කුඩා දූපතට තිබුණේ උසැති, ගල්පර්වතවලින් ගහණ වෙරළ තීරයකි. මුහුද අසළ නොනැසී පවතින්නට හැකි කෙටි, ඝනැති පඳුරු එහි වැවිණි. මුහුදු ලිහිණියෝ අහසේ පියැඹූහ. ගොඩබිමට නුදුරු මුහුදෙහි පිහිටි එම දූපත පාලුවට ගිය කිසිදු වගාවක් නොකළ එකක් විය. හබල් ගාන බෝට්ටුවකින් හෝ මේ දැන් ඒ කරා ළඟා වන යුවළ සතුවූ ආකාරයේ රබර් ඩිංගි බෝට්ටුවකින් දූපත වටා පැය බාගයකින් යාත්‍රා කිරීමට ඔබට හැකිය. රබර් ඩිංගියෙහි වූ මිනිසා ඉතා සන්සුන් ලෙස එය හබල් ගෑ අතර කාන්තාව අව්ව තපිමින් එතුළ වැතිර සිටියාය. ඔවුන් දූපත අසළට ළඟා වත්ම මිනිසා අවධානයෙන් යුතුව ඇහුම්කන් දෙන්නට වූයේය.
“ඔයාට මොනවද ඇහෙන්නේ ?” ඇය ඇසුවාය.
“නිශ්ශබ්දතාවය,” ඔහු පිළිතුරු දුන්නේය. “කනට ඇහෙන නිශ්ශබ්දතාවයක් දූපත්වල තියෙනවා.”
සත්‍ය වශයෙන්ම පවසන්නේ නම් සෑම නිශ්ශබ්දතාවක්ම ඒ වටා වූ ඉතා කුඩා ශබ්ද ජාලයකින් සමන්විත වෙයි. දූපතෙහි නිහඬබව ඒ වටා වූ නිසල මුහුදෙහි නිහඬතාවෙන් වෙනස් වූයේ එහි පඳුරුවල සරසරයත් කුරුල්ලන්ගේ කෑ ගෑම හෝ උන් තටු සලන හඬත් හාත්පස පැතිරී තිබූ බැවිනි.
ගල් පර්වතයට පහළින් වූ ජලයෙහි මේ දිනවල කුඩා හෝ රැල්ලක් නොනැගුණු අතර එය තියුණු පැහැදිලි නීල වර්ණයෙන් යුක්ත විය. හිරු කිරණ ජලය විනිවිද පතුළට කා වැදිණි. පර්වත මුහුණතෙහි කුඩා ගුහාවල පිවිසුම් දක්නට ලැබුණු අතර ඩිංගි බෝට්ටුවෙහි හුන් යුවළ ඒවා නිවී සැනසිල්ලේ ගවේෂණය කරන්නට සූදානම්ව සිටියේය.
මේ වෙරළ තීරය සංචාරකයන්ගේ පහස තවමත් නොලැබූ දකුණු පෙදෙසේ පිහිටා තිබූවක් වූ අතර ඔවුහු වෙනත් ප්‍රදේශයක සිට මුහුදෙහි නාන්නට පැමිණි දෙදෙනෙක් වූහ. ඔහුගේ නම උස්නෙල්ලි විය. හෙතෙම ප්‍රසිද්ධ කවියෙකි. ඇය ඩේලියා එච්. නම් වූ අතර ඉතා රූමත් කාන්තාවක වූවාය.
ඩේලියා දකුණු පෙදෙසට ඉතා තදින්, උමතුවෙන් මෙන් ඇලුම් කළ තැනැත්තියක වූවා බෝට්ටුවෙහි වැතිර තමන් දකින සියලු දේ ගැන දැඩි ප්‍රහර්ෂයකින් යුතුව කතා කරන්නට වූයේ මේ ප්‍රදේශයට පළමු වරට පැමිණි, එමෙන්ම ඇයගේ උද්යෝගය බෙදා ගත යුතු තරමට බෙදා හදා නොගන්නවාක් මෙන් පෙනුණු උස්නෙල්ලි කෙරෙහි වූ ක්‍රෝෂයක ඡායා මාත්‍රයක් සමගිනි.
