2015/12/31

දියෙහි ගිලී මළ කඩවසම්ම මිනිසා





මුහුදේ සිට තමන් වෙතට ඇදී එන මනා හැඩයෙන් යුත් අඳුරු පොදිය පළමුවෙන්ම  දුටු ළමුන් සිතුවේ එය සතුරු නැවක් බවය. එහි කොඩිවත්, කුඹගස්වත් නුවූ හෙයින් ඒ තල්මසෙකු විය යුතුයැයි ඔවුහු ඊළඟට සිතූහ. එහෙත් එය වෙරළට ගොඩ ගසා, ඒ වසාගෙන තිබූ මුහුදු පැලෑටිත්, ජල්ලි අඬුත්, මාලු කටු හා වෙනත් සුන්බුන් ආදියත් ඉවත් කළ විට ඒ සිටින්නේ දියෙහි ගිලුණු මිනිසෙකු බව ඔවුන්ට පෙනිණි.

ගිලුණු මිනිසාගේ සිරුර වැල්ලෙහි යට කරමින්ද යළි සාරා උඩට ගනිමින්ද මුළු සවස් වරුව පුරාම ඔවුහු ඔහු සමග සෙල්ලම් කළහ. මෙය අහම්බෙන් මෙන් දුටු කෙනෙක් ගමට පණිවිඩය පතුරුවා හැරියේය. තමන් දැක ඇති කිසිදු මැරුණු මිනිසෙකුට වඩා ඔහු බරැති බව මළසිරුර ළඟම තිබූ නිවෙස වෙත ඔසවා ගෙන ගිය මිනිසුන්ට වැටහිණි.  ඔහු අසෙකු තරමට බර වූයෙන් ඔහු ඇතැම්විට දිගු කලක් මුහුදේ පාවෙන්නට ඇති බවත් ජලය ඇටකටුවලට උරාගැනීම නිසා මෙතරම් බර වී ඇති බවත් ඔවුහු එකිනෙකාට පවසා ගත්හ. ඔහු බිම තැබූ විට ඔහුගේ සිරුරට නිවෙසේ ඉඩකඩ සෑහුණේ යන්තමින් බැවින් අනෙක් සෑම මිනිසෙකුටම වඩා ඔහු උසැති බව ඔවුහු පැවසූහ. මරණයෙන් පසුවත් දිගින් දිගටම වර්ධනය වීමට ඇති හැකියාව සමහර ගිලුණු මිනිසුන් තුළ නිසගයෙන්ම තිබීම ඇතැම්විට මේ උසට හේතු වන්නට ඇතැයි ඔවුහු අනුමාන කළහ. ඔහු කෙරෙන් මුහුදේ ගන්ධය වහනය විය. ඒ මිනිසෙකුගේ මළ සිරුරකැයි කෙනෙකුට සිතාගත හැකි වූයේ ඔහුගේ හැඩයෙන් පමණකි. මන්දයත්, මඩ සහ කොරපොතු තට්ටුවකින් ඔහුගේ සිරුර වැසී තිබූ හෙයිනි.

මළ මිනිසා අමුත්තෙකු බව වටහා ගැනීමට ඔහුගේ මුහුණ සෝදා පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් නොවීය.  මුළු ගම්මානයම සමන්විත වූයේ කාන්තාරයක් බඳු බිම්තුඩුවෙහි අගට වන්නට පැතිර තිබූ මල්වලින් තොර ගල්බොරලු ගෙවතුවලින් යුත් ලී ගෙවල් විසි ගණනකිනි.  ගම්මානය සතුව තිබූ බිම්කඩ කෙතරම් කුඩා විණිද යත් මවුවරුන් සදාකාලිකවම ජීවත් වූයේ සිය දරුවන් සුළඟට ගසාගෙන යතැයි යන බියෙනි. එමෙන්ම වැළලීමට බිම්කඩක් නුවූයෙන් වසර ගණනක් තිස්සේ මියගිය කිහිපදෙනාගේ සිරුරු මුහුදට බෑවුම් වූ ප්‍රපාතයෙන් පහළට වීසි කර දමන්නට ඔවුන්ට සිදුවිය.  එහෙත් මුහුද නිශ්චල වූද සම්පත්වලින් පිරුණු තැනක්ද විය. ගමෙහි වූ සියලුම පිරිමින් දමන්නට අවශ්‍ය වූයේ බෝට්ටු හතක් පමණි.  එබැවින්, ගිලුණු මිනිසාගේ මළ සිරුර හමු වූ විට, තමන් සියලු දෙනාම යහතින් සිටින බව ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා එකිනෙකා දෙස බලා ගැනීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත් විය.

