2011/11/07

යුදට ගිය පුතු










-ලුයිජි පිරන්දෙල්ලෝ (1867-1936)

රාත්‍රී සීඝ්‍රගාමී දුම්රියෙන් රෝමයේ සිට පිටත් වූ මගීන්ට ෆබ්රියානෝ හි පිහිටි කුඩා දුම්රිය පොළක අලුයම වනතුරු රැඳී සිටීමට සිදුවූයේ ප්‍රධාන දුම්රිය මාර්ගය සුල්මෝනා තෙක් සම්බන්ධ කළ මාර්ගයෙහි ධාවනය වන කුඩා, පැරණි පන්නයේ ප්‍රාදේශීය දුම්රිය පැමිණෙන තුරුය.

අලුයම උදාවූ විට, මිනිසුන් පස් දෙනෙකු රාත්‍රිය ගත කරනු ලැබූ දුමින් පිරුණු තද බද වූ දෙවැනි පන්තියේ දුම්රිය මැදිරියට , අවමංගල්‍යයකදී අඳින කලු ඇඳුමෙන් සැරසුණු තරබාරු කාන්තාවක කිසිදු හැඩයකින් තොර බර පොදියක් මෙන් ඔසවා තබනු ලැබුවාය. නහයෙන් පිඹිමින් සහ කෙඳිරි ගාමින් ඇගේ ස්වාමි පුරුෂයා ඈ පසුපසින් මැදිරියට ගොඩවූයේය. දුර්වල,කෙට්ටු, කුඩා මිනිසෙකු වූ ඔහුගේ මුහුණ මළ මිනියක් මෙන් සුදුමැළි වූ අතර ඔහුගේ කුඩා දීප්තිමත් දෑ‍සෙහි ලජ්ජාශීලීබවක්ද අසහනයට පත් බවක්ද දක්නට ලැබිණි.

අවසානයේදී අසුනක හිඳගත් හෙතෙම සිය බිරියට දුම්රියට ගොඩවන්නට උදව් කොට ඇයට වාඩිවීමට ඉඩ සාදා දුන් මගීන්ට විනීත ලෙස ස්තූති කළේය. ඉන් අනතුරුව සිය බිරිය දෙසට හැරුණු ඔහු ඇයගේ කබායේ කොලරය පහත් කරන්නට වෑයම් කරමින් “ ඔයා හොඳින් නේද? ”යි ආචාරශීලී ලෙස ඇගෙන් ප්‍රශ්න කළේය.

ඔහුගේ බිරිය ඊට පිළිතුරු දෙනු වෙනුවට කළේ සිය මුහුණ සඟවා ගන්නට මෙන් කබායේ කොලරය දෑස තෙක් ඔසවා‍ ගැනීමය.

“මහ නපුරු ලෝකයක්”. ඇගේ සැමියා ශෝකී සිනහවකින් තොල් මතුළේය.

තමන් දෙදෙනාගේ මුළු ජීවිතයම කැපකොට හදා වඩාගත් විසි හැවිරිදි යෞවනයකු වූ  සිය එකම පුතා යුද්ධය විසින් පැහැරගනු ලැබීමට යෑම ගැන මේ අසරණ ගැහැනියට අනුකම්පා කළයුතු වග දුම්රිය මැදිරියේ සිටි ගමන් සගයන්ට පැහැදිලි කර දීම සිය යුතුකම බව ඔහු සිතුවේය. වෙනකක් තබා ශිෂ්‍යයකු ලෙස ඔහු රෝමයට යන විට ඒ සමග යෑමට සුල්මෝනාවෙහි වූ සිය නිවෙසද ඔවුන් අත්හැර දමා තිබිණි.අඩුම වශයෙන් සය මසක් යනතුරුවත් යුද පෙරමුණට නොයවන්නේය යන සහතිකය මත ඔහුට ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳීමටද ඔවුන් අවසර දී තිබිණි. දැන්, හදිසියේම, දින තුනකින් ඔහු යුද පෙරමුණට යවන බවත් ඊට පෙර ඔහු බැහැදැක ඔහුට ආයුබෝවන් කියන ලෙසත් දන්වා ඔවුන්ට විදුලි පුවතක් ලැබී තිබුණේය.


