2016/08/13

අලුත ගෙනා මනාලිය






















යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට වුවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණාව වන්නේ මා තවමත් අවිවාහකව පසුවීමත්, ඒ සම්බන්ධයෙන් මා දැඩි ලෙස සංවේදී වීමත්ය. 

වර්මා මහතාගේ බංගලාව පිහිටා ඇත්තේ අපගේ පෝටිකෝවේ හිඳගෙන සිටින විට එහි සිදුවන සියල්ලක්ම පාහේ පෙනෙන ආකාරයෙනි. නිවෙස් දෙක අතර ඇති වැට වසර කිහිපයකට උඩදී කැඩී බිඳී ගියද එය කිසිදා අලුත්වැඩියා නොකෙරිණි. අපගේ පවුල් දෙක කෙතරම් මිතුරු වීද යත් ඉන් එක් පවුලක්වත් වැට අලුත්වැඩියාකිරීම ගැන කරදර වූයේ නැත. අනෙක, කැඩුණු වැට නිවෙස් දෙක අතර පහසුවෙන් එහා මෙහා යෑමට උපකාරී වූයේය. 

සියල්ල සූදානම් බවත් මංගල පෙරහර ඇරඹීමට ආසන්න බවත් මට පෙනෙයි. දූවිල්ල මැකෙන්නට මිනිස්සු දෙදෙනෙක් හම් බාල්දිවලින් රතු බොරලු පොළොව මත ජලය ඉසිති. නෑදෑයෝ සහ මිතුරෝ සෑහෙන විශාල පිරිසක් එහි රැස්ව සිටින්නෝය. එහෙත් ඔහුගේ විවාහ මංගල්‍යයට නොයෑමට මා තීරණය කර ඇත. අම්මා ඒ ගැන අසතුටට පත්වූවද මගේ තීරණය එසේමය. වර්මා මහත්මියගේ මරණයෙන් මාස දෙකක් ඇතුළත යළි විවාහවීම මොනතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද !

මා අපේක්ෂා කළ පරිදිම මා තවමත් පෝටිකෝවේ හිඳගෙන සිටීම ගැන අම්මා සතුටට පත් වූයේ නැත. ‘දෙවියනේ ! ඔයාට මඟුල් ගෙදරට වෙලාවට යන්න ඕනකමක්  නැද්ද ? මඟුල් පෙරහැර පිටත්වෙන්නත් ලෑස්තියි. ඔයා තවමත් පොතක් අතේ තියාගෙන මෙතැන වාඩිවෙලා ඉන්නවා ! ඔයා මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ !
 
‘අම්මේ, මං යන්නෙ නෑ. අම්මා යන්න. මං එනකම් බලාගෙන ඉන්න එපා.

‘ඒ මොකද ? ඒ මිනිස්සු අපේ අසල්වැසියෝ. ඔයා නොගියොත් අමනාප වෙයි. මං ඒ අයට මොකක්ද කියන්නෙ ? ’

‘ඕනැ දෙයක් කියන්න. මං යන්නෙ නෑ.’

‘අඩුම ගානෙ මටවත් කියන්නකො ඇයි කියලා. මං රෑට ඉවුවෙත් නෑ. ඔයාට බඩගින්නෙ ඉන්නයි වෙන්නේ.’

‘මට බඩගිනි නෑ. අම්මේ, මට නම් අම්මා ගැනත් පුදුමයි. අම්මා වර්මා නෝනාට කොච්චර කැමතිද ? ඒත් එයා මැරුණා විතරයි, හොඳට ඇඳගෙන මිස්ටර් වර්මාගේ මඟුල් ගෙදර යනවා !’ මට තවදුරටත් කතා කරගැනීමට නොහැකි විය. අම්මා මා අසලින් හිඳගත්තාය. 

‘කාටවත් බෑ ඉරණම වෙනස් කරන්න දරුවෝ. මගේ සහෝදරියන්ටත් වැඩිය මං කම්ලාට ආදරේ කළා !’ ඇගේ කටහඬෙහි වූයේ ශෝකී බවකි.

‘මට දරාගන්න බැරි අම්මෙ මිස්ටර් වර්මා මෙච්චර ඉක්මනට ආපහු කසාද බඳින එකයි......’