“ඔහොම ඉන්න ,” උස්නෙල්ලි කීවේය. “ඔහොම පොඩ්ඩක් ඉන්න.”
“ඒ මොකටද?” ඇය ඇසුවාය. “මීට වඩා ලස්සණ දෙයක් තියෙන්න පුළුවන්ද ?”
අන්‍යන්ට අයත් හැඟීම් සහ වචන කෙරෙහි විශ්වාසය නොතැබූ, (සිය ස්වභාවය සහ ඔහු ලැබූ සාහිත්‍ය අධ්‍යාපනය නිසා) පැහැදිලිවම පෙනෙන්නට තිබෙන සහ විවාදයකින් තොරව ලස්සණ යැයි පිළිගන්නා දෙයට වඩා සැඟවුණු සහ ව්‍යාජ ලස්සණ සොයා ගැනීමට පුරුදුව සිටි ඔහු තවමත් සිටියේ කලබලයට සහ ආතතියට පත්වය. සතුට යනු උස්නෙල්ලිට අත්හිටුවනු ලැබූ තත්ත්වයක් විය. එය හුස්ම තදින් අල්ලා ගෙන විඳිය යුත්තකි. ඔහු ඩේලියාට ආදරය කරන්නට පටන් ගත් තැන් පටන් ලෝකයා සමග ඔහුගේ වූ පරීක්ෂාකාරී, සීමිත සම්බන්ධය තර්ජනයට ලක්ව ඇති සැටි ඔහු දුටුවේය. එහෙත් තමාගේ යමක් හෝ තමා ඉදිරිපිට විවරව ඇති ප්‍රීතිය හෝ අතහැර දැමීමට ඔහු කල්පනා නොකළේය. ජලයට සෙමෙන් වැක්කෙරෙන නීල වර්ණය, වෙරළෙහි වූ හරිත වර්ණය අළු පැහැ ගැන්වීම, මුහුදු පළසෙහි සුමුදුතම ස්ථානයෙහි සිටින මාළුවෙකුගේ වරළෙහි දිලිසීම යනාදී ඔහුගේ වටපිටාවෙහි ස්වභාව ධර්මය විසින් අත්පත් කරගත්තා වූ පරිපූර්ණත්වයේ සියලුම මට්ටම් වනාහි ඊටත් ඉහළ පරිපූර්ණත්වයක මග හසර කියන ලකුණු වූවාක් මෙන්ද, ක්ෂිතිජයේ වූ අදිසි රේඛාව මුහුදු බෙල්ලෙකු මෙන් විවරව හදිසියේ වෙනත් ග්‍රහලෝකයක් හෝ නව ලොවක් මතුවනු ඇතැයි සිතන්නාක් මෙන්ද ඔහු ප්‍රවේසම්කාරී විය.
ඔවුහු කුඩා ගල් ගුහාවකට ඇතුළු වූහ. එය ආරම්භ වූයේ ලා කොළ පැහැති අභ්‍යන්තර විලක් මෙන් සුවිසල්ව දැවැන්ත පාෂාණමය වහළකින් යුක්තවය. තවත් ඇතුළට යන විට එය පටු අඳුරු මගක් බවට පරිවර්තනය විය. උස්නෙල්ලි බෝට්ටුව වටේට හැරවූයේ ආලෝකය විසින් ගුහාව අභ්‍යන්තරයේ මවන ලද විවිධ ප්‍රයෝග රස විඳිනු පිණිසය. බැහැර සිට ගුහාවේ දැති සහිත වෛවර්ණ මුවවිටෙන් ඇතුළට ආ ආලෝකය එම වර්ණ තව තවත් විචිත්‍ර කළේය. ගුහාවේ ඇතුළත වූ ජලය දිදිලුණි. පිටුපසින් වූ මුදු සෙවණැලිවලට එරෙහිව ජල තලය මත සිට උඩට ආලෝක කදම්බයෝ නැගුණහ. ජලයේ වූ කැළඹිල්ල, ප්‍රතිබිම්බ සහ ආලෝක ධාරා මගින් පාෂාණමය බිත්ති සහ වහළ මතට ප්‍රක්ෂේපණය විය.