සිය විසල් කබාය ඇතුළත ඇඹරෙමින් සිටි ඇය විටින් විට කැලෑ සතෙකු මෙන් ගෙරවූවා, මේ කවර කරුණු පැහැදිලි කරදීමකින්වත් මැදිරියේ හුන් මිනිසුන් -‍බොහෝවිට තමාගේ ඉරණමටම මුහු‍ණ පා සිටි ඒ මිනිසුන්- තුළ අනුකම්පාවේ ඡායා මාත්‍රයක් වත් ජනිත නොකරන බව නිශ්චිත වශයෙන්ම දැන සිටියාය. ඔවුන් අතර සිට මේ කතාවට විශේෂ අවධානයක් දක්වමින් අසා සිටි අයෙක් කතා කළේය :

“ඔහේලගේ පුතා දැන් යුද පෙරමුණට යවන එක ගැන ඔහේලා දෙවියන්වහන්සේට ස්තූති කරන්න ඕනෑ. මගේ පුතාව යුද පෙරමුණට යැව්වේ යුද්දෙ පටන් ගත්තු පළමුවැනි දවසෙමයි. එයා තුවාල ලබලා දෙපාරක් ආපහු ආවා. දැන් ආයෙමත් යුද පෙරමුණට යවලා.”

“මගේ පුත්තු දෙන්නෙකුයි බෑණලා තුන්දෙනෙකුයි යුද පෙරමුණේ ඉන්නවා.” තවෙකෙක් කීය.

“වෙන්න පුළුවන්. ඒත් මේ අපේ එකම පුතා.” කාන්තාවගේ සැමියා කීවේය.

“මොකක්ද ඒකේ ඇති වෙනස. ඔහේලගේ එකම පුතාට ඕනැවට වඩා ආදරය පාලා එයාව නරක් කරන්න පුළුවන්. ඒත් ඔහේලට තව ළමයි හිටියා නම් ඒ අයට වඩා මේ පුතාට ආදරය කරන්න ඔහේට බෑ. තාත්තා කෙනෙකුගේ ආදරය කියන එක පාන් ගෙඩියක් වගේ එක සමාන කෑලිවලට කඩලා ළමයි අතරෙ බෙදලා දෙන්න බෑ. ළමයි එක්කෙනෙක් නෙවෙයි දහ දෙනෙක් හිටියත් තාත්තා කෙනෙක් කිසිම වෙනසක් ක‍රන්නේ නැතිව තමන්ගේ හැම ළමයෙකුටම තමන්ගේ සම්පූර්ණ ආදරයම දෙනවා.  දැන් මම මගේ පුත්තු දෙන්නා‍ ගැන හිතලා විඳවනවා නම් මගේ ඒ විඳවීම බාගෙ බාගෙ ඒ දෙන්නා අතර බෙදිලා යන්නේ නෑ. මගේ විඳවීම දෙගුණයක් වෙනවා විතරයි....”

“ ඇත්ත.... ඇත්ත....” ලැජ්ජාවට පත් ස්වාමි පුරුෂයා සුසුම් හෙලමින් කීවේය. ඒත් හිතලා බලන්න (ඔහේට නම් එහෙම දෙයක් හීනෙන්වත් සිද්ද වෙන්න එපා) තාත්තා කෙනෙකුගේ පුත්තු දෙන්නෙක් යුද පෙරමුණේ සටන් කරනවා. එයින් එක්කෙනෙක් මැරුණත් තාත්තව සනසවන්න තව කෙනෙක් ඉතිරි වෙනවා. ඒත් අපට....”