එදා රෑ ඔවුහු මුහුදු නොගියෝය. අසල ගම්මානවලින් කවරෙකු හෝ අතුරුදන් වී ඇත්දැයි සෙවීම සඳහා පිරිමින් පිටත්ව ගිය අතර ගිලුණු මිනිසාගේ සිරුර සකස්කිරීම පිණිස ගැහැනු නතර වූහ. තණකොළ හනසුවලින් අතුල්ලා ඔහුගේ සිරුරේ මඩ ඉවත් කළ ඔවුහු, ඔහුගේ හිසකේ අතර පැටලී තිබූ මුහුදු ගල්කැට ඉවත් කළහ. මාලුන්ගේ කොරපොතු සුද්ද කරන උපකරණවලින් ඔහුගේ සමෙහි වූ කොරපොතු සූරා දැමූහ. මෙසේ කරන විට, ඔහුගේ සිරුර මත තැවරුණු මඩ, කොරපොතු ආදිය ඉතා ඈත පිහිටි සාගර සහ මුහුද ගැඹරෙන් පැමිණි බවත් හරියට කොරල් පර වංකගිරි මැදින් ගමන් ගත්තාක් පරිද්දෙන් ඔහුගේ ඇඳුම් ඉරී වැරහැලිවී තිබූ බවත් ඔවුන්ට පෙනිණි. මුහුදෙන් ගොඩට ගත් වෙන ගිලුණු මිනිසුන් කෙරෙහි වූ තනි වූ පෙනුමවත්, ගංගාවල ගිලුණු මිනිසුන් කෙරෙහි වූ වැහැරුණු, අසරණ පෙනුමවත් ඔහුට නොවූ හෙයින් හෙතෙම සිය මරණය අභිමානයෙන් යුතුව වැලඳ ගත් බවද ඔවුන්ට පෙනී ගියේය. එහෙත් ඔහු කවරාකාරයක මිනිසෙකුදැයි ඔවුනට පෙනී ගියේ ඔහුගේ සිරුර සම්පූර්ණයෙන්ම පවිත්‍ර කොට අවසන් වූ විටය. ඒ බව දැකීමෙන් ඔවුහු විස්මපත් වූහ. ඔහු එතෙක් කලක් ඔවුන් දැක තිබුණු උසම, ශක්තිමත්ම, හොඳටම වැඩුණු, පෞරුෂයෙන් අනූනම මිනිසා වූවා පමණක් නොව ඔවුන් ඔහු දෙසම බලාගෙන සිටියේ වුවද ඔවුන්ගේ පරිකල්පනය තුළ ඔහු බහාලන්නට ඉඩක් නොවීය.

