අබිසෙස් කළෙම් ඔබ රැජනක්
ලෙසින්.
සිටියද ඔබ හට වඩා උස
ලියන්,
සිටියද ඔබ හට වඩා
පිවිතුරු කතුන්,
සිටියද ඔබ හට වඩා මනකල්
ළඳුන්,
රැජන නම් ඔබ වේමය ඉතින්.
වීදියෙහි ඔබ යනෙනා කලට
නොහඳුනති කිසිවෙක් ඔබව.
නොදකිත් කිසිවෙකුත්
ඔබ පැළඳි මිණි කිරුළ,
නොබලත් කිසිවෙකුත්
පා තබන රත්රන් පළස දෙස,
නොපවතින ඒ පළස දෙස.
එහෙත් ඔබ පැමිණි කල,
හඬ නගා ගලන්නෙය
සියලු ගංගා මා සිරුර
තුළ,
සීනුවල නාදයෙන්
වෙව්ලයි නබෝගැබ,
ගීතිකාවක හඬින්
පිරී යයි මිහිතලය.
සවන් දෙන්නේ ඒ ගී නදට
ඔබ හා මා පමණකිය.
මා සොඳුර,
ඔබ හා මා පමණකිය.
-පැබ්ලෝ නෙරූදා
(1904-1973)
(ඩොනල්ඩ් ඩී. වොල්ෂ්
ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)