2016/10/01

හදවතේ වේදනාව
















මගේ හදවතේ අඩක් මෙතැන නම්, වෙදැදුරුතුමනි
ඉතිරි අඩ ඇත්තේ චීනයෙයි,
කහ ගඟ වෙත ගලා යන හමුදාව සමගිනුයි.
සෑම උදයකම හිරු නැගෙන වෙලාවට, වෙදැදුරුතුමනි
මා හදවතට ග්‍රීසියේදී වෙඩි තැබෙයි.
සෑම රැයකම, සිරකරුවන් නිදන කල,
ගිලන්හල පාලුවට ගිය විට, වෙදැදුරුතුමනි
ඉස්තාන්බුල් නුවර, ගරා වට පැරණි නිවෙසක් අස
මගේ හදවත නතර වෙයි.

ඉදින් දස වසරක් ඉක්ම ගිය තැන,
මා දුගී සොයුරු දන වෙත පිදීමට ඇත්තේ
මා අතැති මේ ඇපල් ඵලය පමණකි, වෙදැදුරුතුමනි
එකම එක රතු ඇපල් ඵලයකි: ඒ මගේ හදවතයි.

මගේ හදවතේ රිදුමට එයයි හේතුව වෙදැදුරුතුමනි,
නිකොටීන්, හිර ගෙදර හෝ නහරවල ලේ කැටි හෙම නොවෙයි.

බලමි මම යපොලු අතරින් රාත්‍රිය දෙස,
මා පපුව මත මේ බර තිබියදී වුව,
දුර ඈතම පිහිටි තාරකා සමග
මගේ හදවත තවමත් ගැහෙයි.
















(රැන්ඩි බ්ලේසිං සහ මුට්ලු කොනුක් තුර්කි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

10 comments:

  1. බොහොම ලස්සනයි...

    නසීම් හික්මෙට්, රෑන්ඩි බ්ලෙසින්, මුට්ලු කොනුන් ගැන ඇහුවෙත් අදමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභීෂණ. නසීම් හික්මෙට් ඉතා ප්‍රසිද්ධ කවියෙකු වුවත් ඔහුගේ නිර්මාණ සිංහලට නැගී ඇත්තේ අඩුවෙනුයි. ඒ නිසා සිංහල පාඨකයාට ඔහු අමුත්තෙකු වීම අරුමයක් නොවෙයි.

      Delete
  2. සිරකරුවෙක් සිරගත නොවූ සිතුවිල්ලක් වගේ.

    නිලුක ගේ "වදකයන් ලුහු බැඳ මියුනික් කරා" පරිවර්තන කෘතිය පසුගියදාක මිලදී ගත්තා.කියවා අදහසක් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. ඇත්තම කියනවා නම් මටත් පොත අතට ලැබුණේ ඊයේ, ලංකාවේ සිට මෙහි ආ මිතුරෙකු මගින්. මාත් එය යළි කියවන්නට පටන් ගත්තා. හේතුව මා එය පරිවර්තනය කර මුද්‍රණයට බාර දී වසර හතරක් පමණ ගතවී ඇති නිසා. කියවා ඔබේ අදහස් කියන්න. එය අපට මහත් රුකුලක්.

      Delete
  3. ඔබ පරිවර්තන කෘතියක් කළ බව දැනුයි දන්නේ. සතුටුයි. සුබ පැතුම්. අනිවාර්යයෙන්ම මිලදී ගන්නම්.

    ReplyDelete
    Replies
    1. "වදකයන් ලුහු බැඳ මියුනික් කරා" විජේසුරිය ප්‍රකාශනයක්.

      Delete
    2. ඔබේ සුබපැතුම්වලට ස්තූතියි ප්‍රභාත්. මනෝජ්, එය විජේසූරිය ප්‍රකාශනයක් නොවෙයි, විදර්ශන ප්‍රකාශනයක්.

      Delete
    3. ඔව් මට සමාවෙන්න.ලොකු වරදක් වුනේ පොත "විදර්ශන" නෙන්නම්.පොත ගන්න කලින් මම ජනක අයියා එක්ක නිලුකගේ බ්ලොග් එක ගැනත් කතා කෙරුවානේ.

      Delete
  4. Congratulations Niluka Aiya for releasing a new book. Really love to read it... but unfortunately I am not in Sri Lanka now. Sadly, will not be able to go back again soon as well. One day.... I ll read it definitely.

    ReplyDelete

සෙවුම්