ඔහු සතපවන්නට ඉඩ ඇති ඇඳක්වත්, ඔහුගේ දේහය තැන්පත් කර තබන්නට තරම් ශක්තිමත් මේසයක්වත් මුළු ගමෙහිම නොවීය. ගමෙහි වූ උසම මිනිසුන් පල්ලියට අඳින කලිසම් ඔහුට ප්‍රමාණවත් වූයේ නැත. එමෙන්ම ගමෙහි වූ මහතම මිනිසුන් පල්ලියට අඳින කමිසද, විශාලතම පාද හිමි මිනිසුන් පැළඳූ පාවහන්ද ඔහුට කුඩා විය. ඔහුගේ දැවැන්ත සිරුරෙන් හා කඩවසම්බවෙන් වශී වී ගිය ගැහැනු ඔහුට අභිමානයෙන් යුතුව පරලෝ යන්නට හැකිවන පරිදි විශාල රුවල් රෙදි කැබැල්ලකින් කලිසමක් මසන්නටද මනාලියකගේ දිගු වේල් රෙද්දකින් කමිසයක් මසන්නටද තීරණය කළෝය. රවුමට වාඩි වී, ගසන සෑම මැහුමක් පාසාම ඔහුගේ මළසිරුර දෙස නෙත් හෙලමින් ඇඳුම් මැසූ ගැහැනු එදා රෑ වෙන කවරදාකවත් නොවූ තරම් සැරට සුළඟ හැමූ බවද වෙන කවරදාටත් වඩා මුහුද චණ්ඩ වූ බවද දුටුවෝ ඒ වෙනස්කම්වලට හේතුව මළ මිනිසා විය හැකියැයි කල්පනා කළහ. ඒ උදාරම් මිනිසා තම ගම්මානයේ ජීවත් විණි නම් ඉදින් ඔහුගේ නිවෙස සතුව ලොව පුළුල්ම දොරවල්, උසම සිවිලිම සහ ශක්තිමත්ම පොළොව තිබිය හැකිව තිබූ බවත්, ඔහුගේ සයනය සවිමත් නැව් රාමුවකින් තනා විසල් යකඩ ඇණවලින් පුරුද්දා තිබිය හැකිව තිබූ බවත්, ඔහුගේ බිරිය ලොව වාසනාවන්තම ගැහැනිය විය හැකිව තිබූ බවත් ඔවුන්ට සිතිණි. ඔහුට කෙතරම් බලපරාක්‍රමයක් හිමිව තිබිය හැකිව තිබිණිදයත් මාලුන්ගේ නම් අඬගැසීමෙන් පමණක් ඔවුන් මහ මුහුදෙන් ගොඩට ගැනීමේ හැකියාවද, ඔහු කෙතරම් මහන්සි වී මහපොළොව සමග ඔට්ටු විය හැකිව තිබිණිද යත් ගල් අතරින් දිය උල්පත් මතුකරගෙන ගල්පර මත මල් වැවීමේ හැකියාවද ඔහුට තිබිය හැකිව තිබූ බව ගැහැනුන්ට සිතිණි. ඔවුහු රහසින් සිය ස්වාමිපුරුෂයන් ඔහු සමග සංසන්දය කළෝය.  ඔහුට එක රැයකින් කළ හැකිව තිබූ දේ සිය ස්වාමිපුරුෂයන්ට ජීවිත කාලය පුරාවටවත් කළ නොහැකි බව ඔවුන්ට කල්පනා විය. ඒ සිතිවිල්ල අවසන් වූයේ ඔවුන් සිය හදවත් ඇතුළෙන් තම ස්වාමිපුරුෂයන් මෙලොව සිටින දුර්වලම, දුෂ්ටතම සහ කිසිම වැදගැම්මකට නැතිම සත්ත්ව කොට්ඨාසය ලෙස පහතට ඇද දමමිනි. ඔවුන් මේ මනකල්පිත වංකගිරිය තුළ ඉබාගාගේ ඇවිද යමින් සිටින අතර, මළ මිනිසා දෙස රාගයෙන් නොව දයාවෙන් බලා සිටි එතැන හුන් වැඩිමහලුම ගැහැනිය සුසුමක් හෙලුවාය: ‘එයාට තියෙන්නේ එස්තෙබාන් කියන නම තියෙන කෙනෙකුගේ මූණ.