“ඔව්,” අනෙකා පිළිතුරු දුන්නේ මඳක් කෝපයෙනි. “ ඔව් සැනසීම ලබන්න එක පුතෙක් ඉතිරි වෙනවා තමයි. ඒත් අනෙක් පුතාගේ මරණය ගැන හිතලා ජීවිතය තියෙනකම්ම දුක් විඳින්න වෙනවා. එක පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් ගත්තහම පුතා මැරුණොත් තාත්තටත් දුක් නොවිඳ ඒ මත්තෙම මැරෙන්න පුළුවන්. මේ දෙකෙන් වඩා නරක තත්ත්වය කොයිකද? ඔහේට පේන්නෙ නැත්ද මගේ තත්ත්වය ඔහේගෙ තත්ත්වයට වඩා නරක බව ?”

“විකාර,” තවත් මගියෙක් ඔවුන්ගේ කතාවට බාධා කළේය. රතු පැහැති මුහුණක් සහිත තරබාරු මිනිසෙකු වූ ඔහුගේ ලා අළු පැහැති දෙනෙත රතු වී තිබිණි.

ඔහු හති දමමින් සිටියේය. ඔහුගේ දුර්වල සිරුරට දරා ගත නොහැකි තරමේ පාලනය කළ නොහැකි ජීවගුණයකින් උපන් අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයක් ඔහුගේ නෙරා ගිය දෙනෙතින් නික්මෙන බවක් පෙනෙන්නට තිබිණි.
ඉදිරිපස වැටුණු දත් දෙක ‍නොපෙන්වන්නට මෙන් දෑතින් සිය මුව වසාගන්නට තැත් කරමින් “ විකාර,” යැයි ඔහු යළිත් කීවේය. “විකාර. අපි ළමයින්ට ජීවිතය දෙන්නේ අපිට පෞද්ගලික වාසියක් ලබා ගන්නද?”
අනෙක් මගීහූ ඔහු දෙස සංවේගයෙන් යුතුව බලා සිටියහ. යුද්ධය ඇරඹුණු දා පටන් සිය පුතා යුද පෙරමුණෙහි සිටින තැනැත්තා සුසුමක් හෙළීය: “ ඔහේ හරි. අපේ ළමයින් අපට අයිති නෑ. ඒ අය අයිති අපේ රටටයි....”
“බම්බුව,” තරබාරු මගියා කඩා පැන්නේය. “ අපි ළමයින්ට ජීවිතය දෙන කොට රට ගැන හිතනවද? අපේ පුත්තු උප‍දින්නේ.... අපේ පුත්තු උපදින්නේ ඒ අය උපදින්න අවශ්‍ය නිසා. මේ ලෝකෙට එනකොට අපේ ජීවිතත් අරගෙනයි ඒ අය එන්නේ. මේකයි ඇත්ත කතාව. අපි ඒ අයට අයිති වුණාට ඒ ගොල්ලො කවදාවත් අපිට අයිති නෑ. ඒ ගොල්ලන්ට අවුරුදු විස්ස වෙනකොට ඒ අය හරියටම ඒ වයසෙදි අපි හිටිය වගේමයි.  අපටත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා තමයි. ඒත් ඒ හැර තවත් කොච්චර නම් දේවල් තිබුණද ? ගෑනු ළමයි, සිගරැට්, හීන, අලුත් ටයි පටි... එතකොට අපේ රට. අපිට අවුරුදු විස්ස කාලෙදී කවුරු කියන එකද අපි අහන්නේ ? දෙමවුපි‍යන් එපා කිව්වත් කාගේ අඬගැහිල්ලටද අපි ඇහුම්කන් දෙන්නේ ? දැන් මේ වයසෙදි වුණත් අපි අපේ රටට කොච්චර ආදරය කරනවද ? හැබැයි ළමයින්ට තියෙන ආදරය ඊට වඩා වැඩියි. තමන්ට පුළුවන්කම තියෙනවා නම් බොහෝම සතුටින් යුද පෙරමුණේ ඉන්න තමන්ගෙ දරුවගෙ තැන ගන්න ඉදිරිපත් නොවන කෙනෙක් මෙතැන ඉන්නවද?”