‘එයාට බනින්න එපා දරුවෝ. එයත් ඒ ගැන එච්චර සතුටු නෑ කියලා මට විශ්වාසයි. කම්ලා අසනීප වෙලා ඉන්න කොට ඒ මනුස්සයා එයාව බලාගත්ත විදිය ඔයා දැක්කනෙ ! එයා බඳින්නෙ ළමයි නිසා.’

‘ළමයි නිසා ! ඒක බොරු හේතුවක් අම්මේ. කුඩම්මා කෙනෙක් ගේන එක ළමයින්ට සතුටක් නෙවෙයි. මිස්ටර් වර්මාට හොඳට සල්ලි තියෙනවා. ඇයි එයා කාවහරි- මං කියන්නෙ, ළමයි බලාගන්න ගෑනු කෙනෙක් පඩියට තියාගන්නෙ නැත්තෙ? ’

‘ළමයි බලාගන්න ගෑනු කෙනෙක් කවදාවත් අම්මා කෙනෙක් වගේ වෙන්නේ නෑ. මේවා තේරුම් ගන්න තරම් ඔයා ලාබාල වැඩියි. ඇයි ඔයා කියන්නෙ අලුත් නෝනා ළමයින්ට ආදරේ වෙන එකක් නෑ කියලා? එයා කුඩම්මා කෙනෙක් නිසාද? හැමකෙනෙක්ම ඒ වගේ නෑ. ඔයා ඉන්නෙ තරහෙන්. එච්චරයි. වර්මාට වැඩ තියෙනවා. ළමයින්ව බලාගන්න එයාට වෙලාවක් නෑ! ගෙදර පවුලක් ඉන්නවා නම් එයාට ළමයි ගැන හිතේ කරදරයක් නෑ. ’

‘අලුත් නෝනා එයාගෙ ළමයින්ට ආදරේ වුණේ නැත්නම් ? ’

‘එහෙම වුණොත් ඒක ඒ ළමයින්ගේ ඉරණම. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අම්මා මැරෙන්නෙ නැතිව ඉන්න තිබුණා. දුවේ,  මං කසාද බඳිනකොට මට ඔයාගේ ආතම්මා මඟුල් තෑග්ග විදියට දුන්නේ ඔයාගෙ ලොකු අයියව. ඒ දරුවට එතකොට වයස මාස දහඅටයි. අහලා බලන්න එයාගෙන් එයාට අම්මා නැති අඩුව කවදාවත් දැනුණද කියලා. ඔයගොල්ලො ඔක්කොමටත් වඩා මම තවමත් වැඩියෙන් ආදරේ එයාටයි ! ’

අම්මා කියූ දේ සත්‍යයක් විය. කෙසේවෙතත් ඇය සමග තර්ක කරන විට මම සැමවිටම පරාජය වෙමි ! ඇය මඟුල් ගෙදර ගියාය. මංගල පෙරහර ආරම්භ වී තිබිණි. මම තවමත් මෙතැන හිඳගෙන විවාහ මංගලෝත්සවය වෙනුවෙන් වාදනය වන ඝෝෂාකාරී පොප් සංගීතයට සවන් දෙමින් සිටිමි. නවදිල්ලිය වැනි විශාල නගරවල මංගලෝත්සවවලදී මෙවැනි පටිගත කරන ලද සංගීතය වාදනය කිරීම යල්පැන ගිය මෝස්තරයක් බව මම අසා ඇත්තෙමි. එහෙත් මීරත් නගරය එවන් දියුණු නගරයක් නොවේ.  අනෙක් මිනිසුන්ගේ සාමයට සහ නින්දට බාධා කරන අයගෙන් බලධාරීන් බද්දක් අය නොකරන්නේ මන්දැයි මම කල්පනා කරමි. මගේ හිස කකියයි.