එය සත්‍යයක් විය. ඔහුට එස්තෙබාන් යන නම හැරෙන්නට වෙන නමක් තිබීමට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරගන්නට එතැන සිටි බොහෝ දෙනෙකුට අවශ්‍ය වූයේ තව එකම එක වරක් ඔහු දෙස බැලීම පමණි.  එතැන හුන් තරුණම සහ හිතුවක්කාරම ගැහැනු ඔහුට හොඳින් ඇඳුම් අන්දවා, සම් සපත්තු පළඳවා මල් අතර තැන්පත් කළ විට ඔහුගේ නම ලවුතාරෝ විය හැකිව තිබේය යන මායාවේ තව පැය කිහිපයක් ගැලී උන්හ. එහෙත් එය මායාවක්ම පමණක් විය. ඇති තරම් රුවල් රෙදි නොවූ හෙයින් අපිළිවෙළට කපා ඊටත් නරක ලෙස මැසූ කලිසම ඔහුට හිර වැඩි විය. ඔහුගේ හදවතේ සැඟවුණු ශක්තිය කරණ කොට ගෙන කමිසයේ බොත්තම් කැඩී ගියේය. මධ්‍යම රාත්‍රියෙන් පසුව සුළඟේ සිවුරුහන් නාදය නැවතී මුහුද සිය බදාදා නිද්‍රාශීලීත්වයේ ගැලිණි. නිහැඬියාව, ඉතිරිව තිබූ අවසන් සැක සංකාද තුරන් කොට දැමීය: ඔහු වනාහී එස්තෙබාන් ය. ඔහුට ඇඳුම් ඇන්ද වූ, ඔහුගේ හිස පීරූ, නියපොතු කපා රැවුල බෑ ගැහැනුන්ට ඔහු බිම දිගේ ඇදගෙන යන බව වැටහුණු විට ඔවුන් තුළ ඇති වූ ශෝකයේ වෙවුලුමක් පාලනය කර ගත නොහැකි විය. මරණයෙන් පසුව වුවද ඔහුට වද දුන් ඒ දැවැන්ත සිරුර ගැන ඔහු කෙතරම් අසතුටෙන් සිටින්නට ඇතිද යන්න ඔවුන්ට වැටහුණේ එවිටය.  ඔහු ජීවත්ව සිටි කාලයේදී  දොරවල්වලින් හරහට ඇවිද යාමට සිදුවූ සැටිද, දොර උළුවහුවල හිස වැදුණු සැටිද, ගෙදරකට ගිය විට සිය මෘදු, විසල් මුහුදු සිංහ අත්වලින් කුමක් කරන්නටදැයි නොදැන සිට ගෙන සිටින සැටිද, ශක්තිමත්ම පුටුවක් සොයා ඒ මත වාඩි වෙන්නටැයි ඒ ගෙදර ස්වාමි දියණිය ඔහුගෙන් ඉල්ලා සිටින විට බිත්තියට හේත්තු වී හිනැහෙමින් ‘නෑ මෙහෙම හොඳයි. කරදර වෙන්න එපා යැයි කියන සැටිද, වසර ගණනාවක් තිස්සේ නිවෙසකට ගිය සෑම විටෙකම එකම දේ කිරීමෙන් ඔහුගේ දෙපාද පිටද තුවාලව ඇති සැටිද, පුටුව කැඩෙනවාට ලැජ්ජාවෙන්  ‘නෑ මෙහෙම හොඳයි. කරදර වෙන්න එපා’ යැයි පවසන සැටිද, ‘යන්න එපා එස්තෙබාන්. කෝපි හදනකම් ඉන්න’ යැයි කියූ අයම ඔහු පිටව ගිය පසුව ‘තඩියා අන්තිමට යන්න ගියා. මෝඩ තඩියා ගියා. යන්තම් ඇති’යැයි කොඳුරා කියන බව ඔහු නොදැන සිටි සැටිද ඔවුන්ට මැවී පෙනිණි. අලුයම උදාවන්නට ටික වේලාවකට පෙර මළ සිරුර අසළ හුන් ගැහැනුන් සිතමින් සිටියේ එලෙසටය. පසුව, හිරු එළියෙන් ඔහුට පීඩාවක් නොවන ලෙස ඔහුගේ මුහුණ ලේන්සුවකින් වැසූ විට, ඔහු සදහටම මියගොස් සිටින සැටි පෙනුණු විට, සිය ස්වාමිපුරුෂයන් බඳුවම ඔහුද කිසිදු ආරක්ෂාවකින් තොරව සිටින සැටි දුටු විට ඔවුන්ගේ හදවත්වල පළමු කඳුළු ධාරා උනන්නට පටන් ගත්තේය. වැලපීම ආරම්භ කළේ තරුණ ගැහැනුන්ගෙන් එකියකි. අනෙක් අයද සුසුම්වලින් පටන් ගෙන විලාප ගසන්නට වූහ. ඉකිගසන්නට ඉකිගසන්නට වැලපීමේ වුවමනාව ඔවුන් තුළ නැග ආවේය. මක්නිසාද යත් දියෙහි ගිලුණු මිනිසා ඔවුන්ට තව තවත් දැඩිව එස්තෙබාන් ලෙසම හැඟෙන්නට වූ බැවිනි. එස්තෙබාන් මෙලොව සිටින අසරණම, ශාන්තම, කරුණාවන්තම මිනිසා වූ බැවින් ඔවුහු අතිමහත් ලෙස වැලපුණෝය. ගිලුණු මිනිසා අහල පහළ ගමක කෙනෙකු නොවේය යන පුවතත් රැගෙන පිරිමින් පෙරළා පැමිණි විට සිය කඳුළු මැදින් සතුටු වීමට යමක් ඇති බව ගැහැනුන්ට හැඟිණි. ‘දෙවියන්වහන්සේට ස්තූති වේවා. එයා අපේ කෙනෙක් !’ ඔවුහු සුසුම් හෙලමින් කීහ.

