2021/07/24

ගංගාවක්

 



 







නගර ගැන, දෙවොල් ගැන
ගැයූ කවියන්ගේ මෙන්ම
දෙවොල්වල නගරය වූ
මදුරෙයි නුවර,
සෑම ගිම්හාන කලෙකම
නිරාවරණය කරමින්‍ වැලිපර
ගඟක් වියැළී යයි
සිහින් දිය දහරක් බවට
වාලුකා තලය මත.
මල කෑ යපොලු ඇති සොරොවු
අවහිර කරයි පිදුරු හා ගැහැනු කෙස්
සැමතැන පිළිසකර කළ
අණ්ඩ දැමූ පාලම් යට.
නිදිබර කිඹුලන් සේ දිලෙයි
ගල්කුළු වතුරෙන් තෙමුණ
වියළි ගල්කුළු පෙනෙයි
අවුව තපිනා මී හරකුන් විලස.
කවියන් ගැයූවේ ගංවතුර ගැන පමණය.
 
ගංවතුර ගලන සමයේ දිනෙක
ඔහු එතැන සිටියේය.
අඟල් ගණනින් ඉහළ යන ජලය ගැන,
නාන මංකඩවල වතුරෙන් යටව ගිය
හරිම පඩි ගණන ගැන,
ගමක පැල්පත් තුනක්, ගැබිනියක සහ
හැමවිටම මෙන්
ගෝපි හා බ්‍රින්දා යන නම් ලද 
එළදෙනුන් දෙදෙනකු
ගංවතුරට ගසාගෙන ගිය සැටි ගැන
මිනිස්සු දෙඩුවෝය හැම තැන.
 
නව කවීහූ තවමත්
උපුටා දැක්වූහ පැරැණි කවියන් කී දෑ
එනමුදු ඉන් එකකුවත්
නොලියූවේය කවි ඉතින්
උපදින්නටත් පළමුව
හිස් බිත්තිවලට පයින් ගැසූ
නිවුන්නුන් සමඟ ඇතැම්විට
ගිලී ගිය ගැබිනි මව ගැන.
 
ඔහු මෙසේ කීවේය:
 
කාව්‍යමයබව ඇතිවන තරමට
ගඟෙහි දිය ඇත්තේ වසරකට වරකිය
එකල්හී එය පළමු අඩ-පැය තුළ
රැගෙන යයි ගමක පැල්පත් තුනක්,
ගෝපි හා බ්‍රින්දා නම් එළදෙනුන් දෙදෙනකු,
ඔවුනොවුන් වෙන්කර හඳුනා ගන්නට
වෙන වෙන පාට ඉණකඩ ඇන්දූ
සිරුරුවල ලප නැති, එක හා සමාන
නිවුන්නුන් ලැබෙන්නට සිටි
එක් ගැබිනි ගැහැනියක.







 
-ඒ.කේ. රාමනුජන් (1929-1993)

2 comments:

  1. අගෙයි, කන්නඩ වලින් ලියු කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් කියෙව්වාට. ඔව් රාමනුජන් කන්නඩ සහ ඉංගිරිසි දෙබසින්ම ලියා තිබෙනවා. මේක ඉංගිරිසියෙන් ලියූ එකක පරිවර්තනයක්.

      Delete

සෙවුම්