සරත් සමයේදී
යුද්ධය දිගින් දිගටම පැවතියද අපි තවත් එයට නොගියෙමු. මිලානෝ නුවර සරත් ඍතුව දැඩි
ලෙස ශීත වූ අතර ඉක්මනින් අඳුරු වැටිණි. අනතුරුව විදුලි පහන් දැල්විණි. වීදියේ සිට
බලන විට පෙනෙන ආලෝකවත් ජනේල ප්‍රසන්න දසුනක් මවා පෑය.
වෙළෙඳසල්වල පිටත දඩයම් කරන
ලද සතුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් එල්ලා තිබිණි. නරින්ගේ ලෝම පිරුණු සම් මතුපිට
හිම ධූලි තැවරී තිබූ අතර සුළඟට උන්ගේ වල්ගා සෙලවිණි. ඇතුළත හිස්, මුව මළ සිරුරු
දරදඬු සහ බරැති ලෙස එල්ලී තිබුණේය. කුඩා කුරුල්ලන්ගේ සිරුරු සුළඟෙහි ඒ මේ අත වැනිණි.
සුළඟෙන් උන්ගේ පිහාටු හැරිණි. එය ශීතල සරත් සමයක් වූ අතර කඳුකරයේ සිට සුළඟ හමා
ආවේය.
සෑම සවස්
භාගයකම අපි සියලු දෙනාම රෝහලට ගියෙමු. ගොම්මන් අඳුර අතරින් රෝහල වෙත ඇවිද ගෙන
යාමට නගරය පුරා එකිනෙකට වෙනස් පාරවල් කිහිපයක්ම තිබිණි. ඇල මාර්ග ඔස්සේ වැටුණු පාරවල් දෙකක් වූවද ඒවා
දීර්ඝ විය. කෙසේවුවද, රෝහලට ඇතුළු වීමට නම් කෙනෙකුට ඇල මාර්ග මතින් වැටුණු
පාලමකින් එතෙර වීමටම සිදු වූයේය. එවැනි පාලම් තුනක් තිබිණි. ඉන් එකක් මත ගැහැනියක්
කර කරන ලද චෙස්නට් ගෙඩි විකුණුවාය. ඇගේ අඟුරු උඳුන ඉදිරිපිට සිටගෙන සිටින විට ගත
උණුසුම් වූ අතර පසුව කර කරන ලද චෙස්නට් ගෙඩි සාක්කුවේ දමා ගත් විට ඒවායින්
උණුසුමක් ලැබිණි. රෝහල ඉතා පැරණිද මනරම්ද
විය. ගේට්ටුවකින් ඊට ඇතුළු වන කෙනෙකුට මැදමිදුලක් හරහා ඇවිද ගොස් තවත් ගේට්ටුවකින්
අනෙක් පැත්තට පිටවී යා හැකිය. මේ මැද මිදුලෙහි බොහෝ වේලාවට අවමංගල්‍ය උත්සව
පැවැත්විණි. පැරණි රෝහලෙන් ඔබ්බෙහි පිහිටියේ ගඩොලින් ඉදිකරන ලද නව ක්‍රීඩාගාර ය.
සෑම සවස් වරුවකම එහිදී හමුවන අපි ඉතා විනීත ලෙසත් එතැන කෙරෙන කාර්ය
සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් යුතුවත් අපගේ තත්ත්වය දැඩි ලෙස වෙනස් කිරීමට
සමත්යැයි කියන ඒ යන්ත්‍ර මත වාඩි වී සිටියෙමු.