අද සවස්වරුවේ මනාලිය පැමිණියාය. අලුත උපන් බිළිඳුන් සහ මනාලියන් මගේ විශාලතම දුර්වලකමයි. ඔවුන් දෙස එබී නොබලා සිටින්නට මට බැරිය. මගේ තරහ මඳකට අමතක කළ මම ඇය බලන්නට ගියෙමි. සාමාන්‍යයෙන්, අලුත ගෙනා මනාලියක් ගෙදර සිටින සියලුම ගැහැනුන් විසින් වටකරගනු ලැබ සිටින්නීය. එහෙත් වර්මා මහත්මිය හුදෙකලාවම පාහේ මුල්ලක වාඩිවී සිටියාය. රතු කපු සාරියක් හැඳ සිටි ඈ අපහසුවෙන් පසුවන බවක් පෙනිණි. ඇයගේ මංගල වේලය නාසයේ කෙලවර දක්වාම පහත් වී තිබුණේය. මම එය ඔසවා ඇයගේ මුහුණ දෙස බැලීමි. ඇයට යාන්තම් වයස දහහතක් හෝ දහඅටක් වන්නට ඇත ! දිගටම හැඬීමෙන් ඉදිමී ගිය රත් පැහැ දෙනෙතින් යුක්ත වූ ඇය සිය පයෙහි ඇඟිලි දෙස බලාගෙන සිටියාය. ඉතාමත් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න ඡවි වර්ණයක් ඇය සතු විය.

වර්මා පවුලේ ඥාතීන් ඇය කෙරෙහි කිසි උනන්දුවක් නොදැක්වූ බව මම දුටිමි. ඒ පළමු කොටම ඇය ‘දෙවැනි’ බිරියක හෙයිනි. අනෙක, ඇය අයත් වූයේ දුගී පවුලකට බැවිනි. දායාදය වශයෙන් ඇය රැගෙන විත් තිබුණේ වැඩි වශයෙන්ම කපු සාරි ය. සියලු දෙනාම ආහාර බුදිමින් විහිලු තහලු කරමින් සිටියෝය. ඇය කෙරෙහි කුතුහලයෙන් බැලූයේ  වර්මා මහතාගේ දරුවන් සය දෙනා පමණි. එකිනෙකා මාරුවෙන් මාරුවට පැමිණි ඔවුහු සිය නව මව දෙස බිය මුසු ගෞරවයකින් යුතුව බැලූහ. කුඩම්මා කෙනෙකු හා ජීවත් වන්නට ඔවුන් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින බව ඒ බිය මුසු ගෞරවය මට පැහැදිලි කර දුන්නේය. 

මම කෝපයෙන් පුපුරමින් යළි නිවෙස කරා ගියෙමි. මා ඒ කේන්තිය  පිට කළේ අම්මා මතිනි.

‘දැක්කනෙ අම්මේ, අම්මා අසරණ මිස්ටර් වර්මා ගැන හරියට අනුකම්පා කළානේ ! ඒ වගේ ගෑනු ළමයෙක්ව බඳින්න එයාට තියෙන අයිතියි මොකක්ද ? ’

‘ඇයි මොකද වෙලා තියෙන්නේ ? ’

‘වළ පල්ලට යන්න ඔන්න මෙන්න ඉන්න මිනිහා බැඳලා තියෙන්නේ මටත් වඩා බාල ගෑනු ළමයෙක්ව ! ’

‘කට, කට ගීතා ! ඔහොම කතා කරන්න එපා. ඒ මනුස්සයට තාම හතළිහයි ! ’

‘දෙගුණයක්- හරියටම දෙගුණෙකටත් වඩා එයා වයසයි ! මේක හරිම අසාධාරණයි අම්මේ ! ඒ ළමයා තවම පොඩි කෙනෙක්. ඒ වුණාට ළමයි හය දෙනෙක් බලාගන්න වෙලා. එයා හරියට ඒ ළමයින්ගේ අම්මා නෙවෙයි ලොකු අක්කා වගේ ! මට හරි කනගාටුයි. මට ඒක දරාගන්න බෑ. කියන්න- කනවැන්දුම් මිනිහෙක්ව බඳින එක මහ කරුමයක් නෙවෙයිද? ’

මම දිව සපා ගතිමි. ඒත් ඊට ප්‍රමාද වැඩිය. අම්මා කිසිවක් නොකීවාය. ලැජ්ජාවට පත්ව සහ කුමක් කරන්නදැයි නොදැන මා එතැන සිටගෙන සිටින අතරතුර කඩා හැලෙන කඳුළු ඇය අනමින් සිටි පිටිගුලිය මත නොවැටෙනු පිණිස අම්මා සිය දෑස නිහඬව පිස දැමුවාය. 

