2020/10/18

පුනරාගමනය

 

ක්‍රමයෙන් විසල් වන සර්පිලාකාර පථයෙහි
කැරකි කැරකී ඉහළ යන උකුස්සා හට
නොඇසේ උගේ ස්වාමියා නඟන හඬ;‍
බිඳී විසිරී යයි සියල්ලම; 
පෙරමුණේ මධ්‍යයට තවත් දරා ඉනු නොහැක;
මුළු ලෝකය පුරා පැතිර ඇත හුදු අරාජිකබව,
හාත්පස ගලා රුධිරයෙන් අඳුරු වුණු වඩදිය,
අහිංසකබවේ ආගම ගිලී ගොසිනිය හැමතැන;
සියලු අවබෝධයෙන් තොර වෙත් සුදන ගණ,
ලාලසී වේගයෙන් ඇලලෙනුය දුදන කැළ.


යම් හෙළිදරව්වක් නිසැකවම අත ළඟය;
පුනරාගමනය* නිසැකවම ළඟ එනුය.
පුනරාගමනය! යන වදන මුවින් ගිලිහෙන්නටත් පෙර
ගැහැට පමුණුවයි මා නෙතට
විසල් රුවක් විශ්වාත්මයෙන්** නික්මුණ:
හිරු මෙන් ක්‍රෑර, හිස් බැල්මැති රුවක් නරසිංහ***
සෙමෙන් පා නඟයි කතරේ වැලි අතර කොහේදෝ සිට,
කතරෙහි සරන කිපුණු විහඟ සෙවණැලි කැරකෙයි එරුව වටකර.
යළි උදාවෙයි අඳුර; එනමුදු දනිමි දැන් මම
සියවස් විස්සක ශෛලමය නිද්‍රාව
පැද්දෙන තොටිල්ලකින් උපන් නපුරු සිහිනයකින් කෙළවර වූ වග.
අවසානයේ සිය කල පැමිණි, කවර නම් රළු මෘගයකු
බෙත්ලෙහෙම කරා ඇදෙන්නෙද අශෝභන ලෙස
යළි උපත ලබන්නට?









- විලියම් බට්ලර් යේට්ස් (1865-1939)


* පුනරාගමනය හෙවත් දෙවැනි පැමිණීම (Second Coming)- මීට වසර දෙදහසකට පමණ ඉහතදී ස්වර්ගයට උත්ථාන වූ ජේසුස් වහන්සේ දෙවැනි වරටද මෙලොවට යළි පැමිණෙන්නේය යන ක්‍රිස්තියානි විශ්වාසය.


** විශ්වාත්මය (Spiritus Mundi)- ලෝකය බිහිවූ දා පටන් මානව වර්ගයා තුළ නිර්මාණය වූ මතක අන්තර්ගත විශ්ව ආත්මයක් ඇතැයි යේට්ස් විශ්වාස කළේය. සියලු නිර්මාණකරුවන් සිය අනුප්‍රාණය සහ පරිකල්පනය ලබන්නේ මෙකී විශ්වාත්මයෙනැයිද යේට්ස් ඇදැහූයේය.


***මිනිස් හිසක් සහ සිංහ සිරුරක් ඇති Sphinx නම් ඊජිප්තු මිථ්‍යා සත්ත්වයාගේ ශෛලමය ප්‍රතිමාව



1919 දී පළමුවැනි ලෝකය යුද්ධය අවසාන වීමත් සමඟම පාහේ යේට්ස් විසින් ලියන ලද The Second Coming නම් වූ මෙම කවියෙන්, පුනරාගමනය හෙවත් දෙවැනි පැමිණීම යනුවෙන් හැඳින්වෙන ස්වර්ගයට උත්ථාන වූ ජේසුස් වහන්සේ නැවතත් මෙලොවට පැමිණෙතැයි යන ක්‍රිස්තියානි සංකල්පයට ඉතා ප්‍රබල විකල්ප සංකල්පයක් ඉදිරිපත් කරයි. ස්වර්ග රාජධානිය ප්‍රකාශ කරමින් ජේසුස් වහන්සේ පුනරාගමනය වීමේ චිත්ත රූපය වෙනුවට කවියා මනැසෙහි මවා ගන්නේ කාන්තාරයේ ඇති භයානක මිථ්‍යා සත්ත්වයකුගේ සෙල්රුවක් යළි උපදින්නට බෙත්ලෙහෙම කරා සෙමෙන් ඇදෙන දර්ශනයක චිත්ත රූපයකි. ඒ වනාහී ගැලවුම්කාරයකුගේ ස්වරූපයෙන් පුනරාගමනය කරන ජේසුස් වහන්සේට සපුරාම වෙනස් රළු මෘගයෙකි. මේ රළු මෘගයා උපදින්නට යන්නේ, සියලු අහිංසකත්වය රුධිරයෙහි ගිලී ගිය, සියල්ල කැඩී බිඳී විසිරී ගිය, අරාජිකබවෙන් විනාශයට පත්වූ ලෝකයකය. එබැවින්, එවන් ලොවක සිදුවන දෙවැනි පැමිණීමද මීට වසර දෙදහසකට පෙර සිදුවූ කිතු උපතට වඩා වෙනස් එකක් බවට කවියා ඉඟිකරයි. සමාජයේ බිඳවැටීම ඉතා සවිස්තරව ඉදිරිපත් කරන, අතිශය ප්‍රබල හා විචිත්‍ර චිත්ත රූපවලින් යුත් මේ කවිය යේට්ස් විසින් ලියන ලද කවි අතර විශිෂ්ට ස්ථානයක් උසුලයි. 

Painting by Karl Wilhelm Diefenbach 


1 comment:

  1. හොඳ පරිවර්තනයක්. දැන් මේ කොවිඩ් 19 නිකන් යේට්ස් කිව්ව වගේ නේද.

    ReplyDelete

සෙවුම්