හිම වැටිණි
දිගින් දිගටම මුළු ලෝකය පුරා,
වැසිණි
වැටෙනා හිමෙන්
ලොව එක්
කොණක සිට අනෙක් කෙළවර තෙක්.
දැවිණි
ඉටිපහනක් මේසය මත;
දැවිණි
ඉටිපහනක්.
ගිම්හානයේ
ගිනි සිලකට වදින්නට
කෝඳුරුවන්
රොද බඳිනා පරිද්දෙන්
බැහැර
මිදුලෙහි හිමපියලි
රොද බැඳී
කවුළු පියනෙහි වදින්නට
කවුළුවෙහි
වීදුරුව මත තැනුවේය හිම කුණාටුව
ඊතල, වක්‍ර
ඈ විවිධ වූ හැඩතල.
දැවිණි ඉටි
පහනක් මේසය මත;
දැවිණි ඉටි
පහනක්.
එළිය කළ
සිවිලිම මත
වැටිණි
විපරීත වූ සෙවණැලි:
බැඳුණු
අත්වල, හරස් කළ පාවල
බැඳුණු
ඉරණම්වල සෙවණැලි.
කුඩා
පාවැසුම් දෙකක්
පතිත විය
බිම හඬ නඟා.
ඉටිපහන්
රුකක රැඳි ඉටි පහනකින්
වැගිරිණි
ඉටි කඳුළු ඇඳුම් මත.
හිම සුදු
දුමාරය මැද,
අතුරුදන්
විය සියලු දේ.
දැවිණි ඉටි
පහනක් මේසය මත;
දැවිණි ඉටි
පහනක්.
හමා ආ
සුළඟකින් නැටවිණි පහන් සිල.
පෙළඹුමේ ධවල
දාහය,
උඩට පීරා
සිය සුරඟන පියාපත්
කුරුසියක්
වන් සෙවණැල්ලක් මැවී.
වැටිණි හිම
තදින් මුළු නවම් මස පුරා
නොනවත්වාම
මෙන්.
දැවිණි ඉටි
පහනක් මේසය මත;
දැවිණි ඉටි
පහනක්.
Painting by Konstantin Korovin