විස්තර විචාරයක්ද සමගින් අලුත්ම පුවත් ගෙන එන සම්ප්‍රේක්ෂකයක් වර්මා මහතාගේ සහ අපේ නිවෙස් අතර ක්‍රියාත්මක වෙයි. එම සජීවී පුවත් සම්ප්‍රේක්ෂකය වනුයේ අපේ නිවාස දෙකම පිරිසිදු කරන, අපේ මෙහෙකාරිය වන ජුග්නිය. ඇය විසින් අප වෙත ගෙන එනු ලැබූ පළමු විස්තර විචාරය මෙබඳු විය: ‘අලුත් මනමාලි ඇත්තටම පහළ පන්තියක එක්කෙනෙක්. ඒ නෝනට ලැජ්ජාවක්වත් ගෞරවයක්වත් නෑ. පහුවෙනිදම මූණ වහන වේල් එක ගලවලා පිරිමියෙක් වගේ මුළු ගෙදර පුරාම එහෙ මෙහෙ ඇවිදිනවා. පහුගිය මාස ගාණක් තිස්සේ ගෙදර ඉඳපු වර්මා මහත්තයාගේ නැන්දලාවත් නෝනා ආපහු ඒ ගොල්ලන්ගෙ ගම්වලට යවනවා. ’

මම විස්මයට පත්වීමි. මගේ විස්මය දිගටම කතා කරන්නට ඇය උනන්දු කරවීය.

‘පුදුම වෙන්න එපා ගීතා නෝනා. ගෙදර ස්වාමි දූ හැටියට තමන් කරන්න ඕනැ මොකක්ද කියලා ඒ නෝනට තෙරුමක් නෑ. මං හිතන්නේ එයා ගමක එක්කෙනෙක්. වැඩකරලා, කාලා, නිදියලා තියෙන්නෙ ගමේ විතරයි. මට හිතෙන හැටියට නෝනා සුමානයක් ඇතුළත කෝකියාවත් ආපහු ගෙදර යවයි. ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි. දැන් පළවැනි වර්මා නෝනගෙ කාලෙ වගේ නෙවෙයි ! ’

මමද කනස්සල්ලට පත්වීමි. මා විශේෂයෙන්ම කනස්සල්ලට පත්වූයේ මා දැඩි ලෙස ආදරය කරන කුඩා පින්ටූ ගැනය. එවැනි කුඩා ළදැරියකට අලුත් වර්මා මහත්මිය අකාරුණික වනු ඇති දැයි මම කල්පනා කළෙමි.  ඒ ගැන කිසිවක් කරන්නට නොහැකි වීම සම්බන්ධයෙන් මම කනගාටු වීමි. එහෙත් ඒ සම්බන්ධයෙන් මට වූයේ කවර අයිතියක්ද?

වර්මා මහතා සුදුමැලි පෙනුමකින් යුතුව උසාවියට ගිය බව අපට සවස් වරුවේදී ආරංචි විය. සියලුම අමුත්තන් පිටවී යමින් සිටි අතර ‘මනාලිය’ මුළු නිවෙසම මනා ලෙස පවිත්‍ර කරවමින් සිටියාය ! වැඩිමහලුම පිරිමි ළමයා අල්ලා ගත් මම, ‘බිනූ, කොහොමද ඔයාලගෙ අම්මා ? ඔයාලා එයාට කැමතිද? ’ යි ඇසීමි.

‘මං දන්නෙ නෑ !’යි කියූ ඔහු පැන දිව්වේය. 

මා සාමාන්‍යයෙන් උදෑසන අවදි වන්නේ බොහෝ ප්‍රමාද වීය. පසුවදා අවදි වූ විට මම යාබද නිවෙස දෙස නෙත් හෙලීමි. එය ඉතා නිශ්ශබ්ද විය. ළමයින් පෙනෙන්නට සිටියේ නැත. වෙනත් දිනවල නම් ඔවුන් දවස පුරාම සෙල්ලම් කරමින් දබර කරගනිමින් සිටිනවා මට පෙනෙයි. 