“ මෙතැනදී කෙනෙකුට දෙවියන්ව වටහා ගන්න පුළුවන්,” කාන්තාව කීවාය.
“හ්ම්,” උස්නෙල්ලි පිළිතුරු දුන්නේය. ඔහු සිටියේ කැළඹිල්ලට පත්වය. හැඟීම් වචනවලට පරිවර්තනය කරන්නට පුරුදු ඔහුගේ මනස එකම වචනයක්වත් ගොතා ගන්නට නොහැකිව දැන් අසරණ වී තිබිණි.
ඔවුහු තවත් ඇතුළට යාත්‍රා කළහ. ජල මට්ටමෙහි තිබූ ගල් පව්වක් පසු කොට ඩිංගි බෝට්ටුව ඇදී ගියේය. හබල ජලයෙහි වදින විට නැගෙන දුර්ලභ ආලෝක පුංජයක් හැරුණු විට හාත්පස ඝන අඳුර රජ කළේය. ඉඳහිට හබල ගුහා බිත්තියක වැදිණි. ආපසු හැරී බැලූ ඩේලියාට ගුහාවෙහි පිවිසුමෙන් පෙනෙන නිල් අහස් කැබැල්ල වටා ඇති රේඛාව නිරන්තරයෙන් වෙනස් වන සැටි පෙනිණි.
“ ආං අතන! විශාල කකුළුවෙක් !” බෝට්ටුවේ කඳ කෙලින් කොට හිඳ ගෙන ඕ කෑගැසුවාය.
“ ....න!.....ළුවෙක්!” ඇගේ හඬ දෝංකාර දුන්නේය.
“දෝංකාරය !” සතුටෙන් කී ඇය වචනද කවිපදද යාඥාවල කෑලිද කියමින් ඒ අඳුරු වහළ යට කෑ ගසන්නට වූවාය.
“ඔයත් කෑ ගහන්න ! ප්‍රාර්ථනාවක් කරන්න !” ඇය උස්නෙල්ලිට කීවාය.
“ හූ ඌ ඌ ඌ ඌ.......” උස්නෙල්ලි කෑ ගෑවේය. “ හේ ඊ ඊ ඊ ඊ ....ඕ....”
ඉඳ හිට බෝට්ටුව ගුහා බිත්තියෙහි වැදිණි. අඳුර ඉතා දැඩි විය.
“ මට බයයි. මේක ඇතුළෙ මොන මොන සත්තු ....”
“අපට තවමත් ඇතුළට යන්න පුළුවන්.”
හිරු රැසින් නැහැවුණු ජලයෙන් පළා යන ගැඹරෙහි වසන මසෙකු මෙන් තමා අඳුර වෙත ඇදෙන බව උස්නෙල්ලිට වැටහිණි.
“ මට බයයි. අපි ආපහු යමු.” ඇය බල කළාය.
මූලික වශයෙන් ගත් කළ ඔහුටද බියජනක දේ කෙරෙහි ඇති රුචිකත්වය ආගන්තුක එකක් විය. ඔහු පසු පසට හබල් ගෑවේය. ගුහාව පුළුල් වන ස්ථානයට ඔවුන් පැමිණෙන විට මුහුද තද නිල් පාටට හැරිණි.
“මේකෙ බූවල්ලො ඉන්නවද?” ඩේලියා ඇසුවාය.
“ඉන්නව නම් ඔයාට පෙනෙයි. ඒ තරමට වතුර පැහැදිලියි.”
“එහෙනම් මං පොඩ්ඩක් පීනන්නම්.”
රබර් බෝට්ටුවේ පසෙකින් දියට බට ඈ ඒ අභ්‍යන්තර විලෙහි පිහිනුවාය. ඇගේ සිරුර වරෙක සුදු පැහැයෙනුත් (හරියට ආලෝකය වස්තූන්ගේ සියලු වර්ණයන් සොරා ගත්තාක් මෙන්) වරෙක ජලතලයෙහි නිල් පැහැයෙනුත් පෙනිණි.
