැපැල් කරන්න තැපැල් කන්තෝරුවට යන ගමන්. එතැනට ගිහින් ඔය ලියුම කියවමුද ? ’ මම
යෝජනා කළෙමි.
ඔහුගේ දැඩි
උනන්දුවෙන් යුතු පිළිතුර වූයේ ‘බොහෝම ස්තූතියි, බොහෝම බොහෝම ස්තූතියි, සර්’
යන්නයි. අපි ගමන ඇරඹුවෙමු.
තැපැල්
කන්තෝරුව තෙක් වූ පර්ලොම් දෙකක දුර ගෙවුණේ නිහඬතාවෙනි. ඔහු ගැඹුරු කල්පනාවක් නිමග්නව හුන් අතර මා
කල්පනා කළේ මේ සියල්ලේ තේරුම කුමක්ද යන්න ගැනය. නිශ්චිතවම, එය රැකියාවක් හෝ ඒ හා
සමාන කිසිවක් විය නොහැකිය. එසේ විණි නම් ඔහු මගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්
දෙන්නේය. එසේනම් මේ කුමක් ගැන විය හැකිද? නිශ්චිතවම මෙය පෙම් පළහිලව්වක්ද විය
නොහැකිය. එසේ වී නම් පෙම්පත ලියැවෙනුයේ මේ මිනිසාට කියවා තේරුම් ගතහැකි භාෂාවකිනි.
එහෙත් මේ කාරණයට කිසියම් පෞද්ගලික දෙයක් සම්බන්ධ වී නොතිබිණි නම් ඔහු මෙතරම් කෝලයට
පත්වන්නේත්, ලජ්ජාශීලී වන්නේත්, ලියුමෙහි අන්තර්ගතය හැකි ඉක්මනින් ගැන දැනගැනීමේ
මැඬලිය නොහැකි ආශාවකින් පෙළෙන්නේත් ඇයි ?
තැපැල්
කාර්යාලයට පැමිණි විට එළියෙහි වූ බංකුවක් පෙන්වූ මම ‘අපි අතන වාඩි වෙමු
දැයි’ ඇසුවෙමි.
‘එතැන එතරම්
එළියක් නැතිවෙයි සර්. අර පාරෙන් එහා පැත්තෙ තියෙන කෑම කඩේ වාඩි වෙන එක වඩා හොඳ
නැද්ද ?’
ලියුම තැපැල්
කළ මම ඔහු පසුපසින් පාර මාරු වීමි. උඩින් විදුලි බුබුලක් දැල්වෙන මේසයක අපි වාඩි
වීමු. අත දිගු කළ මම ලියුම ඉල්ලා සිටියෙමි. එය මා අතට දෙන අතර නැවතත් හෙතෙම
කෝල ගතියටත් ලජ්ජාවටත් පත් වූයේය.
‘මං සර්ට හරි
කරදරයක් තමයි කරන්නේ. ’
‘නෑ. මනුස්සයෝ
එහෙම එකක් නෑ. ’ මම ලිපිය ඔහු අතින් ගනිමින් පැවසුවෙමි.
ලියුම කියවන
අතර විටින් විට මගේ දෙනෙත ඔහුගේ මුහුණ දෙසට යොමු විය. ඔහු ගිජු ලෙස දෑස දල්වා ගෙන
මා දෙස බලා ගත් වනම සිටියේය.