පාතරසය ගෙන එළියට ආ මම දුටු දෙයින් විස්මයට පත් වීමි. ඉතා පිරිසිදුව, පිළිවෙළට සිටින බව පෙනුණු  පිරිමි ළමයි පස් දෙනාම එක පෙළට හිඳගෙන සිටියෝය.  අපේ පාසැලේ ගුරුවරයා වන ශාස්ත්‍රී මහතා ඔවුන් දෙස බලාගෙන සිටියේය. මා එදෙස බලා සිටින විට, ව්‍යාකූලබවට පත්ව සිටි ජුග්නි එළියට පැමිණ මගේ කනට කෙඳිරුවාය. ‘ මොකක්ද මං කිව්වේ. කෝකියා අද උදේ ගියා. දැන් ඉස්කෝලෙ මහත්තයා ඇවිත්. දැන් ළමයින්ට නිවාඩු කාලෙ ඉතිරි ටිකවත් නිදහසේ ගත කරන්න නෑ! ’

සවස දෙකට පමණ, අම්මාගෙන් මහන මැසිම ඉල්ලාගෙන යන්නට බිනූ පැමිණියේය. අම්මා විස්මයට පත්වූවාය.

‘මහන මැසිම ! ඔයාට මොකටද ඒක,බිනූ? ’

‘නැන්දේ.... අම්මයි කිව්වේ මැසිම ඉල්ලගෙන යන්න කියලා. අම්ම පින්ටූටයි, මිකීටයි යට ඇඳුම් මහන්නයි යන්නේ. ’

‘මේ ගිනි ගහන වෙලාවේ? එළියෙ හරිම රස්නෙයි. මේක ඇඳුම් මහන්න හොඳ වෙලාවක් නෙවෙයි. මෙච්චර රස්නෙ නැති උදේ වරුවෙ අම්මා මොකද කළේ ?’ 

‘අම්මා ඉව්වා නැන්දේ. කෝකියා ගියානේ.’

‘ආ, මට අමතක වුණා. ’

අම්මා කනස්සල්ලට පත් බවක් පෙනිණි. ඇය තනියම කතා කරන්නට විය. 

‘ටක්කෙටම මොකක් හරි අවුලක් තියෙනවා. මං මේ වගේ මනමාලියෙක් මීට ඉස්සරවෙලා දැකලවත් ඒ වගේ කෙනෙක් ගැන අහලවත් නෑ...... ’

දවස් දෙකකට පමණ පසු පින්ටූ මගේ උකුළ මත හිඳගෙන සිටියාය. මම එදා උදේ පැමිණි සඟරාවක් කියවමින් සිටියෙමි. ‘පින්ටූ, ඔයාලගේ අම්මා මොනවද කරන්නේ ? ’ අම්මා ඇසුවාය.
‘ආ, නැන්දෙ මට කියන්න අමතක වුණා. අම්මා කාමරේ ලස්සණ දේවාලයක් හැදුවා. මේං මෙච්චර විතර උස කෘෂ්ණ දෙවියන්ගෙ පිළිමෙකුත් තියෙනවා. අම්මා ඒ කාමරේ උදේ දෙවියන් වැඳලා රෑට ඒ කාමරේම නිදියනවා. මාත් නිදියන්නෙ අම්මා එක්ක. අම්මා කියනවා මං දේවාල කාමරේ නිදා ගත්තොත් මට නපුරු හීන පේන්නෙ නෑ කියලා..... ’

මිනිත්තු කිහිපයක් තූෂ්ණිම්භූතව හිඳගෙන සිටි මගේ මව හදිසියේම නැගිට තණපිටිය හරහා යාබද නිවෙසට ගියාය. 