හාත්පස වූයේ නිහඬබවකි. සියලු දෙනාම ඒ කතාව අනුමත කරන්නට මෙන් හිස් සැලූහ.

තරබාරු මිනිසා දිගටම කතා කරන්නට විය: “ ඇයි එහෙමනම් අපි අපේ අවුරුදු විස්සේ දරුවන්ගේ හැඟීම් ගැන නොසලකා ඉන්නේ?  ඒ වයසෙදි ,  ඒ අය අපට තියෙන ආදරයට වඩා ආදරයක් රටට තියෙන බව සැලකීම ස්වභාවික දෙයක් නෙවෙයිද ? (මං මේ කතා කරන්නේ වැදගත් තරුණ ළමයි ගැනයි.) මොනවත් කර ගන්න බැරි නිසා ගෙදරට වෙලා ඉන්න ඕනෑ මහල්ලන් හැටියට අවසානයේදී ඒ අය අපි දිහා බලන එක ස්වභාවික දෙයක් නෙවෙයිද මං අහන්නේ ? මාතෘ භූමිය කියලා දෙයක් පවතිනවා නම්, මාතෘ භූමිය කියන්නේ සාගින්නෙන් නොමැරී ඉන්න කෑමට ගන්න ඕනෑ පාන් වගේ ස්වභාවික අවශ්‍යතාවයක් නම්,  කවුරු හරි ඒක ආරක්ෂා කරගන්න පෙරමුණට යන්න ඕනෑ. ඉතින් අපේ පුත්තු අවුරුදු විස්සෙදි ඒ වැඩේට යනවා.ඒ අයට අපේ කඳුළු දකින්න වුවමනාවක් නෑ. මොකද ඒ අය මැරුණත් මැරෙන්නේ සතුටෙන්, අභිමානයෙන්. (මං මේ කතා කරන්නේ වැදගත් තරුණ ළමයි ගැනයි.) කවුරුහරි කෙනෙක් තරුණයෙක්ව ඉන්දැද්දී ජීවිතයේ අවලස්සණ පැත්ත දකින්නේ නැතිව, ජීවිතයේ නීරස බව විඳින්නේ නැතිව, යථාර්ථයේ කටුකබව, සුළු බව දකින්නේ නැතිව සතුටෙන් මැරෙනවා නම් ඒ කෙනා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රාර්ථනා කරන්න ඕනෑ මොකක්ද ? හැමෝම අඬන එක නවත්වන්න ඕනෑ. මං වගේ හැමෝම හිනාවෙලා ඉන්න ඕනෑ.  මං වගේ.... දෙවියන්වහන්සේට ස්තූති වෙන්න ඕනෑ .... මොකද මගේ පුතා මැරෙන්න කලින් මට පණිවිඩයක් එව්වා එයා මැරෙන්නේ සතුටින්ය, තමන් බලාපොරොත්තු වෙච්චි හොඳම විදියට ජීවිතය ගෙවා අවසන් කරලය කියලා. ඒ හින්දා තමයි, ඔහේලට පේනවා ඇති, මං අවමංගල්‍ය ඇඳුම්වත් අඳින්නේ නැත්තේ....”

ඔහු සිය පඬුවන් පැහැති සැහැල්ලු කබාය ගසා දැම්මේ එය පෙන්වන්නට මෙනි. වැටුණු දත්වලට උඩින් වූ ඔහුගේ සුදුමැළි දෙතොල සැලිණි. ඔහුගේ දෑස තෙත්වී තිබුණු අතර ඒවා නිශ්චල වූයේය. ඉකිබිඳුමක් විය හැකිව තිබූ කෙටි උච්ඡස්වර සිනහවකින් ඔහු කතාව අවසන් කළේය.