පිරිමින් සිතූයේ නිකරුණේ කරන මේ කලබලය ගැහැනුන්ගේ මෝඩකමක් ලෙසය. රාත්‍රිය පුරා ගිලුණු මිනිසාගේ වතගොත සොයා ගොස් වෙහෙසට පත්ව සිටි ඔවුන්ට අවශ්‍ය වූයේ ඒ වියළි, සුළං රහිත දවසේ හිරු එළිය සැඬ වෙන්නට පළමුව මේ අමුත්තාගේ කරදරයෙන් සදහටම මිදෙන්නටය. මළ සිරුරේ බර ගල් පර තෙක් ඔසවාගෙන යාමට තරම් ශක්තිමත් තාවකාලික දෙණක් ඔවුහු කුඹගස්, රුවල් දඬු සහ කඹ ආධාරයෙන් තැනූහ. බඩු නැවක නැංගුරමක් මළ සිරුරට ගැටගසන්නට ඔවුන්ට අවශ්‍ය විය. ඒ මත්ස්‍යයන් අඳබවින් පෙළෙන, කිමිදුම්කරුවන් සාංකාවෙන් මියයන ගැඹුරුතම මුහුදෙහි මළ සිරුර පහසුවෙන් ගිල්වනු පිණිසත් වෙන මළ සිරුරුවලට වූවාක් පරිද්දෙන් දිය රළවලින් එය වෙරළට ගසාගෙන ඒම වළක්වනු පිණිසත් ය. පිරිමින් වැඩය ඉක්මන් කරන්නට තැත්කළ තරමටම ගැහැනු කාලය නාස්ති කිරීමේ මං සෙවූහ.   කලබල වූ කිකිළියන් රංචුවක් සේ ඔබ මොබ ඇවිද ගිය ඔවුහු සිය ගෙලෙහි පැළඳි යන්තර සිප ගත්තෝය. එකියක් මළ මිනිසාගේ උරහිසෙහි වූ සළුව සකස් කළ අතර තවත් ගැහැනියක් අනෙක් පසෙට ගොස් ඔහුගේ අතෙහි මාලිමාවක් ගැට ගැසුවාය. ඔතනින් අහකට වෙයං ගෑනියේ, පාරෙං අයිං වෙලා හිටපං, බලපං තව පොඩ්ඩෙං මං මළ මිනිය උඩ ඇදගෙන වැටෙනවා යනාදී වශයෙන් වූ බැණ අඬගැහීම් රැසකට පසුව පිරිමින්ට සිය ශරීරාභ්‍යන්තරයෙන් සැකයක සේයා මතුවන්නට වූ බැවින් නන්නාඳුනන මිනිසෙකුට මෙතරම් සැරසිලි කුමටදැයි අසමින්ද , කොපමණ ඇණ ගොඩක් හා ශුද්ධ වූ ජලය පිරි බෝතල් මළ සිරුර මත තැන්පත් කළද මෝරුන් ඔහු කා දමන බව කියමින්ද ඔවුහු මැසිවිලි නඟන්නට වූහ. එහෙත් ගැහැනු කඳුළින් පිට කළ නොහැකි දේ සුසුම්වලින් පිට කරමින් එකිනෙකාගේ ඇඟේ හැපි හැපී ඔබ මොබ දුවමින් සිය සුන්බුන් මතක වස්තු මළ සිරුර මත පැටවූහ. මෙයින් කෝපයට පත් පිරිමි මේ පාවෙන මළ මිනියකට කවද ඉඳන්ද මෙච්චර සැලිකිලි දක්වන්ඩ පටන් ගත්තේ, මේ ගිලිලා මැරිච්චි නන්නාඳුනන මිනිහෙක් ආදි වශයෙන් කියමින් පුපුරා හැලුණෝය. මළ මිනිසා කෙරෙහි දක්වන ලද මේ නොසැලකිලිමත් ආකල්පයෙන් චිත්ත වේගයට පත් එක් ගැහැනියක් ඔහුගේ මුහුණ මත වූ ලේන්සුව ඉවත් කළාය. එවිට පිරිමිද තුෂ්ණිම්භූතව ගියෝය.