උස්නෙල්ලි හබල් ගෑම නතර කොට තිබූ අතර තවමත් හුස්ම උඩට කොට අල්ලාගෙන සිටියේය. ඩේලියා සමග පෙමින් වෙලී සිටීම ඔහුට සෑම විටෙකම මේ ආකාර විය. එය හරියටම වචන අතික්‍රමණය කළ ලොවක ඇති මේ ගුහාවේ කැඩපත වැනිය. එනමුදු ඔහු සිය කවිවල ආදරය ගැන එකම එක පද පේළියක් වත් ලියා නැත.
“තව ළඟට එන්න,” ඩේලියා කීවාය. පිහිනන අතරතුරම ඇය සිය උඩුකය වැසූ රෙදි කඩ ඉවත් කොට තිබිණි. ඇය එය රබර් බෝට්ටුව ඇතුළට වීසි කළාය. “ පොඩ්ඩක් ඉන්න” යැයි කියූ ඇය සිය ඉනෙහි වූ රෙදි කඩද ගලවා එය උස්නෙල්ලි අතට දුන්නේය.
දැන් ඇය සම්පූර්ණයෙන්ම නිරුවත් වූවාය. ඇගේ ළය මඬලෙහිත් උකුළු පෙදෙසෙහිත් වූ වඩාත් සුදු පැහැති ඡවි වර්ණය පැහැදිලිව නොපෙනුණේ ඇගේ මුළු සිරුරෙන්ම මෙඩුසා මසෙකුගේ බඳු ලා නිල් දීප්තියක් විහිදුණු බැවිනි. ඇය විවේකී ඉරියව්වකින් පසෙකට හැරී පිහිනමින් සිටියාය. ප්‍රතිමාවක බඳු ව්‍යංගාර්ථාත්මක ඍජු හිස ජලයෙන් මඳක් ඉහළට එසවී තිබිණු අතර විටෙක උරැහිසෙහි කවයත් දිග හළ අතක මුදු රේඛාවත් ජලයෙන් ඉහළට එසැවිණි. දිය දෙබෑ කරන අනෙක් අත විටෙක ඇයගේ මනාව වැඩුණු උස් ළය මඬල ආවරණය කළ අතර විටෙක එය නිරාවරණය කළේය. තාරකා මාලුවෙකුගේ හැඩයට වැල්ලෙහි තබන ලද සියුම් ලකුණක් බඳු නාභියෙන් යුතු ඇයගේ සුමුදු උදරය ජලයෙහි දරා සිටීම පිණිස ඇයගේ දෙපා ජලයේ චලනය වූයේ යාන්තමිනි. ජලය යටින් පරාවර්තනය වූ හිරුරැස් ඇයගේ සිරුර යාන්තමින් ස්පර්ශ කළේ වරෙක ඇයට එක්තරා ආකාරයක ඇඳුමක් නිර්මාණය කරමින්ද වරෙක ඒ ඇඳුම සම්පූර්ණයෙන්ම උනා දමමිනුත්ය .
ඇයගේ පිහිනීම එක්තරා ආකාරයක නර්තනයක් බවට පරිවර්තනය විය. ජලයෙහි පාවෙමින් ඔහු වෙත සිනා පෑ ඇය විටෙක සිය දෑත දෙපසට විහිදුවා සෙමෙන් කරකැවුවාය. විටෙක සිය දණහිස නවා තල්ලු කරමින් කුඩා මාලුවෙකු සේ පෙනෙන වක් වූ යටිපතුළ ජලය මතුපිටට ගෙන ආවාය.
රබර් බෝට්ටුවෙහි සිටි උස්නෙල්ලි දෑස් හයා ගෙන මේ දර්ශනය නරඹන්නට විය. තමාට ජීවිතය විසින් ලබා දෙන මේ අවස්ථාව, දිලිසෙන හිරුගේ මධ්‍යය බලන්නට කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්නාක් මෙන්ම, විවර කරගත් දෙනෙතකින් බැලීමට සෑම කෙනෙකුටම ලැබෙන වරප්‍රසාදයක් නොවන බව ඔහු වටහා ගත්තේය. මේ හිරුගේ මධ‍්‍යයේ වූයේ නිහඬතාවයි. මේ මොහොතෙහි ඇති කිසිම දෙයක් වෙනත් දෙයකට පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත. වෙනකක් තබා ඇතැම්විට මතක ශේෂයක් බවට වත් පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත.