“ඒක තමයි.... ඒක තමයි....” කියමින් සෙස්සෝ ඔහු හා එකඟ වූහ.
සිය කබාය තුළ ගුලිවී මැදිරියේ මුල්ලක වාඩිවී මේ කතාබහ අසා සිටි කාන්තාව, තමා ඇතුළත වූ ගැඹුරු ශෝකය තුනී කර ගන්නටත්, මරණයට නොව ජීවිතයට අනතුරක් විය හැකි දෙයක් වෙත පවා සිය පුතු යවන්නට අම්මා කෙනෙකු හිත හදාගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන්නටත් සමත්  යමක් සොයා ගැනීමේ අරමුණෙන් පසුගිය තුන් මස තිස්සේම සිය සැමියාගේ සහ සිය මිතුරියන්ගේ වචනවලට සවන් දුන්නාය. එහෙත් ඇය ඇසූ වචන බොහෝ ගණනක් තුළ එවන් යමක් ඇයට හමු නොවූ අතර ඇය සිතූ ආකාරයට, කිසිවෙකුත් ඇය‍ගේ හැඟීම් වටහා ගෙන බෙදා හදාගත් ‍නොගත් හෙයින්  ඇයගේ වේදනාව දෙගුණ තෙගුණ විය.

එහෙත් දැන් මේ මගියාගේ වචන ඇය විස්මයට පත්කොට තෝන්තු ස්වභාවයකට පත් කළේය. තමා වටහා ගන්නට අසමත් වී ඇත්තේද වැරදි වැටහීමක පිහිටා සිටින්නේද අනුන් නොව සිය පුතුන්ගේ නික්ම යෑම පමණක් නොව ඔවුන්ගේ මරණය විෂයෙහි පවා නොසැලී  සිටින දෙමවුපියවරුන්ගේ තත්ත්වයට නැගී සිටිය නොහැකි තමාම බව ඇයට හදිසියේම වැටහිණි.

ප්‍රීතියෙන් යුතුව සහ කිසිදු පසුතැවිල්ලකින් තොරව සිය මවුබිම සහ රජතුමා වෙනුවෙන් සිය පුතු වීරයකු මෙන් දිවිදුන් අයුරු තරබාරු මිනිසා සිය ගමන් සගයන්ට විස්තර සහිතව පවසන විට ඊට මහත් අවධානයෙන් යුතුව ඇහුම්කන් දීමට වෑයම් කරමින්  ඕ සිය හිස ඔසවා හිඳ සිටි මුල්ලෙන් මෑත් වූවාය. තමා සිහිනෙන් වත් අපේක්ෂා නොකළ ලොවකට, තමා මෙතෙක් කලක් දැන නොසිටි ලොවකට ඇය ප්‍රවේශ වූ බවක් පෙනිණි.  සිය දරුවාගේ මරණය ගැන හැඟීම් විරහිත අයෙකු මෙන් කතා කිරීමට හැකියාවක් ඇති ඒ නිර්භීත පියාට ප්‍රශංසා කිරීම සඳහා සියලු දෙනාම එක්වනු ඇය සතුටෙන් යුතුව අසා සිටියාය.

එහෙත් හදිසියේම, මෙතෙක් වේලා කතාබහ කෙරුණු දේ තමාට නොඇසුණාක් මෙන්ද සිහිනයකින් අවදි වූවාක් මෙන්ද ඇය එක්වරම ඔහු දෙසට හැරී ප්‍රශ්නයක් නැගුවාය.

“එතකොට .... ඔහේගෙ පුතා ඇත්තටම මැරිලද ?”

