2017/01/15

සිහිනය




මද්දහන් කල ගෙස්තානහුදෙකලා නිම්නයක
මා සිරුර වැතිරිණි එහි පාලු ඉවුර මත
යුදට ගොස් වෙඩි වැදී, ළයෙහි වෙඩි උණ්ඩ ය
වෑස්සිණි මා ලෙය වාලුකා තලය මත

ඒ ඈත නිම්නයේ වැතිරුණෙමි නිසලව
මුරට සිටියේ මා වටා සුවිසල් ගිරි ශිඛර
තෙදැති හිරු බැබළිණි මුදුන් වී ගගනත
වෑස්සිණි මා ලෙය නිම්නයේ පොළොව මත

වැතිර සිටිනා අතර සිහිනයෙන් දුටිමි මම
සිටිනයුරු ජන කැළ අතර එකලු කළ මැඳුරක
තුරුණු සහ ප්‍රාණවත් මනා වූ ළඳ ගණ
පිරී මන සන්තොසින් දෙඩුවෝය මා ගැන

එනමුදු ඒ කතා නොඇසුණු යුවතියක
දුටිමි සිටිනා සැටි කවුළුව අස තනිව
සෙස්සන් කියූ දේ නොවැටහුණු විලසට
නිසල වූ වුවනින්, ගලක් මෙන් ශීතලව

ඈත වූ නිම්නයක වාලුකා ඉවුර මත
දිය බිඳක් නොරඳන ගල් පර්වත අතර
දුබල ලේ ධාරා වැලි මතට වෑහෙන
මියගිය මා සිරුර සිහිනයෙන් ඈ දුටු බැවින
















( ඩබ්.කේ. මැතිව්ස් රුසියන් බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by Gustave Courbet.

8 comments:

  1. අපූරුයි...

    ඇන්දසන්ගේ කතාවක් පුලුවන්නම් දාන්න.... කියවන්න ලැමතී...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි. ඇන්ඩර්සන්ගේ කතාවක් දමන්නට බලන්නම්.

      Delete
  2. දෙවන බසකින් නැවත කරන ලද පරිවර්තනයක් වුනත් අපුරු ලෙස කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම ඉතා වටියි.

      Delete

  3. වාලුකා තීරයම රතු විල්ලුදක් මෙන් හද සිදුරැ වූ ලෙයින් තෙතබරිත පෙඟී ගිය
    අවසාන හෝරාවෙ ගිරි ශිඛර මත වැදී නින්නාද දෙන මියුරැ කිකිණි හඬ කොයිබින්ද
    උණ්ඩයක් මෙන් සෘජුව දරදඬුව පසෙක ලූ යොවුන් හදවත විලස සැලෙයි කඳු තුරු ගොමුව
    යුදබිමක් කියා ලොව නොවූවා නම් කිසිත් ඒ මිහිරි වීණාව සොයා යමි නිසැකවම

    කිසිදිනෙක හෙළි නොකළ බැවින් උණුසුමැති හද සීතලට ගල් ගැසී නිහඬ විය වීණාව
    එ'වීණාව තත් මඳින් මඳ සලිත කර වයන්නට කිසිදිනෙක යළිත් මට වරම් නැත
    එහෙත් වාලුකා තල අතර වන මැද වැතිර අවසන්ම චුම්භනය තබා යමි තුරැපතර
    මේ මහත් ලොව වසා ප්‍රේමයේ නමින් එය සියලු යුදබිම් මකා මිණිදැදිරි විය යුතුය

    ReplyDelete
  4. නිදහස්ව නිවහල්ව විඳිනා ප්‍රේමය එන්නේ මියෙන විට පමණමද... අපුරු පරිවර්තනයක්...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයේ තීව්‍රබව එවිට වැඩි වැඩියෙන් දැනෙනවා ඇති. සිංහල බ්ලොග් අවකාශයට ඔබ සාදරයෙන් පිළි ගන්නවා. සුබපැතුම්.

      Delete

සෙවුම්