ඔහු එස්තෙබාන් විය. ඔහු හඳුනාගැනීමට ඒ නම පුනරුච්චාරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැඟිණි. එතැන සිටියේ සර් වෝල්ටර් රැලේ යැයි ඔවුන්ට කිසිවෙකු කීවේ නම් ඔහු ඉංගිරිසි බස උච්ඡාරණය කරන සැටියෙන්ද, ඔහුගේ උර මත සිටි මැකාවෝ ගිරවා නිසාද, ම්ලේච්ඡයන් මරන ඔහුගේ කෙටි තුවක්කුව කරණ කොට ගෙනද ඔහු කෙරෙහි යම් ගෞරවයක් ඔවුන් තුළ හටගැනීමට ඉඩ කඩ තිබිණි.  එහෙත් ලෝකයේ සිටිය හැක්කේ එක් එස්තෙබාන් කෙනෙකු පමණි. ඒ එස්තෙබාන් යෝධ තල්මසෙකු පරිද්දෙන්, පාවහනින් තොරව, කුඩා දරුවෙකුගේ බඳු කලිසමකින් සැරසී, පිහියකින් කැපිය යුතු තරමට සවිමත්ව ගල් වී ගිය නියපොතුවලින් යුතුව එතැන වැතිරී සිටියේය.  ඔහු ලජ්ජාවට පත්ව සිටින බවත්, ඔහු එතරම් විශාල වූයේත් එතරම් කඩවසම් වූයේත් ඔහුගේ වරදකින් නොවන බවත්, මෙවැනි කලබලයක් ඇති වීමට යන බව දන්නේ නම් ජලයේ ගිලී මිය යන්නට මීට වඩා උචිත ස්ථානයක් ඔහු සොයා ගන්නා බවත්, ගම්මානයේ මිනිසුන්ගේ බදාදා දවසට මළ මිනියකින් බාධා ඇති නොවන්නටත් මිනිසුන්ට කරදරයක් නොවන්නටත් ඔහුට නැවක නැංගුරමක් ගෙලෙහි ගැට ගසාගෙන ප්‍රපාතයෙන් පැනිය හැකිව තිබූ බවත් වටහා ගැනීමට ඔහුගේ මුහුණ වසා තිබූ ලේන්සුව ඉවත් කිරීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත් වූයේය.  ඔහුගේ විලාසයෙහි කෙතරම් සත්‍යවාදීබවක් දිස් වීද යත්, තමන්ගේ බිරින්දෑවරුන් තමන් ගැන සිතීම නවතා දියෙහි ගිලුණු මිනිසුන් ගැන සිතන්නට පටන් ගනීය යන බියෙන් ගෙවා දැමූ අනන්ත රාත්‍රීන්වල වේදනාව වින්දා වූ, ඔවුන් අතර වූ කවුරුන්වත් විශ්වාස නොකරන ආකාරයේ මිනිස්සුද ඊටත් වඩා දැඩි මිනිස්සුද එස්තෙබාන්ගේ අවංකභාවය කරණ කොට ගෙන ශරීරයේ ඇට කටු ඇතුළෙන්ම වෙවුලා ගියෝය.