සියලු දෙනාම ඇය දෙස බලා සිටින්නට වූහ. ඉදිරියට නෙරා ගිය, අධික ලෙස තෙත් වූ, ලා අළු පැහැති දෑස ඇයගේ මුහුණ වෙත රඳවා ගෙන තරබාරු මහලු මිනිසාද ඇය දෙස බලා සිටියේය.  ඊට පිළිතුරක් දෙන්නට ඔහු වෑයමක් දැරුවද ඔහුගේ මුවට වචන ගලා ආවේ නැත. ඔහු ඇය දෙස දිගින් දිගටම බලා සිටින්නට වූ අතර මේ මුග්ධ, නොගැළපෙන ප්‍රශ්නය කරණ කොට ගෙන, අවසානයේදී සිය පුතු සැබැවින්ම මිය ගොස් ඇති බවත්, යළි නොඑන්නටම පිටව ගොස් ඇති බවත් එක්වරම ඔහුට වැටහිණි.  ඔහුගේ මුහුණ හැකිළී ඇදවී විරූප විය.  සාක්කුවෙන් වහා ලේන්සුවක් ඇද ගත් හෙතෙම සියලු දෙනාම විස්මයට පත් කරමින්, ළය පැලී යන තරම් වූ ශෝකයෙන් යුතුව අස්වසාලිය නොහැකි ලෙස ඉකිබිඳිමින් හඬන්නට වන්නේය. 

7 comments:

  1. ළමා කළ චෙකෝෆ් ගේ හෝ මෝපසං ගේ කෙටි කතාවක් කියවනවා මෙන් එකදිගට කියව රස වින්දෙමි .ගිය සිය වසේ 30 දශකයට ඔබ මා ගෙන ගියේ ඔබ සතු අපූරු වචන කෝෂය නිසාය
    අපේ රටට හොඳ පරිවර්තන සාහිත්‍යයක් නොතිබීමේ අනිටු පලය අද මාධ්‍ය හරහා මොනවට නරඹමු , අසමු,
    මේ කටයුත්ත මෙතනින් නැවතී නම් ඔබගේ පරිවර්තන රස විඳින්නට ,ඉපදෙන්නට සිටින බොහෝ පාඨකයනට ඔබ පිටුපානු ඇත . ඔබට පින් !
    නාරද විජයසූරිය

    ReplyDelete
  2. හිතවත් නාරද, ඔබේ දිරිගැන්වීමට බොහොම ස්තූතියි. ඔබ මෙය කියවන බව දැනගැනීම සතුටක්.

    ReplyDelete
  3. මට හිතෙන්නෙ පරිවර්තන සාහිත්‍යයක් නෑ කියල නෙවෙයි. නමුත් ඒව කියවන්න පෙළඹවීමක් නෑ. දැන් තියෙන ගොඩක් පරිවර්තන කියවන එක ලේසි නෑ. පරිවර්තනය නිරසයි. මේ ගැන කේ.ජී. කරුණාතිලක මහත්තය එයා පරිවර්තනය කරල තියෙන රොබින්සන් ක්රූසෝ පොතේ දිගට ලියල තිබුණ. ගොඩක් පරිවර්තන වෙන්නෙත් ඒවයෙ මුල් කෘතියෙන් නොවෙන නිසා සිංහලට හැලෙද්දි ඒකෙන් 50%ක් විතර හැලිලයි තියෙන්නෙ. එහෙම නොවෙන අවස්ථා ඕන තරම් තියෙනව තමයි. නමුත් කියවන මිනිහට ඒක ගැන කතාකරන්න, අනිත් කෙනෙක්ව පොළඹවන්න හිතෙන විධියෙ පරිවර්තන මෑතකදි නම් මට අහුවුණේ නැති තරම්... :-(

    ReplyDelete
  4. @ hare

    ඔබේ අදහස සමග එකඟ වෙමි.

    ReplyDelete
  5. හොද පරිවර්තනයක් එනවනම් කියවන අය ඕන තරම් ඉන්නවා. ඔබේ උත්සහයට ජය................. දිගටම ලියන්න. අපි එනවා කියවන්න.

    ReplyDelete
  6. ලංකාවෙත් මෙවැනි අම්මලා තාත්තලා දහස් ගණනක් ඉන්නවා.

    ReplyDelete
  7. මේක නම් හරිම ලස්සනයි.බොහොම පින් පරිවර්තනය කලාට.....

    ReplyDelete

සෙවුම්