දැන් ඩේලියා පිහිනමින් සිටියේ ගුහාවේ මුවවිට අසළ උඩුබැලි අතට හැරී හිරු දෙස බලා ගෙනය. ඇය සැහැල්ලු චලනයකින් විවෘත මුහුද දෙසට ගමන් කරමින් සිටි අතර ඇයට යටින් වූ මුහුදෙහි නිල් පැහැය වෙනස් වමින් තිබිණි. ඒ නිල් පැහැය ක්‍රම ක්‍රමයෙන් ලා පැහැයටද වඩ වඩාත් දීප්තිමත් බවටද පත් වමින් තිබිණි.
“බලාගෙන, ඇඳුමක් දා ගන්න! ඔය කිට්ටුවට බෝට්ටු එනවා!”
ඩේලියා දැනටමත් අහස යට වූ ගල් කුළු අතරට ගොස් සිටියාය. ජලය යටට කිමිදුණු ඕ සිය අත දිගු කළාය. උස්නෙල්ලි ඇය අතට රෙදි කඩවල් දෙක දුන්නේය. පිහිනමින්ම ඒවා ඇඳ ගත් ඇය රබර් ඩිංගි බෝට්ටුවට ගොඩ වූවාය.
ඔවුන් වෙත ළඟා වමින් තිබුණේ ධීවරයන්ගේ බෝට්ටුය. උස්නෙල්ලි ඔවුන් හඳුනා ගත්තේය. මසුන් මරන කාලය පැමිණි විට වෙරළෙහි වූ ඇතැම් ගල් පර්වතයක සෙවණේ නිදන දුප්පත් මිනිසුන්ගෙන් සමහරෙක් ඒ අතර වූහ. ඔහු ඔවුන් වෙත සේන්දු විය. බෝට්ටුව හබල් ගසමින් සිටියේ තරුණයෙකි. දතක වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සිය පටු දෑස වැසෙන්නට සුදු පැහැති නාවික කැප් තොප්පියක් පැළඳ සිටියේය. ඔහු කෙටි වේගවත් හබල් පහරවල් දියට ගැසුවේ ඉන් ඔහුගේ වේදනාව අඩු වන්නාක් මෙනි. ඔහු පස් දරු පියෙකු වූ අතර බලාපොරොත්තු සුන් වූ කෙනෙක් විය. බෝට්ටුවේ අවරයෙහි සිටියේ මහල්ලෙකි. ඔහුගේ මෙක්සිකානු මාදිලියේ පිදුරු තොප්පිය මහල්ලාගේ කෙසඟ සිරුරෙහි හිස මත වූ රශ්මි වළල්ලක් මෙන් විය. ඇතැම්විට එක්තරා යුගයක අභිමානයෙන් පුළුල්ව තිබෙන්නට ඇති ඔහුගේ රවුම් දෑස දැන් අයත් වූයේ බේබද්දෙකුටය. තවමත් කලු පැහැයෙන් යුත් එල්ලා වැටෙන උඩු රැවුලට යටින් ඔහුගේ මුව විවර විණි. ඔහු ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ ගල් මාළුවෙකු පිහියකින් ශුද්ධ කරමින් සිටියේය.
“ගොඩක් මාළු ඇල්ලුවද?” ඩේලියා හඬ නගා ප්‍රශ්න කළාය.
“ අනේ නෑ ටිකයි.” ඔවුහු පිළිතුරු දුන්හ. “මේ වාරෙ මහ සවුත්තුයි.”
ඩේලියා ප්‍රදේශවාසීන් සමග කතා කරන්නට ප්‍රිය කළාය. එහෙත් උස්නෙල්ලි එසේ නොකළේය. (ඔවුන් සමග කතා කරන විට “තමන්ගේ හෘද සාක්ෂිය අපහසුවට පත් වන්නේ” යැයි කියන ඔහු උරැහිස් හකුළා නිහඬ වෙයි.)