දියෙහි ගිලී මළ නන්නාඳුනන මිනිසෙකු වෙනුවෙන් ඔවුන්ට සිතෙහි මවා ගත හැකි වූ උත්කෘෂ්ටම අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට අවස්ථාව උදා වූයේ එපරිද්දෙනි.  මල් රැගෙන ඒම සඳහා  අසල්වාසී ගම්මානවලට ගිය ගැහැනුන් පෙරළා පැමිණියේ තමන් ඇසූ කතාව විශ්වාස කිරීමට අසමත් වූ තවත් ගැහැනුන්ද සමගය. මළ මිනිසා දුටු ඒ ගැහැනු තවත් මල් රැගෙන ඒම පිණිස ගියෝය. ඔවුන් පෙරළා කෙතරම් මල් සහ මිනිසුන් රැගෙන ආවේද යත් මළ සිරුර වටා ඇවිදීමටවත් නොහැකි වන පරිදි මල් සහ මිනිසුන්ගෙන් පිරිණි. අවසාන මොහොතේදී ඔහු අනාථයෙකු ලෙස මුහුදට දමන්නට සිදුවීම ඔවුන්ට ඉමහත් වේදනාවක් ගෙන දුන් හෙයින් ගමේ හොඳම මිනිසුන් අතරින් ඔහු සඳහා මවක සහ පියෙකුද, නැන්දා මාමාවරුන් සහ නෑනා මස්සිනාවරුන්ද ඔවුහු තෝරා ගත්හ. එපරිද්දෙන් සියලුම ගම්වැසියෝ ඔහුගේ නෑදෑයෝ බවට පත් වූහ. ගමේ වැලපීම් හඬ ඈත සිට ඇසූ සමහර නාවිකයෝ සිය නැව මුහුදු මාර්ගයෙන් ඉවතට පැදවූවෝය. සමුද්‍ර සන්ධිවල රැඳී සිටින පියාපත් සහිත මායාකාරී ගායිකාවන් පිළිබඳ පුරාවෘතය සිහිපත් වී සිය සිරුර කුඹ ගසට තබා බැඳගත් නාවිකයෙකු ගැනද මිනිසුන්ට අසන්නට ලැබිණි. මුහුදට මායිම් වූ ප්‍රපාතය අසළ වූ ශීඝ්‍ර බෑවුම දිගේ ඔහු කර තබාගෙන යෑමේ වරප්‍රසාදය ලබා ගැනීම පිණිස ඔවුන් සටන් කරන අතරතුර, දියේ ගිලී මළ සිය මිනිසාගේ අසිරිය සහ ඔහුගේ කඩවසම්බව දුටු සෑම මිනිසෙක්ම සහ ගැහැනියක්ම තම ගම්මානයේ වීදිවල ඇති හුදෙකලාබවත්,  සිය මිදුල්වල ඇති වියළිබවත්, තමන්ගේ සිහිනවල ඇති පටුබවත්  ජීවිතයේ ප්‍රථම වතාවට අවබෝධ කර ගත්හ. ඔහු කැමති නම් සහ කැමති වූ ඕනෑම වේලාවක නැවත පැමිණීමට හැකි වන පරිදි නැංගුරමක් සිරුරට ගැට නොගසාම ඔවුහු ඔහුට යන්නට ඉඩ හළෝය. මළ සිරුර ප්‍රපාතයෙන් මුහුදට වැටීමට ගත වූ ශතවර්ෂ ගණනාවකින් ලේශමාත්‍ර පංගුවක් වූ කාලය තුළ ඔවුන් සියලු දෙනාම සිටියේ ඉහළට ගත් හුස්ම පහත නොහෙලමිනි. ගම්මානයේ වසන සියලු දෙනාම තවදුරටත් එතැන නොවූ බවත් කිසිදිනෙක එසේ නොසිටිනු ඇති බවත් වටහා ගැනීම පිණිස ඔවුන්ට එකිනෙකා දෙස බැලීමේ අවශ්‍යතාවක් නොවීය. එහෙත්, එතැන් පටන් සියලු දේම වෙනස් වනු ඇති බවද ඔවුහු දැන සිටියහ. තඩියා අන්තිමට මළා. හැඩකාර මෝඩ තඩියා යන්න ගියා ආදී වශයෙන් මින් පසු කිසිවෙකුට