මම දිගටම කියවන්නට වීමි. පින්ටූ මගේ උකුළ මතම නින්දට වැටුණාය. ඇය උකුළ මත තබාගෙන සිටීම අපහසු වූ හෙයින් ඇය ගෙදර රැගෙන ගොස් ඇගේ ඇඳේ තබන්නට මම තීරණය කළෙමි. ඇය ඇඳ මත තබත්ම මගේ සාරියෙහි කෙළවර අල්ලා ගත් ඕ එය අත නොහැරියාය. මේ ඇගේ පරණ සූත්තරයකි.  ඇය හොඳින් නින්දට වැටෙන තුරුම ඇගේ පසෙක සිටිමින් මම ඇගේ සිරුරට සෙමින් තට්ටු කරන්නට වීමි. කාමරයේ ජනේලය විවෘතව තිබූ බැවින් යාබද කාමරයේ අම්මා සහ වර්මා මහත්මිය කතා කරන සැටි මට ඇසිණි. ‘ඔයා තමන්ව හොඳට රැක බලාගන්න ඕනෑ දරුවෝ. මෙහෙම ගියොත් ලෙඩ වේවි. ’ අම්මා කියමින් සිටියාය. 

‘නැන්දේ, මට කිසිම ප්‍රශ්නයක් නෑ. මා ගැන කරදර වෙන්න එපා ! ’ අම්මා එතරම් ඉක්මනින් කෙනෙකුගේ ‘නෑදෑයෙක්’ වෙයි ! ඇගේ ත්‍යාගශීලීබව සහ ආදරය නිමා නොවන දෙයක් ලෙස පෙනිණි. 

‘නෑ, මං හිතන්නේ නෑ ඔයාට ප්‍රශ්නයක් නෑයි කියලා ! ඇයි ඔයා කෝකියව ගෙදර යැවුවේ? දැන් ඔයාම කෑම උයන්න එපායැ.’

‘කොහොමටත් නැන්දෙ මං මුකුත් නොකර ඉඳිද්දි ගෙදර මිනිස්සු වැඩකාරයෙක් උයන කෑම කන එක හරියි කියලා මට පෙනුණෙ නෑ. අනෙක, ළමයින්ට ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා උගන්නන්නත් මට ඕනෑ වුණා. ’

‘ඉතින් තාම ඉස්කොලෙ පටන් අරගෙනත් නෑනෙ. ’

‘මං දන්නවා. ඒත් මං ගෙදර පිරිසිදු කරන කොට දැක්කා ඒගොල්ලන්ගේ ඔක්කොම පොත් ඉරිලා සවුත්තු වෙලා තියෙනවා. ඉතින් මං කල්පනා කළා ඒ ගොල්ලන්ව ඉස්කෝලෙට සූදානම් කරවන්න ඕනෑ කියලා...... ’

‘එතකොට මේ දේවාලෙ හදන එක කල්පනා කළේ කොයි වෙලාවෙද? මං හිතන්නෙ නෑ ඔයා අලුත ගෙනා මනාලියක් වගේ පේනවා කියලා. අතේ කරේ කිසිම ආභරණයක් නෑ. ඒ මදිවට මේ සාරියත් සවුත්තුයි ! ’

‘ඒක මට ගාණක් නෑ නැන්දෙ ! ’ එය අම්මාට ඇසුණේ නැත. ඇය දිගටම කියවන්නට විය. ‘මට ආරංචි වුණා ඔයා නිදියන්නෙත් මේ කාමරේමයි කියලා! ’ අම්මාට තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැකි සෙයකි.

එයට පිළිතුරක් නොවීය. 

‘මිස්ටර් වර්මා නිදියන්නේ කොහේද? ’

‘එයාගෙ කාමරේ. ’

‘කන්තෝරු කාමරේ? ’

‘ඔව් ! ’

‘ඒ මොන වැඩක්ද! ඔයා ළමයි එක්ක නිදියනවා. මහත්තයා එයාගෙ කාමරේ නිදියනවා ! ඕගොල්ලො බැඳලා කොච්චර කාලයක්ද ? තවම දවස් හතරයි ! මේ අහන්න දුවේ. කියන්න මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.....මං ඔයාගෙ අම්මා වෙන්න තරම් වයසයි. ඔයා හරිම තරුණයි.....කියන්න මට මොනව හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා..... ’