රබර් ඩිංගිය, දැන් අව්වට පිච්චුණු සායම් ඉරිතලා ගොස් ගැලවී හැලෙන ධීවර බෝට්ටුව පසෙක විය. එහි හබල් බෝට්ටුවේ බඳට තබා ලණුවකින් බැඳ තිබූ අතර ඒවා ගෙවුණු ලී බඳෙහි ගෑවෙන වාරයක් පාසා කිරි කිරි හඬක් නැගීය. බොහෝ කාලයකට පෙර වියැලුණු රතු පැහැති මුහුදු පැලෑටිවලින් වැසුණු කොකු හතරේ කුඩා නැංගුරමක් පැලැල්ලක පැටලී අසුනක් යට තිබිණි. ටැනින්වලින් සායම් කළ කෙළවරවල්වල රවුම් කිරළ ඇබ ගැට ගැසූ මාළු දැල් ගොඩ මත වූයේ පිලී ගඳ ගසන ලා අළු හෝ ලා නිල් පැහැති කොරපොතු ඇඳුම හැඳගෙන මුව හයා ගෙන සිටින මසුන්ය. රුධිරයෙන් නිර්මිත ත්‍රිකෝණයකට යටින් ඔවුන්ගේ කරමල තවමත් ගැහෙන බවක් පෙනිණි. උස්නෙල්ලි සිටියේ නිහඬවය. එහෙත් මේ මනුෂ්‍ය ලෝකයේ වේදනාව වනාහී මීට ටික වේලාවකට පෙර ඔහු වෙත සන්නිවේදනය වමින් තිබුණු ස්වභාව සෞන්දර්යයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රපංචය විය. මීට ටික වේලාවකට කලින් වූ තත්ත්වයේදී එය විස්තර කරන්නට ඔහුට වචන නොතිබිණි. එහෙත් දැන් ඔහුගේ මනසෙහි එකිනෙකා පරයා නැගෙන වචන සමුදායක් පොර බැදුවේය. මහලු මසුන් මරන්නාගේ සිහින්, අපිළිවෙළට බෑ රැවුල සහිත මුහුණෙහි වූ සෑම ඉන්නෙකු ගැනම සෑම රැවුල් ගසක් ගැනම මෙන්ම ගල් මාළුවාගේ සෑම රිදී පැහැති කොරපොත්තක් ගැනම විස්තර කරන වචන එහි විය.
වෙරළෙහි තවත් බෝට්ටුවක් ගොඩට ඇද අනෙක් පැත්ත ගසා ලී කොට මත රඳවා තිබිණි. රාත්‍රිය මුළුල්ලේ මසුන් මරා දැන් ඒ බෝට්ටුව සෙවණේ නිදන මිනිසුන්ගේ පාවහන් රහිත දෙපා යටින් පෙනුණේය. සම්පූර්ණයෙන්ම කලු පැහැති ඇඳුමකින් සැරසුණු මුහුණ නොපෙනෙන සේ ආවරණය කර ගත් ගැහැනියක් ඒ අසළ මුහුදු පැලෑටිවලින් ඇවුලූ ගින්නක් මත වළඳක් තබමින් සිටියාය. ඒ ගින්නෙන් දිර්ඝ දුම් රොටුවක් නැගෙමින් තිබිණි. ඒ වෙරළ අළු පැහැති පාෂාණවලින් ගහණ වූ අතර ඒ අතර දක්නට ලැබුණු වියැකුණු වර්ණ පදාස වෙරළෙහි සෙල්ලම් කරන ළමුන්ගේ ඇඳුම් විය. නහයෙන් අඬන වැඩිමහලු සොහොයුරියන් විසින් බාලයන් බලා ගැනිණි. වැඩිහිටියන්ගේ දිග කලිසම් කපා සාදා ගත් කොට කලිසම් පමණක් හැඳගත් මඳක් වයසින් වැඩි හා ක්‍රියාශීලී පිරිමි ළමෝ ගල් පර්වත සහ මුහුද අතර දුවමින් සිටියෝය. ඊට ඔබ්බෙන් වැලි සහිත ඍජු වෙරළ තීරයක් ආරම්භ විය. එය සුදු පැහැතිද පාලුද වූ අතර වෙරළෙහි එක් පැත්තක් තුනී බට කැලෑවක් සහ සී නොසෑ ඉඩම් තුළට අතුරුදන් වූයේය.