කොඳුරා කීමට නොහැකි වන පරිද්දෙන් එස්තෙබාන්ගේ මතකයට බාධාවකින් තොරව ඔබ මොබ යා හැකි වන ලෙසට ඔවුන්ගේ නිවෙස්වලට පුළුල් දොරවල්ද, වඩාත් උස්වූ සිවිලිම්ද, වඩා ශක්තිමත් පොළෝ ද මින් මත්තට තිබෙනු ඇති බව ඔවුහු දැන සිටියහ. මක් නිසාද යත්, එස්තෙබාන්ගේ මතකය සදාකාලික කරනු පිණිස ඔවුන් සිය නිවෙස්වල ඉදිරිපස ප්‍රීතිමත් වර්ණ ගැල්වීමට යන බවත් අනාගතයේදී සුවිසල් මගී නෞකාවල නැගී එතැනින් යාත්‍රා කරන මගීන් මහ මුහුදේදී මල්වතුවලින් නැගෙන සුගන්ධයෙන් හුස්ම හිරව උදෑසන අවදි වූ විට සිය නිල ඇඳුම හැඳ, යුද පදක්කම් පැළඳ, නාවික ආම්පන්නද රැගෙන නියමු කුටියෙන් එළියට පැමිණෙන නැව්පතියාට ඈත ක්ෂිතිජයේ පෙනෙන රෝස කුසුමෙන් පිරී ගිය බිම් තුඩුව දෙසට ඇඟිල්ල දිගු කොට අර බලන්න, සාමකාමී නිදිගත් සුළං ඇති, සූරියකාන්ත මල්වලට කොයි අතට හැරෙන්නදැයි සිතා ගත නොහැකි විදියට දීප්තිමත්ව හිරු පායන එස්තෙබාන්ගේ ගම්මානය අන්න අතන තිබෙනවා යැයි භාෂා දහහතරකින් කීමට හැකිවන ලෙසට පර්වත මස්තකයෙහි මල් වැවීම පිණිස ගල් අතරින් දිය උල්පත් මතු කර ගැනීම සඳහා තමන් සිය කොඳු බිඳී යනතුරු වැඩ කරන්නට යන බවත් ඔවුන් දැන සිටි හෙයිනි.











-ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් (1927-2014)

Painting by Josie Portillo

10 comments:

  1. වා..ව්..
    කියන්න වදන් නැත...
    ඇත්තටම ඒ තරං විශිෂ්ටයි
    ඊළඟ අවුරුද්දෙ හම්බෙමු
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. ඔබටත් සුබ නව වසරක් වේවා.

      Delete
  2. සුභ නව වසරක් වේවා................ ජයවේවා

    ReplyDelete
  3. මාකේස්ගෙ කතා ගැන නං ආයෙ කියන්න දෙයක් නෑනෙ.මම ආසම ලේඛකයෙක්.ඔබේ පරිවර්තනයත් අගෙයි නමුත් කතාව පිටුව පුරාම තියෙන නිසා කියවනවිට වෙහෙසයි.
    ලැබුවාවූ නව වසර ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවායි මගේ පැතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

      Delete
  4. මෑතකදී කියවූ අගනාම පරිවර්තනයක්. ඔබටත් පවුලේ හැමෝටමත් නව අවුරුදු සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔබේ ඇගයුම ඉතා වටී. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

      Delete

සෙවුම්