සිරකරගත් ඉකිබිඳුමක හඬ මට ඇසිණි. මනාලිය සැනසවීමට අම්මා වෑයම් කරමින් සිටියාය. ටික වේලාවක් යනතුරු කතා වෙන්නේ මොනවාදැයි මට ඇසුණේ නැත. සියල්ල හැඬුම්වල ගීලි තිබිණි. ඉන්පසුව වර්මා මහත්මිය මෙසේ කියනු මට ඇසුණේය: ‘......අපේ මඟුල් දවසෙ රෑ එයා කිව්වා, “ මගේ ළමයින්ව හොඳට බලාගන්න. ඒ අය දැන් ඔයාගෙත් ළමයි.  දෙවියො දැනටමත් මට ළමයි හය දෙනෙක් දීලා තියෙනවා. මම කටයුතු සූදානම් කළා....ඔව්......දවස් කීපෙකට කලින්, තවත් දරුවො නොහැදෙන්න මං ඔපරේෂන් එකක් කරගත්තා...” කියලා. ’

‘මොකක් ! ඔපරේෂන් කරලා ! ’

‘ඔව් නැන්දෙ. ඒත් මං එයාට හරියට කෘතඥ වෙනවා ඒ කතාව මට කියපු එක ගැන. එයා ඒ කතාව කිව්වෙ නැත්තම් ළමයි නෑ කියලා මට මැරෙන්නයි වෙන්නෙ! දැන් මට සතුටුයි. මං මගේ ජීවිතේ කෘෂ්ණ දෙවියන්ට කැප කරලයි තියෙන්නේ! ’ 

‘මොකක්ද ඒ කතාවෙ තේරුම? ’

‘නැන්දෙ, මම බොහොම ගොඩේ, නූගත් කෙල්ලක්. මං කියවලා තියෙන්නේ ආගමික පොත් කීපයක් විතරයි. ඒ හැම පොතකම තියෙනවා මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි සම්බන්ධකම් තියෙන්න ඕනෑ අපේ ශුද්ධ වූ වගකීම වෙච්ච දරුවන් හැදීම සඳහාමයි කියලා. එහෙම නැතිව පවතින සම්බන්ධකම් වැරදියි. ඒක රාගය.... මං කිව්වා මම එයාගෙ ළමයි හොඳට බලාගන්නම් එයාට කිසිම කරදරයක් නොවෙන්න, ඒත් මගේ ඇඟට අතක්වත් තියන්න බෑ කියලා...’

හදවතක් බිඳෙන හඬක් වැනි ඉකිබිඳුමක් මට ඇසිණි. මගේ හදවත පාරවන හඬකින් ඈ මෙසේ පවසන්නට විය. ‘මගේ ඒ සහෝදරියට, ඒ කියන්නෙ එයාගෙ පළවැනි නෝනට එයා දරුවො හය දෙනෙක් දුන්නා. ඒත් නැන්දෙ එයාට බෑ මට එක ළමයෙක් දෙන්න ! මගේ ජීවිතේ නිකම් අපරාදෙ නාස්ති වෙලා යන එක වලක්වන්න එකම එක දරුවෙක් දෙන්න... ’

තවදුරටත් ඊට සවන් දෙන්නට තරම් ධෛර්යයක් මා තුළ නොවීය. මා රැගෙන යන්නට තරම් සවිමත් නොවූ දණහිස්වලින් යුතුව මම පොළොවට ඇලී ගත් වනම එතැන හිඳගෙන සිටියෙමි.  













-සුනීතා ජෛන් (1940-   )


6 comments:

  1. හරිම ලස්සන සංවේදී කතාවක් නිලුක. හුඟක් හිතට වැදුණා. ඔබේ පරිවර්තනය අපූරුයි.

    ReplyDelete
  2. හරිම අපුරු කතාවක්.
    නුගත් දුප්පත් කියලා හදුන්වන බොහෝදෙනෙක් අතරේ හරිම ගැබුරු අධ්‍යාත්මික චින්තනයක් තියෙනවා. ජීවිතය නමැති සරසවියෙන් ලබා ගත්තු පාඩම් එක්ක ඒ අය තමන්ටත් වඩා අනුන් වෙනුවෙන් ජිවත් වෙනවා.

    ReplyDelete
  3. හරිම සංවේදී කතාවක් අපුරුවට පරිවර්තනය කර තිබෙනවා ඔබ විසින්.මේ කතාවේ කියවෙන සමාජ පරිසරය තවමත් ඉන්දියාවේ ශේෂව තිබෙනවාද මන්දා?

    ReplyDelete

සෙවුම්