කලු පැහැති ඉරිදා ඇඳුමකින් සහ හිස්වැසුමකින් සැරසී කෝටුවක රැඳවූ කුඩා පොදියක් උරෙහි තබා ගත් තරුණයෙක් ඒ වෙරළ තීරය දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. ඔහුගේ පාවහන්වල වූ ඇණවලින් වැල්ල මත සලකුණු සටහන් විය. ඒ නොවැරදීම අසළ අභ්‍යන්තර ගමකින් පොළට හෝ වෙනත් කිසියම් කටයුත්තක් සඳහා පැමිණි ගොවියෙකු හෝ එඬේරෙකු මුහුදු සුළං වැදීම පිණිස මේ මාර්ගය තෝරා ගත්තා විය යුතුය. දුම්රිය මාර්ගයේ වූ කම්බිද එහි ඉවුරද කණු සහ වැටවල්ද පෙනිණි. ඉන් අනතුරුව දුම්රිය මාර්ගය බිම්ගෙයක් තුළට අතුරුදන් වූයේ ඊට ඔබ්බෙන් යළිත් මතුවී යළි අතුරුදන් වන්නටය. දුම්රිය මාර්ගය සමතලා නොවූ රෙද්දක ගැසූ මැහුම් මෙන් විය. අධිවේගී මාර්ගයේ කලු- සුදු සංඥා පුවරුවලට ඉහළින් වූ කඳු බෑවුම්වල ඔලිව් වතු තිබිණි. ඊටත් ඉහළින් කඳුවල කිසිදු වගාවක් නොකෙරුණු අතර එක්කෝ තණකොළවලින්, පඳුරුවලින් එසේ නැතහොත් ගල්වලින් පමණක් වැසී තිබුණේය.
මේ කඳු අතර වූ පැල්මක පිහිටා තිබූ ගමක් ඉහළට විහිදිණි. ගෙවල් වූයේ එකක් උඩ එකක් වශයෙනි. ගෙවල් අතර වූ ගල් ඇල්ලූ පාරවල්වල කොටළුවන්ගේ මළ මූත්‍ර පහසුවෙන් ගලා යා හැකි වන පරිදි ආනතිය පාරේ මැදට වන්නට සකස් කොට තිබිණි. ඒ සෑම ගෙයකම දොරකඩ අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ වැඩිමහල් හෝ මහලු ගැහැනු සිටියෝය. මිටි තාප්පවල හිඳගෙන අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ තරුණ හා මහලු පිරිමි සිටියෝය. ඔවුන් සියලු දෙනාම ඇඳගෙන සිටියේ සුදු පැහැති කමිසය. පියගැටපෙළවල් බඳු ඒ පාරවල් මැද ළදරුවෝ ක්‍රීඩා කළෝය. තරමක් වැඩිමහල් පිරිමි ළමයෙක් පාරෙහි වැතිර දොර පඩියකට හිස තබා ගෙන නිදාගෙන සිටියේ එතැන නිවෙස ඇතුළට වඩා මඳක් සිසිල්ද දුර්ගන්ධය අඩුද වූ බැවිනි. සෑම තැනකම පියාඹන හෝ එකතැන කැරකෙන මැසි රංචු පිරී සිටියහ. සෑම බිත්තියක්මත් ගිනි උඳුන් අසළ වූ සෑම කඩදාසි මල්දමක්මත් මැස්සන්ගේ අසූචිවලින් වැසී ගොස් තිබිණි. උස්නෙල්ලිගේ මනසට එකිනෙක හා ඇලුණු ඝනැති වචන නොනැවතී ගලා එන්නට විය. වාක්‍ය අතර විරාම නැති වචන ගලා එන්නට වූයේය. අවසානයේදී ටිකෙන් ටික ඒවා එකිනෙක වෙන්කොට හඳුනාගන්නට නොහැකි තැනට පත්විය. ඉතාම කුඩා සුදු පැහැති ඉඩ පවා අතුරුදන් වමින් ගොස් කලු පැහැය පමණක්, අත්‍යන්ත කලු පැහැය පමණක් ඉතිරි වූ, විලාපයක් බඳු භයානක පැටලුමක් බවට ඒ වචන අවසානයේදී පරිවර්තනය වූයේය.
-ඉතලෝ කල්විනෝ (1923-1985)